Showing posts with label රතුපස්වල. Show all posts
Showing posts with label රතුපස්වල. Show all posts

Tuesday, December 13, 2016

හම්බන්තොටදී කණ පැලුවම නරකයිද



 
 
රතුපස්වලදී වෙඩිතිබ්බම  හොඳද
හලාවතදී  මිනි මැරුවේ නැත්ද
 ක‍ටුනායකදී බිලිගත්තේ කවුද
එක්නැලිගොඩට  සිදු වූයේ කිම්ද

සූරියකන්දේ පොඩි උන් වල දැම්මාද
බටලන්දේ දංගෙඩි තිබුණේ නැත්ද
යටාරෝ කැපේ  වධ කුටි නොතිබුණිද
හිස් ගෙඩිවලට ඇණ ගහලා නොමැරුවාද
 
වන්නියේ ගැලුවේ  ලේ ගංගා නෙවෙද
නන්දිකඩාල්වල මෝටාර් නොවැදුණිද
බාලචන්ද්‍රලා කී දෙනෙකුන් වීද
දහසක් මව් වරුන් වැලපෙන්නේ ඇයිද

ඒ දෑ සිදු වෙද්දි ඔල්වර දුන්නාද
හිස්ගෙඩි වනා අනුමත නොකළාද
එහෙනම් යකුනේ උම්බෑ හඬ මොකද
හම්බන්තොටදී කණ පැලුවම නරකයිද

Thursday, October 17, 2013

රතුපස්වල අමා වතුර



පිංවතුනි,පහුගිය දවස් වල අප මංමුලා වෙලා හිටියේ පිංවතුනි. රතුපස්වල පැක්ටේරියෙන් වතුරට වස මිශ්‍ර කරනවා කියලා කව්දෝ කියපු බොරුවකට අපි ‍රැවටිලා ,මුලාවෙලා,බොහෝම කලකෝලහාල කලා. නමුත් පිංවතුනි , රතුපස්වල පිංවත් පැක්ටේරියේ අයිතිකාර පිංවත් මහත්තුරු එහෙම පව්කාර වැඩක් කරයිද පිංවත්නි. හිතලා බලන්ට නිකමට.අපි මුලාවෙලා කටයුතු කරලා තියෙන්නේ. එහෙම වෙන්ට හොඳ නෑ. මම නම් මීට පස්සෙ එහෙම වෙන්නේ නෑ. මේ පිංවතුනුත් එහෙම  වෙන්ට එපා.

ඇත්තටම කියනවා නම් මම මේ පැක්ටේරියෙන් එන වතුර වස විස නෙවේ. ඒවා හත් සැරයක් පෙරලා විසබීජ නැති කරලා එන අමා වතුර වගේ . හරිම ප්‍රනීතයි. බිව්වම හරිම සුවයක් දැනෙනවා.  මම පහුගිය දවසක මූත්‍රා කොරන්ට කියලා ටාජ් හෝටලේට ගියවෙලාවක එතෙන්ට   ඇවිත් උන්නු පැක්ටේරියේ ලොකු මහත්තයා මට ඒ අමා පැනින් සුවල්පයක් දුන්නා. අම්මපා පුදුම රසක් නොව තියෙන්නේ . බමරා වගේ තමා බිව්වම දැනෙන්නේ.
 ඒ වගේ අමා පානයක් අපේ ප්‍රදේසේ වතුරට එක් කිරීම ගැන පැක්ටේරියේ මත්තුරුන්ට අපි ඉස්තුති කොරන්ට ඕනෑ වෙලාවක අපි මොන තරම් නරක වැඩක් ද කලේ.

මම මේ දැනුත් ඒ අමා පානයෙන් සුවල්පයක් අරගෙන ඉන්නේ.

මේ පිංවතුනුත් මීට පස්සෙ ඔය උද්ගෝසන නවත්තලා  හවසට අමා පැන් ටිකක් අරගෙන සාම කාමිව ඉන්ට වග බලාගන්ට  ඕනෑ.


Tuesday, August 13, 2013

තුන උගුරේ හිර වීම



විමල් වීරවංශ කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ දේශපෙරේමි, ජාති හිතේසී උත්තමයාය. අද ලංකාව පාලනය කොරන ඒ ජාතියේම දේශපෙරේමි, ජාති හිතේසී ආන්ඩුවේ අංක එකේ ආරක්ෂකයාය. එතුමා නැත්නම් ,මේ ආන්ඩුව මෙලහකටත් නැත. විපක්සේ කිරියා කාරිකයකුට අදෝවාතයක් ගියත් ඒකේ බටහිර කුමන්ත්‍රනයක් හොයා ගන්ට උන්නැහේ හරිම දස්සය. මේ කාරියේදී උන්නැහේගේ සහයට ඩැනීලා වශයෙන් ගූ. අමරසේකර හා වස. බංඩාර මහත්තුරු සිටිති.  කවුරුන් හෝ මිනිස්සු තුන් දෙනෙක් එකට සිටියොත්  උන් අරාබි වසන්තයක් හදන්ට යනවා යැයි දිවයින පත්තරේටත් සී නිව්ස් එකටත් ලියන්නේ ඔය දෙපැත්තෙන් ඉන්න දෙන්නාය.

පහුගිය කාලයේ වෙලඳ කලාපේ විශ්‍රාම වැ‍ටුප් ප්‍රශ්නේ. ධීවර සටන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන්, අග විනිසුරු ප්‍රශ්නේ වගේ හැම එකකදිම මේ රජ තුන් කට්‍ටුව ඉස්සරහට ආවේ " එකෙක් අපේ ආණ්ඩුවට අත තිබ්බොත්, චටස් පටස් ඩිෂුම් ඩිෂුම් "  කියාගෙන. 
ඒ විතරක් නෙවේ, ආණ්ඩුව බඩු මිල වැඩි කරන කොට, සහනාධාර කපන කොට ඒවා වහන්ට මොකක් හරි  මල සමයක් කරන්නේත් මේ කට්ටියම තමා. එක්කෝ ලෙමන් වර්ගේ  උපවාසයක්, පාගමන් , පොර ටෝක් දීම් මොනවා හරි කරලා ජනතා අවධානේ වෙන පැත්තකට  හරවනවා. ( ජනතාවත් ඉන්නේ ඉතින් අනේ අපි වෙන පැත්තකට හරවන්නකෝ කියපු ගමන් නේ.) 

එහෙව් වීරෝධාර වීරවංශ තුමා පහු ගියදා රතුපස්වල ඩයස්පෝරාවාදි  , කොටි හිතවාදි ,අධිරාජ්‍ය ගැති ජනතාව , දේශප්‍රේමි බටයන්ගේ දේශප්‍රේමි තුවක්කු උදුරගෙන තමන්ටම වෙඩි තියා ගැනීම ගැන වචනයක්වත් කිව්වේ නැත. මුක පූට්‍ටු වෙලා වගේය. 

මේ ගැන හොයා බලන විට මගේ මිත්‍රයෙක් කිව්වේ එතුමාගේ උගුරේ තුන හිර වෙලා කියලාය.එතුමා මේ දවස් වල සද්ද වහලා ඉන්නේ ඒකය .

සටහන-  අනම් මනම් හිතන්ට ඕනෑ නැත. හිර වී තිබෙන්නේ දහතුනේ තුන මිසක් වෙන තුනක් නොවේය. ඒක හිර වුනේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශකයා ලංකාවට ඇවිත් ගියාට පස්සේය.

Saturday, August 10, 2013

දරුවෝ සතුටු වෙති



අරලියගහ මන්දිරයේ සිදු කෙරෙන නිල කටයුතුවලට අමතරව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දැඩි ඇල්මකින් හා උනන්දුවකින් සිදු කරන තවත් විශේෂ කාර්යයක්‌ද වෙයි. ඒ පාසල් දරු දැරියන් හමුවීමයි. රටේ රාජ්‍ය නායකයා ළඟට පැමිණෙන දරුවෝ සැක බිය නොමැතිව ඔහු සමග කතාබහ කරති. සතුටු වෙති. සංග්‍රහ විඳිති. තෑගිද ලබති. මෙවර අරලියගහ මන්දිරයට යාපනයේ සිට සිසු කණ්‌ඩායමක්‌ද පැමිණියහ. මේ අය අතර කිසි දවසක කොළඹට නොපැමිණි සිසු සිසුවියෝද වූහ. සමහරුන්ට සිංහල ද බැරිය. පරිවර්තකයන් සිටියත් ජනාධිපතිවරයා ඒ දරුවන් සමග කෙළින්ම කතාබහ කරද්දී ඔවුහු අත්පොළසන් දුන්හ. ජනාධිපතිවරයා කියා සිටියේ මේ දරුවන් මල් වගේ. අපට ඒ හැම දරුවෙක්‌ම සම්පතක්‌ බවය. 

(උපුටා ගැනීම දිවයින ඉරිදා කුරහන් පිට්‍ටු සංග්‍රහයෙන්)



Thursday, August 8, 2013

කවදා පායන්ද අප දිනිසුරාණෝ


කවදා පායන්ද අප දිනිසුරාණෝ
කොම්පැනි වලට යට නොවෙනා සඳානෝ
ඇසිඩ් ජලය නොපොවන  ජලකඳානෝ
පිරිසිදු ජලය බෙදනා මහරජානෝ

කවදා පෑව්වත් අප දිනිසුරානෝ
කොම්පැනි වලම එල්ලුන ඒ සඳානෝ
ඇසිඩ් ජලය පොවනා ජලකඳානෝ
ජල බිඳුවටත් වෙඩි තැබු මහ රජානෝ

Friday, August 2, 2013

රතුපස්වල දේශප්‍රේමය


ශ්‍රී ලංකා හමුදාව උතුරේ දෙමල ජනයා සමග යුද වැදී සිටින සමයේ හමුදාව වෙනුවෙන් බෝධී පූජා තැබූ, ආශිර්වාද පූජා කල, ලේ දන් දුන්  හා ඔවුන්ගේ ජයග්‍රහණ වලදී කිරිබත් පිස කෑ පමණක් නොව ඊයේ පෙරේදා රණවිරු ස්ටාර් වලදී ලක්ෂ ගණන් එස්.එම්.එස් යැවූ සිංහල බෞද්ධ,දේශප්‍රේමි ජනතාව බීමට පිරිසිදු ජල බිඳක් ඉල්ලා කෑ ගසන විට එම ජනයාගේම අති මහත් බහුතර චන්දයෙන් පත් වූ දේශප්‍රේමි ආණ්ඩුව විසින් එම දේශප්‍රේමි  හමුදාව යොදවා වෙඩි තබා මරා දමා තිබේ.


දැන් කල යුත්තේ ආණ්ඩුවේ සිටින වීරවංශ,වසන්ත බන්ඩාර  බඳු සුපිරි දේශප්‍රේමින්ට එලියට අවුත් මේ ජනතා නැගිටීම පසුපස සිටින්නේ අධිරාජ්‍යවාදි බලවේග බවත් ඔවුන්ට අවශ්‍ය  ලංකාවේත් අරාබි වසන්තයක් ඇති කිරීම බවත් දිවයින පත්තරෙන් ( දිනමින ගැන කීම අනවශ්‍යය) හා අයිටී ඇන් , ස්වර්ණවාහිනි නාලිකා වලිනුත් ප්‍රකාශ කිරීමය.දැනටම මෙම සිදු වීම පි‍ටුපස විපක්ෂයේ දේශපාලන  පක්ෂයක් සිටියේ යැයි කියන්නට පටන් ගෙන තිබේ. 

මෙම සිදු වීම තුලින් පාලක රෙජිමය ලංකාවේ  ජනතාවට  පාඩමක් කියා දී තිබේ. එය ලංකාවේ අනාගතය පිලිබඳ පෙර නිමිත්තක් මෙන්ම අතීතය පිලිබඳ පැතිකඩක් ද වේ. පාලක පවුලේ හා එහි අන්තේ වාසිකයන්ගේ  රුදුරු සූරාකෑම නිසා පීඩාවට පත් වන ජනතාවට තම අවම අයිතිවාසිකම් වත් දීමට පාලකයින් සූදානම් නැති බවත් ජනයා තමන් කියන පරිදි නොසිටියොත් , බල්ලන් බලලුන් මෙන් මරා දමන බවත් එම පාඩමයි. 

ලෝකයේ සිටි සියලු මුග්ධ ඒකාධිපතියන් මෙන්ම මොවුන්ද සිතන්නේ සියල්ල මුදලේ හා තුවක්කුවේ බලයෙන් පාලනය කල හැකි බවයි. දූෂිත දේශපාලකයින් කිහිපදෙනෙකුන් තම සාක්කුවට දාගත් විට තමන්ට එරෙහි ව එන ජනතා බලවේග නවතා ලිය හැකි යැයි ඔවුන් සිතයි.එහෙත් ඔවුන්ට අමතකව ඇති දෙය නම් මෙලෙස සිතූ ඒකාධිපතීන් සියලු දෙනාම අවසානයේ නතර වූයේ කුණු බක්කියේ බවයි.



සටහන- පහලින් ඇති වාර්තාව උපුටා ගත්තේ ආණ්ඩුවේම මන්ත්‍රිවරයෙක් වන තිලංග සුමතිපාලගේ ලක්බිම පුවත් පතින් මිස ලංකා ඊ නිව්ස් වලින් නොවේ.

වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී තිබේ. මෙම ප්‍රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත් ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන බවත් ඔවුන් පවසති. ජනතාවට පහර දී තුවාල සිදුකර එක් අයෙකුට මරණය සිදුකළ මෙම සිද්ධියට සම්බන්ධ වාර්ථා හමුදාවට වාසි වන ලෙසට වාර්ථා කරන්නට පටන් ගෙන තිබීම ගැනත් උසස් පොලිස් නිලධාරින් අතරේ අප්‍රසාදයක් හටගෙන ඇත. වැලි පිර වූ බෝතල් ගෙනැවිත් පොළවේ ගසා පුපුරවා එම වැලි බෝතලවලින් ජනතාව හමුදාව පහර එල්ල කළ බවට වාර්ථා සකස් වෙමින් තිබෙන බව පැවසේ.

ජනතාවට ජල ප්‍රහාර එල්ල කරන්නට රැගෙන ආ ජල බවුසර් දෙක ප්‍රයෝජනයට ගෙන නැති බව පොලිසිය කියයි. ඒ වගේම හත්දහසක් පමණ රැස් වී සිටි වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ බවත් වාර්ථා වී තිබේ. ඒ වෙනුවට වෙඩි තබමින්, පොලුවලින් පහර දෙමින්, පිහිවලින් කැපීම අවම බලය යෙදවීමක් නොවන බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් 16 වියැති පාසල් සිසුවෙක් වෙඩි වැදී මරුමුවට පත් වී තිබේ. පාසල් ගොස් පැමිණෙමින් සිටිය දී එල්ල වූ වෙඩි පහරක් සිසුවාගේ උදරයට වැදී ඇත. ඔහු වැලිවේරිය, හෙලන්වත්තේ පදිංචිකරුවෙකි. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා සිද්ධිය වූ වැලිවේරිය නගර මධ්‍යයට අද (02) දහවල් පැමිණියේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු දහවල් 11.30 පමණ කොළඹ නව නුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරිණ. ළිං ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසුවන බවට ජනතාව චෝදනා කරන වැලිවේරිය,රතුපස්වල පිහිටි ‘වින්ග්‍රොස්’නැමැති කර්මාන්ත ශාලාව හේලීස් සමාගමට අයත් කම්හලක් බව දැනගන්නට තිබේ. හේලීස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාට ය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමි බව වාර්ථා වේ.