Showing posts with label VAT. Show all posts
Showing posts with label VAT. Show all posts

Thursday, November 24, 2016

ඉර හඳ පෙන්නුව ලෝකේ



ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 බාගෙට කාලා දිවි මග වැනවෙන //
ජීවිත නට්ටම් වේ
 රොකට් එකක් යන සේ //
බඩු මිල   තව වැඩි වේ.
දඩ කොල, ජල බිල  වැඩි වෙන වේගේ//
 ජීවිත සමතල වේ
මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 වැඩිවන වියදම   මැඩලනු බැරි වී  //
බදු බර තව වැඩි වේ.
බත් පත වැලි  මුසුවේ
 යහ පාලන වගුරේ මන්ත්‍රිට සැප වැඩි වේ. //
බෙන්ස් කාර් හිනැහේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ

Thursday, April 21, 2016

අහෝ ඛේදයකි, තිතකි ඉරකි හෙවත් මිනිසෙකුගේ ඉරණම






                                                                                   

untitled.png
වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම මහා අපරාධයකැයි ඊනියා වාමංශිකයන් විසින්  කියන්නට පටන් ගෙන තිබේ. එයින් ඔවුන්ගේ දේශපාලනික  ලඳ බොලඳ බව මනාව හෙලි වේ. අපි මේ ගැන මීට ප්‍රථමයෙන් ද කියා ඇත්තෙමු.

වැට් බද්ද වැඩි කිරීමෙන් රටේ සිටින භයානකම සූරාකන්නන් වන රජයේ සේවකයින්ට ( ඔවුන් අතරින් ද දරුණුම සූරා කන්නන් වන්නේ ගුරුවරුන්ය, මට ඔවුන් පෙන්නන්නට බැරිය) හොඳ පහරක් දීමට රනිල්ගේ ආණ්ඩුව සමත් වී තිබේ. මෙය නම් ඇත්ත වශයෙන් ම ඉතාමත් ධනාත්මක පියවරකි. දැන් මෙම සූරාකන්නන්ට වැඩි කළ වැ‍ටුප ආපසු ලබා ගත හැකිය. එය ලබා ගෙන භාණ්ඩාගාර බිල්පත් වලට පොලී වශයෙන් ගෙවා රට දියුණු කළ හැකිය.

මා කියන්නේ මෙයයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් අපට අනිවාර්යයෙන් ම වැට් බද්ද 25% දක්වා වත් වැඩි කළ යුතුය.අප විසින් කළ යුතුව තිබෙන්නේ  වැට් බද්දට  එරෙහි වීම නො ව, ඇති වන වෙනස්කම්වලට හැඩගැසීමේ මූලෝපායන් පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කර අපගේ වියදම් ඒ අනුව ගලපා ගැනීමයි.

අනිත් අතට සීනි, සහල්, පාන් පිටි වැනි දේවලට වැට් බද්ද වැඩි කිරීමෙන් ඒවායේ මිල ඉහල යන නිසා මේ රටට මහත් දේශපාලන ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියා ප්‍රශ්නයට ද එයින් සෑහෙන මට්ටමේ හොඳ පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ වැට් බදු අය කරන්නේ අඳුරු රාජපක්ෂ පාලන යුගයේදී ලබා ගත් මහා ණය කන්දරාව ගෙවීමටය.එම කාලයේ දී සූරා කන්නන් වන රජයේ සේවක  මධ්‍යම පංතිය වඩා ශක්තිමත්ව හා විනාශකාරී ලෙස වැඩිණි. ඔවුන් නඩත්තු කිරීමට ගත් ණය ගෙවීමට සිදු වූයේ මෙරට අහිංසක ව්‍යාපාරිකයන්ටය. දැන් ඒ තත්වය රනිල්ගේ නව රජය විසින් වෙනස් කර තිබේ . එයින් පහල මට්ටමේ ආදායම් ලබන ස්ථරයද පීඩාවට පත් වන සැබෑය. එහෙත් බිත්තර නොකඩා ඔම්ලට් සැදිය නොහැකි බව සියලු දෙනා දැන ගත යුතුය. විශේෂයෙන් ඊනියා වාමාංශික කල්ලි කණ්ඩායම් දැන ගත යුතුය.

මේ අඩු ආදායම් ලාභි  ග්‍රාමීය හා නාගරික  දිළින්දෝ  අලසයෝ ය. , බේබද්දෝ ය. නූගත්තු ය. හැබැයි  සියල්ල දත් ය. ඒ නිසා ඔවුන්ට කෙළවුණත් කම් නැතිය.ආණ්ඩුවෙන් නිකම් දෙන දෙයක් අරගන්නට බලා සිටින මේ නිකම්මු නැති වී යාම රටට හොඳය.

ආණ්ඩුව ඉතාමත් ස්ථානෝචිත ලෙස ක්‍රියා කරමින් කුමාර් ගුණරත්නම් සිරයට දැමීමද අගය කළ යුතුය. දැන් ඊනියා පෙර‍ටුගාමින්ට වැට් ගැන කතා කළ නොහැකිය. තවත් කරදර කාරයින් සිටී නම් ඔවුන් සියල්ල අල්ලා හිරගෙට දැක්කිය යුතුය.

මොනවා කලත් මහින්දට නැවත එන්නට ඉඩ දිය යුතු නැත. නමුත් මහින්ද හිර ගෙට නොදැමිය යුතුය. මක් නිසා ද යත් එවිට මහින්ද එනවෝ, මහින්ද එනවෝ කියා කෑ ගැසීමට හා මහින්ද පෙන්වා බත් නොකන පොඩි උන් බය කර ගත නොහැකි බැවිනි.

සටහන- වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම ගැන කවුදෝ විසින් ලියු මේ පැරා ග්‍රාෆය  ( paragraph)  මට හමු වූයේ වලාකුළක පාවී යමින් තිබියදීය. අයිතිකරුවෙක් සිටී නම් අයිතිය පෙන්වා ආපසු ලබා ගත හැකිය.