අපේ කාලයේ වීරයෙකු වූත් , සමනළයෙකු මෙන් පියාඹමින් මී මැස්සෙකු මෙන් ප්‍රතිවාදින්ට පහර දුන්නා වූත් අසම සම ශ්‍රේෂ්ඨයා , මොහමඩ් අලි නොහොත් කැෂියස් ක්ලේ ජීවිතයට සමු දී ඇත.
ඔහු බොක්සින් වලල්ල තුල අසම සමයෙකු වූවත් මොහමඩ් අලි ශ්‍රේෂ්ඨයෙකු වන්නේ ඒ නිසාම නෙවේ. රොකී මාර්සියානෝ,ෂුගර් රේ රොබින්සන්,ජෝ ලුවිස් සහ මයික් ටයිසන් පවා අලී තරමටම හෝ සමහර විට ඊටත් වඩා බොක්සින් වලල්ල තුල දස්කම් පෙන්වා ඇත.
එසේ නම් මොහමඩ් අලි අසම සම ශ්‍රේෂ්ඨයා වන්නේ කෙසේ ද? ඔහු මෙතරම් සුවිශේෂි පුද්ගලයෙකු වන්නේ කෙසේද?
ඒ ඔහු වලල්ල තුල මෙන්ම ඉන් පිටතදීත් දැක් වූ කැරලිකාරිත්වය, නිසාය. අදීන බව නිසාය. කැෂියස් ක්ලේ ,මොහමඩ් අලි බවට පත් වෙන්නේත් ඒ නාහෙට නාහන ගතිය නිසාය.
වර්ණ බේදවාදි සුදු ඇමෙරිකාව කල්ලන්ට හිරිහැර පීඩා වෙනස් කම් කරන විට , තලා පෙලා හිංසා කරන විට හිස පහත් කරගෙන නොසිටියේය. එයට විරෝධය පෑමට තමන් දිනූ ඔලිම්පික් පදක්කම ඔහියො නදියට විසි කලේ ය. බොක්සින් වලල්ල තුල ලැබූ සාර්ථකත්වය මත සුද්දෙක් මෙන් ජීවත් වීමට ඉඩ තිබුණද ඔහු තෝරාගත්තේ විරෝධයේ මාවතයි.ඔහු එලිජා මොහමඩ් ,මැල්කම් එක්ස් ඇතුලු කලු මුස්ලිම් ව්‍යාපාරයට එක් වන්නේ එබැවිනි. එය දුෂ්කර මාවතක් විය.
මේ මිනිසා ශ්‍රේෂ්ඨයින්ගෙත් ශ්‍රේෂ්ටයෙකු වන්නේ ඔහු තවත් ජාතියකට එරෙහිව අවි එසවීමට විරුද්ධ වූ නිසාය. වියට්නාමයට එරෙහිව යුද්ධ කිරීමට හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුගේ ලෝක ශූරතාවත් අහිමි කර හිර ගෙට දැක්කුවත් ඔහු තම ප්‍රතිපත්ති වෙනස් නොකලේය.
1971 දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ දඬුවම ඉවත් කරන තෙක් වසර තුනක් තම තරුණ දිවියේ හොඳම කාලය ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු වුවත් ඔහු තම මතය වෙනස් නොකළේය. වියට්කොන්ග් වරුන් සමග මගේ ආරෝවක් නැතැයි ද ඒ නිසා ඔවුන්ට එරෙහිව සටන් කිරීමට මට හේතුවක් නැතැයිද ඔහු නිර්භය ලෙස පැවසූයේය.
ඒ වන විට ආරම්භක තත්වයේ තිබූ වියට්නාම් යුද විරෝධී අරගලයට ඔහු ගෙන ආවේ ඉමහත් ශක්තියක් හා ධෛර්යයකි.
මේ කුඩා සටහන තමන් ශ්‍රේෂ්ටයෙකු බව හඳුනාගෙන නිතර ඒ බව ලෝකයට කියමින් හා එය ඇත්තක් බව ඔප්පු කර පෙන්වූ ඒ වීරයා වෙනුවෙනි.අසාධාරණයට එරෙහිව ලෝකය නැගිට්ටවීමට කළ ඔහුගේ අරගලය වෙනුවෙනි.
![]() |
| Muhammad Ali @ Trial |

