Tuesday, December 29, 2015

ඕනෑ කර තිබේ-Wanted


 
 
 
ඉතාමත් ඉක්මණින් හොඳ තත්වයේ මඩු වලිගයක් ඕනෑ කර තිබේ . බඩු හොඳ නම් මිල ප්‍රශ්නයක් නැත.

මඩු වලිගය ඕනෑ කරන්නේ සංගීත සංදර්ශන සංවිධානය කරන  අයගේ පස්සට තැලීමට නොවන බව කාරුණිකව සලකන්න. එසේම ගායකයින් කිස් කරන කෙල්ලන්ට   හෝ ගායකයින්ට  බ්‍රෙසියර් විසි කරන කොල්ලන්ට  තැලීමටද නොවේ.

මඩු වලිගයක් ඕනෑ කරන්නේ ජනවාරි අටවනදා දා පත් කරගත් දේශපාලකයින්  රොත්ත ඥාති සංග්‍රහය , වංචා දුෂණ, මැරකම්,හොරකම්, බලහත්කාර කම්, අවසන් කර , මානව හිමිකම්  , ප්‍රකාශනයේ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය  කර, රටට ගැලපෙන කුඩා  කැබිනට් ඇමති මණ්ඩලයක් පත් කරගෙන යහපාලනය උදා කරතියි තවමත් සිහින දකින අයියලා, අක්කලා, මල්ලිලා, නංගිලා ,නැන්දලා ,මාමලා, සීයලා,ආච්චිලාගේ අතට දී කැමති නම් පස්සට දෙක බැගින් තලා ගන්නා ලෙස ඉල්ලා සිටීමටය. 

 (මඩු වලිගයෙන් තැලීම වැනි වැඩවසම් දඬුවම් ක්‍රම මා විසින් අනුමත නොකරන අතර කැමති කෙනෙකුන් තමන්ටම තලා ගත්තාට අපගේ විරෝධයක් නැත.)

Thursday, December 24, 2015

සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය

 
දෙමටගොඩින් ආ   හිරුනික  අක්කාය....
යහපාලනේ කෙරුමට ඈ ආවාය...
කවිකර කියන්නේ අක්කාගේ කිරියාය
හිරු ටීවී එකෙන් මුලු රටටම කිව් දේය...
 
පනිනට ගිය කළට කොල්ලෙක් හොර කො‍ටුව ...
ගමේ චන්ඩි මල්ලිලා ටික  යැව්වාය ...
ඩිපෙන්ඩරේ පටවාගෙන ආවාය.....
ලඟටම ගෙනැත් උගේ ඇට ක‍ටු කැඩුවාය...
 
වැල්ලම්පිටිය  පසුකර ගෙන කුණු කන්ද...
දෙමටගොඩට  අපි යහතින් ආවාය...
සිටියදි බලාගෙන දුන් ගුටි  පූජාව...
යහපාලනේ එහෙමයි දැන් කෙරුවාව...
 
පොලෝසියට කොල්ලෝ ටික  උදයේම...
පටවා යවා අක්කා ඇත සනීපෙට...
තෙරපී  තෙරපී  උන් ‍ කූඩුව ඇතුලේය ...
සුදු  නංගියේ  උඹ  දුමියගේ අක්කාය...

Tuesday, December 22, 2015

කවියෙකුට සවියක් වෙන්න

 
කවියෙකුට සවියක් වෙන්න
එන්න ඔබ මෙහි එන්න
ඔබට හැකි පමණකින්
කවි ලියන පියෙකුගේ
ආදරණීය පුතෙකුට
පිළිසරණක් වෙන්න
 
 
 

Sunday, December 20, 2015

සිංහ ලේ

 
 


කන්ඩ නැතිව අ   ලේ
ඉන්නවා අපි බො ලේ
පිට ත්  බඩේ ඇ     ලේ
අපේ  සිංහ         ලේ
 
පයින්ට් එකක්     ලේ
නැතිය නහර තු    ලේ
අම්මා ඇරලා කැ   ලේ
අපිත් සිංහ             ලේ
 
නැතිව රටේ  බ      ලේ
ඉන්ට බැරිය ම       ලේ
දෙන්ට උන්ට බ    ලේ 
කියමු  සිංහ           ලේ

Friday, December 18, 2015

කණගා‍ටුවෙන් දන්වා සිටින වගනම්


 
 

මා විසින් පල කල "සයිටම් හා සායන " නම් වූ බ්ලොග් පෝස්‍ටුව දැක මල පැන, දත කට පූට්‍ටු වී විකාර කතා දොඩවමින් මා හට පහර දුන්, අපහාස කළ සියලු දෙනා ගේම බලාපොරොත්තු කඩ කිරීමට සිදුව ඇති බව කණගා‍ටුවෙන් දන්වා සිටිමි

සාරස, රවි හා ඇනෝ ලා සෙට් එකම මට බැණ වදින්නේ මා දොස්තරෙක් යැයි අනුමාන කරමිනි.

එය එසේ නොවේ මිත්‍රවරුනි . මා දොස්තරෙක් නොවේ.

 නමුත් ඔබතුමන් ලා කරන පරිදි හැම මගුලටම රෙද්ද උස්සා ගෙන දොස්තරලා වෙත කඩා පැනීමේ අවශ්‍යතාවක් මට නැත. මම හැම විටම පෙනී සිටින්නේ මා නිව‍රැදි යැයි සිතන දේ වෙනුවෙනි.

මා රාජපක්ෂ රෙජිමයට එරෙහිව ලිව්වාක් මෙන් යහපාලන ආණ්ඩුවේ අමන වැඩ වලට ද එරෙහි වෙමි. යහපාලන ආණ්ඩුව පත් කිරීමට උරදුන් පැරාලා මෙන් කොන්දේසි විරහිතව එය වෙනුවෙන් පෙනී සිටීමට මට අවශ්‍ය නැත.

සයිටම් ප්‍රශ්නයේ දී වෛද්‍යවරුන්ගේ, වෛද්‍ය  සිසුන්ගේ හා පොදුවේ සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ මතය නිවැරදි යැයි මා විශ්වාස කරන අතර සම සෞඛ්‍ය සිසුන්ගේ ප්‍රශ්නය ,හෙදියන්ගේ සූතිකාගාර පුහුණුව පිලිබඳ ප්‍රශ්නයේදී මෙන්ම  හා සරසවි ආචාර්යවරුන්ගේ සටනේ දී ත් වෛද්‍යවරුන් හා වෛද්‍ය සංගමය ක්‍රියාකළ අමන  ආකාරය පිළිබඳව මම එරෙහි වී ඇත්තෙමි.

 සයිටම් එකට පක්ෂ වීම මහා පොෂ් වැඩක් යැයි සිතා සිටින , එයින් ( සයිටම් එකෙන් නොව හුදෙක් එයට පක්ෂ වීමෙන් ) තමන්ට වෙස්ටර්න් පොරක් වීමට හැකි යැයි සිතන  මහත්වරුන් ගැන මට ඇත්තේ අනුකම්පාවකි.එය  හුදු මෝස්තරයක් ,විලාසිතාවක් මිස අන් කිසිවක් නොවේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මා විරුද්ධ වන්නේ මන්දැයි ඔබට දැන ගැනීමට අවශ්‍ය  නම් පරුෂ වචන නොකියා මදක් ඉවසා සිටින්න මගේ මී ලඟ පෝස්‍ටුව එනතෙක්.

Thursday, December 17, 2015

සයිටම් සහ සායන

 
 

ඔන්න මම  පටන් ගත්තා " ලර්නර්ස් " එකක්,
හැබැයි වාහන නම් නැහැ..............................


පොඩි හෝල් එකක තියරි පටන් ගත්තා කියහන්කෝ
ලෙක්චරස්ලා විදියට හිතවතුන් කීප දෙනෙකුත් බඳවා ගත්තා


හැබැයි උන්ගෙන් සම හරක්ට ලැයිසන් නෑ තමයි.. තමයි.. ඉතින්
පොත බලාගෙන තියරි උගන්නන්න ලැයිසන් ඕනෑය?

දැන් මේකේ ශිෂ්‍යන්ට කියලා නඩුවක් දාන්නයි හිතන් ඉන්නේ
ප්‍රැක්ටිකල්වලට ලංගම බස් ඉල්ලලා


අවුලක් නෑ ෂුවර් එකට හම්බ වෙනවා
මොකද ප්‍රවාහන ඇමතිගේ දුවත් ලැයිසන්  ගන්න හදන්නේ
මගේ ලර්නර්ස් එකෙන්.

Saturday, December 12, 2015

රනිලුන්ගේ වාසනාව නොහොත් ජාතියට බිහි වූ නව ප්‍රාඥයා


ශ්‍රී ලංකාවට ඉහල අහසේ අලුත් තරුවක් පායා තිබේ . එසේ මෙසේ තරුවක් නොවේ. ගුරු තරුවක්ය. එතුමාගේ ප්‍රඥාව දෙගොඩ තලා යන්නේ රාජාංගනයේ වාන් දොර‍ටු ඇරිය විට වම් ඉවුරේ ඇල උතුරන ලෙසටය. කළු ගඟ වැහි කාලයට උතුර උතුරා ගොඩ ගලන ලෙසය. එවන් වූ බුද්ධිමය පුංජයක් ලක් පොලව මත කිසි දා පහල වී නැති ලෙසකි. ඔහු අසලදී  කොග්ගල ප්‍රාඥයා හිරු අබියස කදෝ පැනියෙක් බඳුය. ඉදින් කදෝ පැනියෙක් අබියස කියනු කුමක්ද?

අප මේ කියන්නේ  කවුරුන් ගැනදැයි කියන්නට  කලින් එතුමාගේ දර්ශනය  කුමක්දැයි බලමු.

1. ලංකාවේ සිටින්නේ ගතානුගතික මාක්ස්වාදීන්ය. ඔවුන් වැඩ කරන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිහිටු වීම සඳහා ය.  අපේ උතුමාට අනුව ඒක වැරදිය. ඔවුන් කළ යුතුව ඇත්තේ තමන් කරන පරිදි දනපති ආණ්ඩුවක් බලයට ගෙන ඒමට උදව් කිරීමය

2. නිර්ධන පංතියට නායකත්වය දිය යුත්තේ මාක්ස්වාදි පක්ෂ නොව  යූ ඇන්පිය බඳු ධනපති පක්ෂයි.

3. රජයේ සේවකයින්ට, දොස්තරලාට ශිෂ්‍යයින්ට ‍රැකියා විරහිතයින්ට වර්ජන, උද්ඝෝෂණ  කිරීම තහනම්ය. මක් නිසාද යත් ඔවුන්  නිර්ධන පංතිය නොවේ. ඔවුන් නිර්ධන පංතිය නොවන්නේ තමාගේ නවීන දර්ශනය අනුවද නැතහොත් ගතානුගතික මාක්ස්වාදය අනුවද යන්න කීමට එතුමාට මදක් අමතක වී තිබේ

4. සියවසකට වැඩිකාලයක් තිස්සේ ගතානුගතික මාක්ස්වාදින් ගෙනගිය  පංති විග්‍රහය ම ව්‍යාජයක් බව අප මහත්මා සොයා ගෙන ඇත. ඒ අනුව ලෙනින් , ට්‍රොට්ස්කි, රෝසා ,ග්‍රාම්ස්චි , ඇතුලු සියලු මාක්ස්වාදින් පටලවාගෙගන තිබෙන මේ පටලැවිල්ල මේ තුමා ලිහා ඇති අතර බුද්ධිමය දේපල ප්‍රශ්නයක් නිසා පේටන්ට් අයිතිය ගන්නා තෙක් එය රහසක් වශයෙන් තබා ගනු ලැබේ.

5.  ලංකාවේ දේශපාලන බලය හිමි පංතිය ධනපති පංතිය ය යන්න මිථ්‍යාවකි. බොරුවකි. අමු කෙබරයකි. විද්‍යාත්මක ලෙස විග්‍රහ කලහොත්  රනිල් වික්‍රමසිංහ ධනපති පංති නියෝජිතයකු ලෙස සැලකිය හැකි මුත්, මෛත්‍රීපාල සිරිසේන  නිර්ධන පංතික සටන් කරුවෙකි.  

6.  නව ලිබරල්වාදයය කියා දෙයක් නැත. රනිල්ගේ 2002 ආණ්ඩුව  පෞද්ගලික අංශයට බර දෙමින් ප්‍රාග්ධන ගෝලීයකරණයට රට විවෘත කිරීමට උත්සහ කළත් දැන් තිබෙන රනිල්ගේ ආණ්ඩුව එහෙම නැත. එය සමාජවාදීය.ඒ හැර ලංකාවේ තිබූ  වෙන කිසිම ආණ්ඩුවක් ධනපති ආණ්ඩුවක් නොවේ. සමාජවාදි ආණ්ඩුය.  දැන් තිබෙන්නේද  ධනපති ආණ්ඩුවක් නොව සමාජවාදි ආණ්ඩුවකි. එයට විරුද්ධ වීම විප්ලවයට විරුද්ධ වීමකි.

7. එසේම ලංකාව තුල ධනපතිඔයන්ද නැත. ඉන්නේ හැරී ජයවර්ධන, මලික් සමරවික්‍රම , දම්මික පෙරේරා වැනි සමාජවාදින් පමණි.ඔවුන් ගොලීය ධනවාදයට විරුද්ධය.

8. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් කලේත් සමාජවාදින්ය.රජයේ සේවකයින් යනු ලේ උරා බොන වැම්පයර් බඳු සත්ව කොට්ඨාසයකි. ඔවුන්ව දුරින් දුරු කළ යුතුය.

9. රාජ්‍ය අංශය දුර්වල කර විනාශ කළ යුතුය. සැබෑ මාක්ස්වාදය නම් එයයි. පාසැල් හා  රෝහල්  බිස්නස් බවට පත් කළ යුතුය.

10. කුමාරසිංහ සිරිසේනට මාසයකට ලක්ෂ අනූවක් දුන්නාට කමක් නැත. හැබැයි රජයේ සේවකයින් වැඩි පඩි ඉල්ලීම දුෂ්ට ක්‍රියාවකි.

11. පීඩිතයින්ගේ දරුවන්ට දොස්තර කම් හෝ වෙනත් එවැනි ‍රැකියා ලබා ගැනීමට ඉඩ නොදිය යුතුය.

 12. රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධ වීම ආනන්තරීය පාප කර්මයකි. සමාජවාදයට විරුද්ධ වීමකි. භ්‍රෂ්ඨයෙක් වීමකි.

13. රජයට විරුධ වන උන්ට , රතු කොඩි දමමින් උද්ඝෝෂණ කරන උන්ට හොඳ පාඩමක් උගැන්විය යුතුය. ආරම්භයක් විදියට ඔවුන් සියලු දෙනාම රාජපක්ෂ වාදින් විදියට හංවඩු ගැසිය යුතුය. හරියටම කිවහොත් පසුගිය රාජපක්ෂ රෙජිමයට විරුද්ධ වූවන් කොටි හිතවාදින් ලෙස නම් කලා මෙන්ය.
 

සටහන- මේ ආකාර වූ දාර්ශනික අදහස් සමූහයක් සමාජ ගත කරන ප්‍රාඥයා අන් කිසිවෙක් නොව W3Lanka  ලියන පැරා තුමා මය.

Tuesday, December 8, 2015

නත්තල් සීයා ගෙන් ලියුමක්



මගේ ආදරණීය පොඩිත්තනි

දැන් අවුරුදු සිය ගාණක් තිස්සේ හැම අවුරුද්දකම නත්තල් දවසේ මධ්‍යම රාත්‍රියේ පිනි මුවෝ අදින හිම කරත්තෙක නැගලා ඔයාලගේ ගෙවල් වලට තෑගි අරගෙන ඇවිත් ඔයාලට බෙදුවා. ඒත්  මේ අවුරුද්දේ මට ඔයාලව බලන්න එන්නෙ  නැහැ.

මොකද දන්නවද? මම දෙන තෑගි වලට ළමයි කැමති නැතිලු. ඉතින් මොකද කරන්නේ. ළමයි දන්නේ නෑ මම ඔය තෑගි හොයන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ලෝකේ පුරාම ඇවිදලා ඒ ඒ රටවල ළමයින්ට ගැලපෙන තෑගි, ඒ ඒ වයස්වලළමයින්ට ගැලපෙන තෑගි, ගෑණු ළමයින්ට වෙනම , පිරිමි ළමයින්ට වෙනම , කොච්චර අමාරුද?

ළමයි ඒක තේරුම් ගන්නේ නැති නිසා මම මීට පස්සේ නත්තල් දා රෑට තෑගි බෙදන්න එන්නේ නැහැ.

හැබැයි ඒත්මේ  නත්තල් සීයා ඔයාලව අමතක කරන්නෙ නැහැ ලංකාවේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් තුමාට පිං සිද්ද වෙන්න. එතුමා තමයි මේ අදහස මගේ ඔලුවට දැම්මේ.

මම මීට පස්සේ හැම ලමයෙකුටම තමන් කැමති තෑග්ගක් ගන්න වවුචරයක් දෙනවා.

ඒක හරිම ලේසියි.

මම නත්තලට සතියකට කලින් වවුචර තැපෑලට දාන්නම් ,ඔයාලා මීට පස්සේ  නත්තල් සීයා වෙනුවට පියුන් මාමා එනකම් බලාගෙන ඉන්න හොඳේ.

මීට

නත්තල් සීයා

ප.ලි.   ලංකාවේ  දූලා පුතාලා ඔයාලගේ අම්මා තාත්තාගෙන් අහල බලන්නකෝ එයාලට පිනි මුවෙක් එක්ක හිම කරත්තයක් ඕනෑ ද කියලා. මම ඒක විකුණනවා.දැන් ලංකාවේ කාර් එකක් ගන්න එකත් ලේසි නැහැනේ

Saturday, December 5, 2015

සවුදි අරාබිය සමග සියලු සබඳතා අත හරිනු.

සවුදි අරාබිය යනු අන්ත ප්‍රතිගාමි, නොදියුණු ගෝත්‍රික හා ආගමික නීති රීති මගින් තවමත්  පාලනය වෙන රටකි. එහි ප්‍රධානියා රජෙකි. එරට වැසියන්ට හෝ එරටට විදෙස් වලින් එන කිසිවෙකුට මානව හිමිකම් නැතත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ලොක්කා සවුදි කුමාරයෙකි. ඒ ගැන කිසිවෙකුටත් ප්‍රශ්නයක් ද නැත. වෙන එකක් තබා නවී පිල්ලේ ලා පතුරු ගැසු අපේ දේශප්‍රේමින්වත් ඒ ගැන වචනයක්වත් කියා නැත.

අනාචාරයේ හැසිරීම , එනම් තම විවාහක සහකරුට පිටින් ලිංගික එක් වීම  සදාචාරාත්මකව වැරද්දක් වුවත්, එය කෙනෙකු මරා දැමීමට තරම් වරදක්ද?  එය වරදක් වන්නේ තම සහකරුවාගේ විශ්වාසය කඩ කිරීම නම් කාරණයේ දී ය. නමුත් එය මාරන්තික වරදක් වන්නේ  අරාබිකරය විශේෂයෙන් සවුදි අරාබිය බඳු ම්ලේච්ඡ් නීති මගින් පාලනය වන රටවලදීය.( ලිංගික සම්භෝගයේදී ඒඩ්ස් රෝගය වැලඳගෙන මිය යාම වෙනම කරුණකි)

නමුත් සිරුරින් අඩක් පොලවේ වලලා ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම?  මේ 21 වෙනි ශත වර්ෂයේ එතරම් කෲර හා ම්ලේච්ඡ දඬුවම් ක්‍රම භාවිතා කිරීමම පුදුමයකි. ඊටත් වඩා පුදුමය නම් ලෝකයේ සිටින මානවවාදි යැයි කියාගන්නා ආණ්ඩු හා පාලකයින්ද විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල්  සවුදි අරාබියේ  තෙල් බලයට යට වී එම තිරිසන් ක්‍රියා ගැන වගේ වගක් නොමැතිවසමග  ඔවුන් සමග සබඳතා පැවත් වීමයි.  ඔවුන් කිසිම විලි ලැජ්ජාවකින් තොරව සවුදි කුමාරවරු ලෝකයේ මානව හිමිකම් ‍රැකීමට පත් කරති.

අපිද එලෙසම අපේ සොහොයුරියන් , මව්වරුන් වල සේවය සඳහා සවුදි කුමාරවරුන් හා සි‍ටුවරුන් වෙත යවමු. අපට ගෞරවය පිලිබඳව යම්තම් හෝ හැඟීමක් වත් තිබුණා නම් සවුදියේ සිටින කාන්තාවන් ඉවත් කර ගත යුතුව තිබුණේ රිසානා ගේ හිස ගසා මරා දැමු දිනයේ දීය. එදා ඒ තීන්දුව නොගත් නිසා තවත් ගැහැණියක් ගල් ගසා මරා දැමීමට නියමිතය.

ඒ තීන්දුව ගැනීමට තව කී දෙනෙක් දිවි පිදිය යුතුද?  රට වෙනුවෙන් පෙනී සිටින මහා දේශප්‍රේමින් මේ ගැන වචනයක්වත්  නොකියන්නේ , ඒ සඳහා බල නොකරන්නේ මන්ද? බැන්කී මූන් ලාට වීරුද්ධව උපවාස කලා මෙන් පෙරට නො එන්නේ ඇයි.?

සවුදි අරාබියේ වහල් ගෘහ සේවයට කතුන් යැවීම වහාම තහනම් කිරීමටත් හැකිනම් රජයේම නියෝජ්‍ය ඇමතිවරයෙකු කියා සිටි පරිදි සවුදිය සමග තානාපති සබඳතා අත හැරීමටත් රජයට බල කිරීමට සියලු දෙනා පෙරමුණ ගත යුතුය.

.

Friday, December 4, 2015

පලමු ගල

 

ඇයට පලමු ගල ගසන්නට
එන පිරිමියා කවුරුන්ද  අද දින
නැතිද ඔහු කිසි දිනෙක
අනාචාරයේ හැසිරී
 
සිතින් හෝ නුඹ සමග නොහැසිරුන
එවුන් හට මම කියමි
මෙහි අවුත් පලමු ගල ගසනු මැන
වැ‍රැදි කෙරු මේ ලඳ වෙතට
 
ඉදින් තනිවමද ඇය
අනාචාරයේ හැසිරුනේ
නොසිටියේද පිරිමියෙක්
ඇය සමග කාමයේ  හැසිරුන
 
මම උඹට කියන්නෙමි
 බැලුවේනම් ඇය දෙස රාගයෙන්
වරද කරුවෙකි ය නුඹ
සමාන වූ වරද කල
 
එසේ නම් කවුරුන්ද නුඹ
ඇය විනිස කරන්නට
ඇයට පලමු ගල ගසන්නට
බොරුකාර පිරිමියෙකු  මිස

Wednesday, December 2, 2015

යහපාලනය හා යම පාලනය


 
පසු ගිය සමයේ යම පාලනයක් ගෙන ගිය උග්‍ර යුදවාදි රාජපක්ෂ රෙජිමය  දිවි ‍රැකගැනීම උදෙසා විදෙස් ගතව සිටි  කීර්තිමත්  දෙමල කවියෙකු වන වී.අයි. එස්. ජෙයපාලන්  කවියාට  තම මවගේ මලගමටවත් සහභාගි වීමට ඉඩ නොදුන්නේය. ඒ යම පාලකයින්ගේ හැටිය. ඔවුන් ජනතාවට එපා වූයේ ඒ නිසාය. ජනතාව ඔවුන් පලවා හැර යහපාලන ආණ්ඩුවක් පත් කර ගත්තේ එවැනි දේ මතුවට නොවන්නටය.

එහෙත් එසේ වූ යහපාලන ආණ්ඩුව එම කවියාට ම ලංකාවට ඇතුල් වීමට, ඔහුගේ කවි පොත් තුනක් සිංහලට පරිවර්තනය කර පල කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ලංකාවට ඇතුල් වන්නට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එසේ කරන්නේ, කවියෙකුට තම මව් රටට ඒමට අවසර නොදෙන්නේ , යහපාලනයයි. යම පාලනය  නොව යහ පාලනයයි. ජාතින් අතර සහයෝගී තාව, අනෝන්‍ය අවබෝධය, සහ ජීවනය ගොඩ නැගීමට  පැමිණි  යහපාලන ආණ්ඩුවයි. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දීමට පැමිණි යහපාලන ආණ්ඩුවයි.

ආදර්ශය- මේ කතාවෙන් අප ගත යුතු ආදර්ශය නම් කණකොක් සුද දකින්නට ඉගිලෙන තෙක් සිටියොත් කෙලවා ගන්නට වෙන බවයි

Saturday, November 28, 2015

සිංහලුන්ට නැති දෙමළාට ඇති ප්‍රශ්න තිබේද?


ලංකාවේ වෙසෙන දෙමලුන්ට ඔවුන් දෙමල වීම නිසාම මුහුණ පාන්නට වෙන ප්‍රශ්න නැතැයි කියන මතවාදයක් ලංකාවේ තිබේ.මේ මතය ගෙනයන න්‍යායචාර්ය වරු වන්නේ නලින් ද සිල්වා කපු මහත්තයා, ගුණදාස අමරසේකර දත් දොස්තර තුමා, දේශ හිතෛෂී වසන්ත බණ්ඩාර ( එතුමාත් දත් ඩොක්ටර් කෙනෙකි, එහෙත් කිසිවක් නොදත්), එතුමාගේ නායකයා වන විමල් වීරවංශ තුමා, මෙතෙක් කල් වේදිකාව යට සිට පසු ගිය මැතිවරණ වලදී වේදිකාව උඩට ආ ගෙවිඳු කුමාරතුංග පොත් මුදලාලි මහත්මා, පිලිප්ගේ පුත්‍ර දිනේෂ් තුමා ඇතුලු පිරිසකි. ඔවුන්ට අර්ථපතිත්වය සපයන්නේ මහින්ද රාජපක්ෂ ඇතුලු යුදවාදි කණ්ඩායමකි.

මේ මහත්වරුන් කියන පරිදි දෙමලාට දෙමල වීම නිසාම කිසිම සුවිශේෂි ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිදුව නැත. ප්‍රශ්න ඇත්නම් ඒ සිංහලයාටත් දෙමලාටත් පොදු ප්‍රශ්න පමණක්ය. මේ මහත්වරුන් අතරින් සමහරු විශේෂයෙන් විමල් වීරවංශ , නලින් සිල්වා වැන්නන් කියන්නේ දෙමලාට වඩා සිංහලයාට සිංහල වීම නිසා ඇති වූ ප්‍රශ්න තිබෙන බවකි.

ජනතා විමුක්ති පෙරමුණ  1971  පරාජයෙන් පසු  අප්‍රේල් අරගලයෙන් මිය ගියවුන් සෑම වසරකම අප්‍රේල් 5 දා සැමරූ අතර පක්ෂය 1983 තහනම් කරන තෙක් ම එය දිගටම කරගෙන ආවේය. ඉක්බිති 1989 දී ජවිපෙ මුහුණ දුන් අති දෑවන්ත විනාශයෙන් පසුවත් වසර කිහිපයක් ඇවෑමෙන් තම දෙවන අරගයේදී මිය ගියවුන්  නොවැම්බර් 13 දා සමරයි. මේ අවස්ථා දෙකේ දීම එවකට පැවති රජයන් ජවිපෙට එරෙහිව යුද්ධ  කර එය වනසා දමන්නේ ඔවුන් ත්‍රස්තවාදින් බව කියමිනි. එහෙත් ඔවුන්ට  හා ඔවුන්ගෙන් කැඩී ගොස් වෙනම දේශපාලනය කරන කණ්ඩායම් වලට තම පක්ෂයේ සිට මිය ගිය වුන් සැමරීමට තහනමක් නැත,

නමුත් දෙමලාට එය තහනම්ය. තිස් අවුරුදු යුදයේදී වැ‍ටුනු තම සගයින්, ඥාතින්, සොහොයුරන්, පියවරුන්, දුවා දරුවන් , සිහි කිරීමට, ඔවුන් වෙනුවෙන් පහනක් දැල්වීමට දෙමලාට අවසර නැත.  ඉහත නම් සඳහන් කල  මහත්වරුන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුව එසේ කිරීම ත්‍රස්තවාදි ක්‍රියාවකි. ඊලමට උඩ ගෙඩි දීමකි. බෙදුම්වාදය නම් එයයි. දෙමලුන්ගේ සොහොන් බුල්ඩෝසර් කර දැමිය යුතුය.විනාශ කල යුතුය. ඔවුන් පිලිබඳව සියලු මතකයන් උදුරා දැමිය යුතුය. 

අප දෙමලුනට එසේ සලකන්නේ, තම මලවුන් පවා සිහි කිරීමට ඉඩ නොදෙන්නේ ඔවුන් දමිල වීම නිසාම නොවේද? වෙන හේතුවක් තිබේ ද ? නැත.

ඒ මිය ගිය දෙමල ජනයා ත්‍රස්තවාදින්  නිසා යැයි ජාති වාදි මහප්පලා අපට කියයි. එසේ නම් පාලකයින් විසින් ත්‍රස්තවාදින් යැයි හැඳින්වූ ජවිපෙ ට  එසේ නොසලකන්නේ ඇයි.  සිංහලුන්ට එක් අයුරකිනුත් දමිලුනට තව අයුරකිනුත් සලකමින් දමිල ජනයාට කිසි ප්‍රශ්නයක් නැතැයි කීම අමුම අමු කුහක කමක් නොවන්නේ කෙසේද?

ඔවුන් සමග සහජීවනය ගොඩ නගන්නේ ඔවුන්ව මේ අයුරින් දිගින් දිගටම පාගාගෙන සිටීමෙන්ද?

දෙමල ජනයාට  දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය මේ ආකාරයෙන් ඔවුන්ව දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සැලකීමම නොවේද?

Wednesday, November 25, 2015

කට්ට කරවල සහ අමු මිරිස්



තමන්ගේ පාණ්ඩුවට ආණ්ඩුවට ඕනෑ තරම් සල්ලි තියනවා යැයි කියන යහපාලන කස්ටියගේ ආණ්ඩුව ඉදිරිපත් කොරන ලද යහපාලන අය වැය නිසා අමුතුම සන්තෑසියක් සිදු වී තිබේ.

එනම් මෙතුවක් කාලෙකට අය වැයෙන් පස්සෙ හුදී ජනතාව කතා කලේ පාන් ගෙඩියේ මිල ගැනය. මේ සැරේ කතා කරන්නේ කාර් මිල ගැනය. පාන් ගැන ,අනික් බඩු මිල ගැන වගේ වගක් නැතිය.අම්මපා පිට රටවල මිනිස්සු හිතනවා ඇති අපි මාර දියුණු ජාතියක් කියලා, කාටද ආඩම්බර.
 .
බඩු මිල ගැන කතා කරන්නේ මොකටද, බඩු මිල අඩු කරා නොව. වෙන එකක් තියා ත්‍රිකුණාමලේ පැත්තේ රුපියල් 700 ට විකුණපු කට්ට කරවල වල මිල අඩු කොරලා දැන් ,පාලන මිල රුපියල් 1100 යි. මාරයි නේද? ඉතින් අපිට තුන් වේලටම කට්ට කරවල කාල ඉන්න ඇහැකි .



උදේට කට්ට කරවල සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් තම්බලා කනවා

දවල්ට කට්ට කරවල මැල්ලුමක්, කට්ට කරවල හොද්දක් එක්ක කට්ට කරවල බැදලා කනවා

රෑට කට්ට කරවල චට්නියක් එක්ක , හීනියට ලියපු අමු කට්ට කරවල සලාදයක් . තව ඕනෑ නම් කට්ට කරවල පුඩිමක් හදා ගත්තැකි.

මතක් කොරන කොටත් කටට කෙල උනනවා. හැබැයි පු‍තෝ ඔය එක බැදුමකට, සලාදෙකට, මැල්ලුමකටවත්  අමු මිරිස් නම් දාන්න හිතන්නවත් එපා. ඒ වගේම තමා පරණ පුරුද්දට කට්ට කරවල කෑල්ලක් හප හප ගල් අරක්කු කාලක් බොන එක ගැනත්. ඒවා ධනපතියන්ගේ ජරා පුරුදු, බොරුනම් අහන්න පැරාගෙන්

සටහන- පොහොර සහනාධාරෙට දෙනවයි කියන රුපියල් 20,000 න් කට්ට කරවල කිලෝ කීයක් ගන්න පුලුවන්ද කියලා සමාන්‍ය දැනීමේ ප්‍රශ්නෙකටත් හොඳයි.


Banned Food
Banned


Monday, November 23, 2015

සමාජවාදි අයවැයක්



යහපාලන ආණ්ඩුවේ මංගල අය වැය සමාජවාදි  එකක් කිරීම ගැන අපේ හෘදයංගම මෙව්වා එක රවි/රනිල්/තුමාලට පිරිනමන අතර ඒ අයවැයේ අපිට නොපෙනෙන සමාජවාදි එව්වා ගැන අපිට කියා දෙන ලියන අජිත් පැරකුම් තුමාටත්  ඊටත් වඩා අපේ මෙව්වා එක සහ රවි තුමා කී පරිදි අපේ ප්‍රමාණය පිරි නමමු.

ඈත්තටම කිව්වොත් අජිත් පැරා තුමාගේ අලුත්ම අලුත් සමාජවාදි න්‍යාය නිසා අපි ඉමහත් අමන්දානන්දයට පත් ව සිටිමු.

රවී තුමාගේ සමාජවාදි අයවැයට පක්සව ලියවුනු මෙව්වා තුනක් අද කියවන්ට ලැබුනු අතර  ඒ තුනේ තිබුණු සමාන කම් දැක්කාම මාරයි කියා හිතුනෙමි.

ඒ ලිපි තුන ලියා තිබුනේ කවදත් රනිල්ට හිතැති මාතලන් , වෙබ් මාධ්‍ය කුණු ගොඩක් සහ වැසිකිලි වලක් බවට පත් කොරපු ඊ නිව්ස් සහ අපේ සමාජවාදි පැරාය. මේ විදියේ තුන්ගොල්ලක් එකට එක් වීමත් මාර යහපාන් වැඩක්ය.

ඊ නිව්ස් ගැන කතා කරනවාට වඩා කටේ ස්කෝල නිල ඇඳුම් වවුචරයක් ඔබා ගැනීම හොඳය. මාතලන් කොහොමත් එදත් මාතලන් අදත් මාතලන්ය.

යහපාලනයේ සැබෑ වෙනස සමාජවාදි ජීවන ක්‍රමයක් හොයමින් සිටි පැරාය. ඒතුමාගේ අද දවසේ කාර්ය භාරය වන්නේ රවි/රනිල්/මෛත්‍රී ආණ්ඩුවේ වැඩ කිඩ වලට සමාජ වාදි න්‍යායක් හොයා දීමත් යහපාලන ආණ්ඩුවට විරුද්ධ වෙන අයව  මහින්ද රාජපක්ෂගේ ගෝලයන් ලෙස බෞතිස්මය ලබා දීමත්ය. ආමෙන්.

මෙන්න සමාජවාදි අය වැයේ මාක්ස් ලෙනින් වාදි අංග කීපයක්

* විශ්‍රාම  වැ‍ටුපට කෙලීම-මේකට විරුද්ධ වෙන්නේ ධනපතියන් මිස අන් කවුරුන්ද?

*පොහොර සහනාධාරයට සොරි කිරීම- ගොවින් යනු සුලු ධනේශ්වරයන් බව කවුරු නම් නොදනිත්ද?

*වවුචර් මගඩියක් ගෙන වුත් පාසැල් නිල ඇඳුමට කෙලවීම-ලඟදීම පාසැල් පොත් වලටත් මේ සන්තෑසිය වනවා සිකුරුය.

* ලොකු වාහන සුඛෝපභෝගි වාහන ගැන වගේ වගක් නැතිව , පොඩි වාහන, ත්‍රී වීල් වලට ටැක්ස් පිට ටැක්ස් ගැසීමෙන් මාර සමාජවාදයක් උදා කර ගන්නට පුලුවන්ය.

*වෑගපිටිය වගේ දුප්පතුන්ගේ ආදායම වැඩි කර ගැනීමට මෝටර් සයිකල් පදින , ත්‍රී වීල්  එලවන කෝටිපතියන්ගෙන් දුම් සහතික ගාස්තුව වැඩි කර දීම ෆීඩෙල් කස්ත්‍රෝට කොරගන්ට බැරි වුන විප්ලවවාදි කිරියාවක්ය.

දැන් ඉතින් අපිට ලක්ෂ විසිපහකින් මිල වැඩි කරපු නිසාන් ලීෆ් එකේ සමාජවාදයට යන්ඩ හැකිය. කාටද ආඩම්බර

Thursday, November 19, 2015

කට කහනවට


මුහුද මගේ ගොඩබිමයි
නැව් මගේ ලේකම්ගෙමයි
සියලු මසුන් මගෙ තමයි
දොස්තර ප්‍රා-ජිත මමයි

-සටහන- කලාමැදිරියාත් ඇවන්ගාර්ඩ් එකෙන් සල්ලි ගත්තා කියා කියනවා හෙම නොවෙයි ඔන්න.

Thursday, November 12, 2015

මාරපන ගේ මාර ෆන්



තිලක් මාරපන හිටපු ඇමති තුමා  සකල ශ්‍රීලංකා වාසි ජනයාට දුන් ෆන් එක වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ.

අනුර කුමාර සහ ජේවීපිය ෆන් ගන්නේ " ඔන්න බලාපල්ලා අපි මාරපන ගෙදර  යැව්වා , කෝමද අපේ වැඩ " කියාය.

 අපේ රනිල් තුමා සහ යූ ඇන් පිය ගේ ආතල් එක ඊට පොඩ්ඩක් වෙනස්ය. එතුමා ලා ගේ අදහස අනුව මෙහෙම ඇමති කෙනෙක් සිරි ලංකාවේ දී මේ සම්මජ්ජාතියට මේ විදියට ඉල්ලා අස් වී නැත. මෙදා පොටේ එහෙම උනේ යහපාලනය නිසාය.

මහින්ද මාමා ඇතුලු කට්ටියට ඉල්ලා අස් වීම  එච්චර ආතල් එකක් ඇති උනත් යහපාලන කට්ටියම දෙකට බෙදිලා ඇණ කොටා ගන්න හැටි බලමින් ගන්න ෆන් එක මාරය.

බටහිර කුමන්ත්‍රණ ගොඩට තව එකක් දාගන්න පුලුවන් වීම නිසා වීරවංශත් ගන්නේ ලේසි පාසුෆන් එකක් එහෙම නොවේය.

ඔය ඔක්කොම අස්සේ ෆේස් බුක් එකේ කොල්ලෝ සැට් එකටත් ෆුල් ෆන් ය. උන් හිතන්නේ මාරපන අස්වුනේ ෆේස් බුකිය නිසාය, දැන් අපිට ඕනෑ කෙනෙකුට වැඩක් දෙන්න පුලුවන් කියාය.

මේ ගොල්ලන්ගේ ෆන් බල බලා ඉන්න අපිටත් හෙණ ෆන්ය.

Sunday, November 8, 2015

මාදුළුවාවේ සෝභිත හිමි හා කුම්භාණ්ඩයෝ



සෝභිත හිමිගේ අපවත් වීම අසා සමහරුන් ප්‍රීති වන බව පෙනේ.  එසේ සතු‍ටු වන්නේ  සමාජ  ජාල වෙබ් අඩවි වලින් විශේෂයෙන්ම  ෆේස්බුක් හරහා දේශපාලනය කළ  රාජපක්ෂ වාදින්ය. රාජපක්ෂලා පසුපස කවදාත් සිටියේ මෙවැනි අපතයින් බව නොරහසකි.කෙසේ නමුත් එයින් කියවෙන සත්‍ය නම් මහින්ද රාජපක්ෂගේ පරාජයට සෝභිත හිමියන්ගේ  දායකත්වය හා බලපෑම යහපාලකයන් වටහා නොගත්තත් රාජපක්ෂවාදින් හඳුනා ගෙන ඇති බවයි.
 
ඇත්ත වශයෙන්ම ගත් කල සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හරහා ජනාධිපතිවරණය සඳහා  පොදු අපේක්ෂකයෙක් පිළිබඳ කතිකාව  ගෙන නො එන්නට  සැවොම විසින් හා තමා  විසින්මත්  පරාජය කළ නොහැකි යැයි සිතූ මහින්ද රාජපක්ෂ තව අවුරුදු  ගණනාවක් බලයේ සිටීමට හැකි වෙනු ඇත.
 
පොදු අපේක්ෂකයෙක් ඉදිරියට නොපැමිණියා  බේද බින්න වී සිටි විපක්ෂය නියත වශයෙන්ම පරාජය වනු ඇත. ඒ එජාපයෙන් පරාජය නියත රනිල් වික්‍රමසිංහත් ,ජවිපෙ අපේක්ෂකයෙකුත් තරඟ වදින තත්වයක් තුලය.
එම නිසා රාජපක්ෂ පරාජයේ සෑහෙන වැදගත්  වැඩ කොටසක් ඉ‍ටු කලේ සෝභිත හිමි බවට රාජපක්ෂ වාදි ගෝල බාලයන් ගේ හඳුනා ගැනීම නිවැරදිය.
 
නමුත් රාජපක්ෂ කල්ලිය පලවා හැර බලයට ගෙන අවුත් තිබෙන්නේ එබඳුම වූ නඩයක් බව මහ බැංකු සිද්ධිය , ඇවන්ගාර්ඩ්, HNDA පහර දීම, කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම , හා වෙනත් එබඳු සිදු වීම් ගණනාවකින්ම  පෙනී යයි. මිය යන විට සෝභිත හිමි ද ඒ බව අවබෝධ කර ගෙන සිටි අතර උන්වහන්සේගේ අභාවය ඉක්මන් වෙන්නට ද එය බල පෑවා විය හැක.එක් වියරුවකින් යාම්තමින් බේරා ගත් රට එබඳුම වූ තවත් වියරුවකට යට වීම උන්වහන්සේට දරා ගත නොහැකි වන්නට ඇත.

සැම විටම තමා නිවැරදි යැයි දු‍ටු දේ වෙනුවෙන් එඩිතරව පෙනී සිටී  මාදුළුවාවේ සෝභිත  හිමිගේ  මා දකින  ලොකුම අඩුපාඩුව වන්නේ තල වපුරා මුං ලබා ගන්නට බැරි බව අවබෝධ කර ගෙන නොසිටීමයි.

කෙසේ වෙතත් රාජපක්ෂ මාපියාව පලවා හැරීමට පෙරමුණ ගැනීම ගැන මාදුළුවාවේ සෝභිත හිමිට   කෘතඥවෙන අතරම  ඉදිරියට එන සටන් වලදී  උන්වහන්සේ ගේ සහය නොතිබීම ගැනවත් ජාතියක් වශයෙන් අප කණගා‍ටු  විය යුතුය.

Wednesday, November 4, 2015

යහපාලනය කොයිබටද?


පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් තම මව බැලීමට ගොස් සිටියදී ශ්‍රි ලංකා පොලීසිය විසින් අද දින  අත් අඩංගුවට ගෙන තිබේ .කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම සාධාරණීකරනය කිරීමට සියක් දෙනා ඉදිරියට එනු ඇත.

ඔහු වලංගු විසා නොමැතිව මෙරට ‍රැඳී සිටීම නීතී විරෝධී බවත්, එම නිසා ඔහු අත් අඩංගුවට ගැනීම ඉතා නිවැරදි බව ඔවුන් අපට කියා දෙනු ඇත.

සැබෑය. නීතිය අර්ථයෙන් ගත් කල එය නිවැරදි වීමට ඉඩ ඇත. එහෙත් එය දේශපාලන වශයෙන් හා සදාචාර වශයෙන් ඉතා වැරදිය.

කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා යනු 1980 ගණන් වල අග මෙරට වූ භීෂණයෙන් දිවි ගලවාගෙන ඕස්ට්‍රේලියාවට පලා ගිය කෙනෙකි. ඉන්පසු කලකදී ලංකාවට පැමිණ රහසිගතව ජවිපෙ දේශපාලනයේ නිරතවෙමින් සිටියදී වීරවංශ කල්ලීයේ පාවා දීම් නිසා නැවත රට හැරයාමට ඔහුට සිදු විය.ඔහු නැවත වතාවක් දිවයිනට පැමිණ සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් කර තිබියදී ය පසුගිය ජනවාරියේ දී දිවයිනට පැමිණෙන්නේ. ඉතින් ඔහු අත් අඩංගුවට ගැනීම වැරදි වන්නේ ඇයි.?

කුමාර් පසුගිය ජනවාරියේ දිවයිනට පැමිණි දා සිට මේ වන තෙක් අත් අඩංගුවට නොගත්තේ ඔහු සිටින තැන නොදැන සිටි නිසාද? ලංකාවේ බුද්ධි අංශ එතරම් දුර්වලද? මේ ප්‍රසිද්ධ පුද්ගලයා සිටින තැනක් මෙතුවක් කල් පොලීසිය නොදැන සිටියේද?කුමාර්ගේ දේශපාලන සබඳතා , යන එන තැන් සියල්ල දන්නා ජවිපෙ ඔහු පවා නොදී සිටීද?

නැත. මේ මොහොතේ ඔහු අත් අඩංගුවට ගත්තේ නීති විරෝධිව මෙරට ‍රැඳී සිටි නිසා නොවේ.එසේ අවශ්‍යතාවක් තිබුණා නම් ඔහුව අත් අඩංගුවට ගන්නේ විසා අවලංගු වූ ජනවාරි 31 දාමය. අද කුමාර් අත් අඩංගුවට ගත්තේ ඔහු නායකත්වය දෙන පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය හා සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසු ගිය දින කිහිපයේ පැවත් වූ උද්ඝෝෂණ නිසාය. එම උද්ඝෝෂණ නිසා ශ්‍රී ලංකා පොලීසියට සිදු වූ අවමානය නිසාය.මානව හිමිකම් ‍රැකීමට පිළින දී බලයට පැමිණි  රජයක් සිසුන්ට නින්දිත අයුරින් පහර දීම නිසා  රජයට සිදු වූ නින්දාව නිසාය. එයට පලිගැනීමක් වශයෙන් මිස අන් කිසිවක් නිසා නොවේ.

මේ අනුව බලන විට ඊනියා යහපාලනයත් ගමන් කරන්නේ තම පූර්වගාමියා ගිය මග බව  නම් නිසැකය.

Monday, November 2, 2015

ගුඩ් මෝර්නින් කිරි මාමේ

තමන්ගේ කාලයේ උද්ඝෝෂණ කල  සිසු සිසුවියන්ට පොලිසිය ලවා පහර දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පවසා තිබේ . එතුමා නම් හරිම අපූරු කිරි මාමා කෙනෙකි.එතුමාගේ මේ කතාව ඇසුන විට මගේ මතකයට ආවේ එක්දහස් නමසිය අනූ ගණන් වල මුල් කාලයේ නිතර රූපවාහිනියේ ප්‍රචාරය වූ  වෙලඳ දැන්වීමකි.

 එහි කුඩා දරුවෙක්  "ගුඩ් මෝර්නින් කිරි මාමේ"  යැයි කියන විට කිරි විකුණන කිරි මාමා "ගුඩ් මෝර්නින් මගේ පැටියෝ" යි කියයි.

කිරි මාමගේ රස්සාව කිරි බෙදීමය. මහින්ද මාමාද ඒ කාලයේ යහමින් කිරි බෙදුවේය. රතුපස්වලදී, ක‍ටුනායකදී, යාපනය , සබරගමුව ඇතුලු විශ්ව විද්‍යාලවලදීත්  එතුමා මදි නොකියන්න කිරි බෙදුවේ දැන් ඉන්න කිරි මාමාලාගෙත් පූර්ණ අනුග්‍රහය යටතේය.

හිටපු කිරි මාමා  මෙන්ම දැන් සිටින කිරි මාමාද සිතන්නේ මේ රටේ  සියලු දෙනාටද තමන්ට මෙන් අතීතය අමතක වෙන රෝගයක් සැදී ඇතැයි කියාය. එහෙත් එය එසේ නොවන බව මේ කිරි මාමාලට මතක කර දීමට ජාලවාසින්  කළ  නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.

 
 


Saturday, October 31, 2015

යකාගේ සිහිනය





යකාගේ අඩවිය ලියන මධ්‍යස්ථ මතධාරියා නම් වූ බ්ලොග්  කරුවාට නිදහසේ ගමන් බිමන් යාමට, ඉගෙන ගැනීමට, නිදා ගැනීමට, සිහින දැකීමට ,සල්ලි දී ටිකට් අරගෙන ඇති බැවින්  තමන්ගේ පාඩුවේ කෝච්චියේ යාමට , පාඩම් කිරීමට, ආහාර ගැනීමට ,මලපහ කිරීමට සහ සංසර්ගයේ යෙදීමට අවශ්‍ය බැවින් මින් පසු කිසි කෙනෙකුන් කිසිම ආකාරයක උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, පිකටින් , පෙලපාලි, ‍රැස්වීම් පැවත්විය තබා සද්දෙට අධෝ වාතයක් වත් පිට නොකළ යුතු  යුතු බව  මෙයින්  දැනුම් දී සිටින වගයි.

යම් අයෙකුට පාලකයින් වෙත කුමන ආකාරයක හෝ  දුක් ගැනවිල්ලක්, පැමිණිල්ලක්, ඉල්ලීමක්  කිරීමට ඇත්නම් මධ්‍යස්ථ මතධාරියා සැම දා  කරන පරිද්දෙන් පාලකයින්ගේ කකුල් ලෙව කෑමෙන්  හා වෘෂණ කෝෂ පොලිෂ් කිරීමෙන් එම කාර්ය වඩා සාමකාමි ලෙස කර ගත හැකි බවද මෙයින් දන්වා සිටිමු.

මෙම ආඥාව කඩ කරන අයට යමපාලන යහපාලන පොලීසියේ සාද් ගේ පුතුන් ලවා අවම බලය භාවිතා කරවන බවත් ඉන් ලැබෙන අතුරුඵල ගැන තම තමන් වග කියා ගත යුතු බවත් මෙයින් වැඩි දුරටත් දැනුම් දෙමු.

සටහන- මධ්‍යස්ථ මතධාරියා අමාරුවෙන් උපාධි එකින් එක ලබාගෙන  , සතෙන් සතේ එකතු කර ඉතා අමාරුවෙන් පංතියෙන් පංතිය ඉහලට නැගීමට දකින සිහිනයෙන් ඔහුව නොමුදවන ලෙස පෙර‍ටුගාමි කඩප්පුලියන්  සිතට ගත යුතුය.

Thursday, October 29, 2015

යහපාලනය හෙලුවෙන්


 

රාජපක්ෂ රෙජිමයේ මානව හිමිකම් උල්ලංඝණයන්, ශිෂ්‍යයන්ට කළ අමානුෂික පහර දීම්  මාර්කට් කර බලයට පැමිණි මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව අද වෝර්ඩ් පෙදෙසේ දී තම යහපාලනයේ අරුම ප්‍රදර්ශනය කළේ  උද්ඝෝෂණය කළ සිසු සිසුවියන්ට ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී තිරිසන් ලෙස එම සිසුන්ගේ හිස් ගෙඩි මතට බැටන් ප්‍රහාර ද එල්ල කරමිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව එය අවම බලය පාවිච්චි කිරීමකි.

මෙය ,මෛත්‍රී රනිල්  දෙබායන්ගේ ඊනියා යහපාලනය රාජපක්ෂ රෙජිමයේ  ආශ්චර්යට නොදෙවැනි වන බව  හෝ සමහර විට ඊට අන්ත විය හැකි බව පෙන්වන එක් උදාහරණයක් පමණි. බැටලු සමෙන් වැසී සිටින වෘකයාගේ දත් බොහෝ තියුණුය.

Friday, October 9, 2015

පත්තර පච


අද ලංකාදීප පත්‍රයේ තිබුණු පහත ප්‍රවෘත්තිය බලන්න. මෙහි වැරදි කීයක් තියෙනවද?  


ඊලියන් නානායක්කාර සමුගනී

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් නානායක්කාර මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට 88 වැනි වියේ පසුවූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. තරුණ වියේදීම දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා සමග දේශපාලනයට එක්වූ ඔහු 1970 සමගි පෙරමුණු රජය යටතේ කඹුරුපිටිය ආසනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා විය.
1977 වසරේදී නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. දේහය පන්නිපිටිය, අතුරුගම පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (10) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

ඊලියන් නානායක්කාර 1977 පාර්ලිමේන්තු ගියාලු. 1977 දී ඊලියන්ට තියා කිසිම වාමාංශික නායකයෙකුට පාර්ලිමේන්තු යන්න බැරි වුණ බව පොඩි බබාලත් දන්නවා, හැබැයි ලංකාදීපේ වාර්තා කාරයෝ, කතෘ ලා දන්නේ නැහැ.

1970 දී කඹුරුපිටිය ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයාලු. කොමියුනිස්ට් පක්ෂයට කඹුරුපිටියේ නායකයෙක් හිටියා කියලා අහපු පලමුවැනි වතාව මේක. 


මේ විදියට මටනම් සැකයි ඊලියන් නානායක්කාර ඇත්තටම මැරිලාද කියලා.

Tuesday, October 6, 2015

පෙම් ලොවදී දු‍ටු ඔහුමද මේ



අපේ ගෙදර කුස්සිය පැත්තෙන් බරස් බරස් ගාන සද්දෙත් එක්ක ගොරෝසුවට සිංදුවක් ඇහෙනවා.

"පෙම් ලොවදී දු‍ටු ඔහුමද මේ ,ඔහුට ද මා අන්ධ වුනේ".....

මම හිමීට කුස්සියට එබිලා බැලුවා..

අපේ ආච්චි හිරමනේ වාඩි වෙලා පොල් ගානවා

සීයා වංගෙඩිය උඩ වාඩි වෙලා සිංදුවක් කියනවා

"පෙම් ලොවදී දු‍ටු  ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුණේ

මිදි යුෂ යයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුණේ ඇයි මා............."

මම හෙමිහිට සීයාට කිට්‍ටු කරලා ඇහුවා " සීයේ, ඔය සිංදුව සීයට ගැලෙපෙන්නේ නැහැනේ, ඕක ගෑනු කෙනෙක් කියන සිංදුවක්නේ " කියලා

" මොකොද මට ගැලෙපෙන්නේ නැත්තේ ? මේ සිංදුව තමා අද රටේ වැඩි දෙනෙකුට ගැලපෙන සිංදුව, ලක්ෂ හැටක්ම මේ සිංදුව කියනවා ,ඉතින් මං කිව්වම මක් වෙනවද? " "කියලා සීයා කියපි .

මම හිමිහිට මාරු වුනා.

සටහන- මේ සිංදුවත් , පරාජිත මන්ත්‍රීන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ඇමති කම් ගැනීම හෝ  එතනෝල්  කුඩු මුදලාලිලා  ට ඇමති කම් දීම හෝ  දහම් සිරිසේන තරුණයාගේ UN  චාරිකාව අතර   හෝ කිසි සම්බන්ධයක් නැති බව අපේ සීයා දිවුරා කීවේය.
.

Monday, September 21, 2015

එල්ලුම් ගහ

එල්ලුම් ගහ ගැන මෙන්න මේ වගේ කතාවක් නස් රුදීන් කියල තියෙනව.
ඒ රටේ රජතුමාට අදහසක් පහල වෙලා තියෙනව රටේ ජනතාව සත්‍යයේ පිහිටුවන්න. දවසක් මේ ගැන සාකච්ඡා කරන්න නස් රු...දීන්ටත් ආරාධනා ලැබුණා.


සාකච්ඡාවෙදි රජතුමා තමන්ගෙ අදහස පැහැදිළි කළා.


 "මගේ අදහසක් තියෙනවා ජනතාව සත්‍යයේ පිහිටුවන්න'


 ' ඒ කිව්වෙ?'


 "ජනතාව ඇත්ත කතා කරන්න ඕන"


 "ඉතිං ඕක කොහොමද කරන්නෙ"


 "නීතියෙන්"


 "වැරදිලවත් බොරු කිව්වොත්?"


 "එල්ලල මරණව"


 "එහෙම නීතියෙන් ජනතාව සත්‍යයේ පිහිටුවන්න බෑ. ඕක කරන්න ඕන ධර්මයෙන්, සත්‍යයේ තියෙන වැදගත්කම ජනතාවට දාර්ශනිකව අවබෝධ කරල දෙන්න ඕන." නස් රුදීන් කිව්වා.


රජතුමා අදහස වෙනස් කළේ නෑ. ඔහු නගරයට අතුල් වෙන ප්‍රධන මුරපොල ලඟ එල්ලුම් ගහක් තැනෙව්වා. රාජපුරුෂයො දාල එතනින් යන ජනතව ගෙන් ප්‍රශ්න කළා. ඇත්ත කියපු අය නිදහස් කළා. බොරු කියපු අය එල්ලලා මැරුව.


නස් රුදීනුත් මෙතනින් යන්න ආවා.


රාජපුරුෂයො ප්‍රශ්න කළා.


 " කොහෙද යන්නෙ?"


 "එල්ලුම් ගස් යන්න යනව"


 "උඹ බොරු කියන්නෙ"


 "එහෙනම් මාව එල්ලනවා"



" එතකොට තමුසෙ කියපු එක ඇත්ත වෙනව. ඇත්ත කියපු අය එල්ලන්න බලයක් නෑ."

 "එහෙනම් මාව නිදහස් කරනව."


 "එතකොට තමුසෙ කියල තියෙන්නෙ බොරු. බොරු කියන අය එල්ලන්න කියල අපට නියෝග කරල තියෙන්නෙ. එල්ලුවොත් තමුසෙ කියල තියෙන්නෙ ඇත්ත. ඇත්ත කියන අය එල්ලන්න නීතියෙන් අවසරන් නෑ. එල්ලුවෙ නැත්තන් තමුසෙ කියල තියෙන්නෙ බොරු.... බොරු කියන අය එල්ලන්න කියල අපට නියෝග කරල තියෙන්නෙ.......... එල්ලුවොත් තමුසෙ කියල තියෙන්නෙ ඇත්ත............. ඇත්ත කියන අය එල්ලන්න නීතියෙන් අවසරන් නෑ............ එල්ලුවෙ නැත්තන් තමුසෙ කියල තියෙන්නෙ බොරු....


'දැන් තේරෙනවද....? ඉතින් ගිහින් කියනව තමුසෙලගෙ රජාට හැම හත්තිලව්වම නීතියෙන් කරන්න බැ කියල....."


සාහිත්‍ය මාසය වෙනුවෙන් බුකියෙන් උස්සන ලදි

Sunday, September 13, 2015

සාදු බුද්දං ආප්ප කාපන් ඉතිරි ඒවාට බීඩි බීපන්

 
අපි පුංචි කාලේ අපේ යාලුවෙක් යමක් කරන්න ගිහින් වැඩේ වරද්ද ගත්තාම අපි කියන්න පුරුදු වෙලා හිටියා
" සාදු බුද්දං, ආප්ප කාපන් ,ඉතිරි ඒවාට බීඩි බීපන් " කියලා. 

මේ කියමනෙන් අපි අදහස් කරේ  ඇද්ද උඹට හොඳ වැඩේ  කියන එක.

මට මේ කියමන ආයේ මතක් වුනේ මේ දවස් වල නිමල් ලංසා, මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත , එස්.බී වගේ අයට යහපාලන ආණ්ඩුවෙන් ඇමතිකම් දීපු එක ගැන කංකෙඳිරි ගාන  උගත්තු , බුද්ධිමත්තු , සිවිල් සංවිධාන දැක්කම. ඒ ගොල්ලෝ මේ දවස් වල ඉන්නේ ගලේ පහරපු බළල්ලු , එහෙම නැත්නම් අර මොනවද කාපු රිළව් වගේ.

මේ යහපාලන කට්ටියගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා නම් එයාලා  හිතලා තියෙන්නේ  උඳු වපුරලා තල නෙලන්න පුලුවන් වෙයි කියලා. උඳු වපුරලා උඳු මිසක් තල නෙලන්න බැරි බව එයාලා දැන්වත් තේරුම්  අරගෙන ඔය කංකෙඳිරිය නවත්තනවා නම් හොඳයි .

 නැත්නම්  ඔය උගත් බුද්දිමතුන්ට ඒ වගේ මූලික දැනුමක් වත් නැහැ කියලා මිනිස්සු හිතයි. අනික පැරදුන කට්ටිය එයාල ට කොචොක් කරයි
" සාදු බුද්දං ආප්ප කාපන් ඉතිරි ඒවාට බීඩි බීපන් කියලා"

Thursday, September 3, 2015

කිසිම ආකාරයක පරීක්ෂණයක් අවශ්‍ය නැතිද?

 
එක්සත්  ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය ලංකාවේ සිදු වූ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය යැයි කියනා කාලයේ විමල් වීරවංශ, ගුණදාස අමරසේකර ඇතුලු පිරිස් මර හඬ දුන්නේ  " ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, ලංකාවේ ස්වාධිපත්‍ය විනාශ කරන්න හදනවා , රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට බටහිර  කුමන්ත්‍රණ කාරයෝ ඇඟිලි ගහනවා, කොටි සංවිධානය පරදවලා ප්‍රභාකරන් මරපු එකේ වාඩුව ගන්න හදනවා, ලංකාවේ හමුදාවට දඬුවම් කරන්න හදනවා,මහින්දව විදුලි පු‍ටුවේ තියන්න උත්සහ කරනවා" ආදි    නොයෙක් ආඩපාලි  කියමිනි.


දැන් ලංකාවේ ඇති වූ අලුත් තත්වයත් සමග ලංකාවට ඇමෙරිකානු සහකාර ලේකම් වරියක  නිශා බිස්වාසි " අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැත, දේශීය පරීක්ෂණයක් පවත්වන්න" යි කියන  විටද ඉහත පිරිස් නැවත හඬ තලමින් , " මේක මර උගුලක්, බටහිර කුමන්ත්‍රණක්, අපි ඉවරයි, අපි නැ‍තෝ, අපිව කන්ට හදනවෝ " ආදි වශයෙන් කියමින් ඔව්හු නැවතත් හඬ තලමින් සිටිත්.

මෙයනම් පුදුම තත්වයකි. දේශීය පරීක්ෂණත්  විජාතික කුමන්ත්‍රණය. අන්තර්ජාතික පරීක්ෂණත් කුමන්ත්‍රණය. 

 දැන් මොවුන් කියන්නේ කුමක්ද?\

කිසිම ආකාරයක  පරීක්ෂණයක් අවශ්‍ය නැති බවද? 

සියළුම ආකාරයේ පරීක්ෂණවලට විරුද්ධ වන්නේ සඟවා ගැනීමට යමක් තිබෙන නිසාද?

කරුණු එසේ නම් ඒ " යමක්" මොනවද?

පරීක්ෂණයක් අවශ්‍යම වන්නේ ඒ " යමක්"  නිසා නොවේද?

Wednesday, September 2, 2015

රජාලගේ රජ ගැහිලි හෙලිදරව් වේ.


 

පසුගිය රජය සමයේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු ගැන චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුවූයේ නැත. එම මුදල් ගනුදෙනු වලට සම්බන්ධව සිටියෝ සියල්ල මනාව යටගැසූහ.
නමුත් 2014 වසරේ සන්ඩේ ටයිම්ස් ජූලි හා අගෝස්තු කලාපයන්ගෙන් එක්තරා හෙළිදරව්වක් සිදුකෙරිණ. පාර්ලිමෙන්තුවට රහසේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකාවේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා උපදේශකවරුන් පිරිසක් සමග මුදල් ගනුදෙනු වල යෙදී ඇති බවට පැහැදිලි සාක්ෂි අනාවරණය කෙරිණ. මෙම ගනුදෙනු සිදුව තිබෙන්නේ ඉමාඩ් සුබේරි නම් තැනැත්තෙකු හරහා බවද කියැවිණ. ලැබී තිබෙන නවතම වාර්තා වලින් තවත් දුරකට යෑමේ හැකියාව අපට දැන් ඇත. මෙසේ ගනුදෙනු කෙරුනු මුදල් ඉමාඩ් සුබේරි පවත්වාගෙන ගිය බව කියන සමාගමකටත්, ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමකටත් බැර කර තිබෙන බවට පැහැදිලි සාක්ෂි දැන් අප සතුය.
2014 වසරේ මැයි මස 9 සිට සැප්තැම්බර් 10 අතර කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් ලක්ෂ 65 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් 872,806,569) නිදහස් කර ඇත. මුදල් නිදහස් කර තිබෙන්නේ විදේශ කටයුතු සදහා යැයි පවසමින්ය. නමුත් මෙම මුදල් විදේශ කටයුතු අමාත්‍යංශය භාරයේ හෝ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භාරයේ ගනුදෙනු කර ඇති බවක් සොයාගැනීමට නැත.
මහ බැංකුව මෙම මුදල නිදහස් කර තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපදේශක ලිලිත් වීරතුංග යන තිදෙනාගේ ලිඛිත උපදෙස් අනුවය. මේ සදහා යෙදාගත් ඊමේල් ලිපි සියැසින්ම දැකගැනීමට සන්ඩේ ටයිම්ස් අපට හැකිවිය. තම පෞද්ගලික විද්‍යුත් ලිපිනයන්ම ලිපි ගනුදෙනු සදහා යොදාගැනීමට ගුණවර්ධන හා කබ්රාල් දෙදෙන කටයුතු කර තිබේ.
මෙම තොරතුරු අපි ඇමරිකා සගරාවක් වන ෆොරින් පොලිසි සමග හුවමාරු කරගත්තෙමු.ගෙවුනු සිකුරාදා සුබේරිගේ කටයුතු පිළිඹද සම්පූර්ණ වාර්තාවක් එහි පළව තිබිණ. කෘතගුණ දැක්වීමක් ලෙස ඇමරිකාවේ තිබෙන රාජපක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමෙන්තුව සිදුකරගෙන යන පරීක්ෂණ වල තොරතුරු අප වෙත ලබාදීමට ෆොරින් පොලිසි සගරාවේ ජ්‍යේෂ්ඨ රචකයෙක් වන බිල් ඇලිසන් මහතා කාරුණික විය.
අපට ලැබී තිබෙන තොරතුරු වලින් අනාවරණය කරගැනීමට හැකියාව ඇත්තේ පසුගිය රජය තම ප්‍රතිරූපය ඔප්නංවාගැනීමට විවිධ විදෙස් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හා මහජන සම්බන්ධතා ආයතනයන් බිලීබා ගැනීමට යෙදවූ අති විශාල මුදලින් ඉතාම සුලූ කොටසක් ගනුදෙනු වී ඇති ආකාරය පමණකි.බොහෝ ගනුදෙනු සිදුව ඇත්තේ ඇමරිකාවේය.නමුත් බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉන්දියාවේ පවා වෙළද ප්‍රචාරක ආයතනයන් පසුගිය රජයේ ප්‍රතිරූපය නංවා ගැනීමේ කටයුතු වලට යොදවාගෙන ඇති බවට පැහැදිලි සාක්ෂි ඇත. 2014 දී සන්ඩේ ටයිම්ස් අනාවරණය කළ ආකාරයට ඩොලර් ලක්ෂ ගණනක මුදල් විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට බැර කර ඇත.මුදල් වෙන්කිරීම් පිළිඹඳ සියලූ කටයුතු සිදුව ඇත්තේ හොර රහසේය. එසේ වුවත් ගුණවර්ධන,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වයගේ නම් මේ ගනුදෙනු වල නොයෙක් තැන්හි සදහන්ව තිඛෙනු හදුනාගත හැකිය.
ඇමරිකාවේ ක්‍රියාත්මක විදේශ නියෝජිතයින් ලියාපදිංචි කිරීමේ පණත අනුව 2008 - 2014 කාලයේදී ඇමරිකා සමාගම් රැසක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් වලට එළැඹ ඇත.
ලිබර්ටි ජාත්‍යන්තරය, මැජෝරිටි සමාගම් සමූහය, තොම්සන් ඇඩ්වයිසරි සමාගම් සමූහය, බෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස්,ලෙවික් ස්ට්‍රැටෙජික් කමියුනිකේෂන්ස්,ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන්,විජිලන්ට් වර්ල්ඩ්වයිඩ් වැනි සමාගම් ඒ අතර වේ.
මේ සා විදෙස් ප්‍රචාරක හා උපදේශක ආයතනයන් ප්‍රමාණයක සේවය ලබාගත්තද රාජපක්ෂ රජය සමයේ බටහිර හා අප රට අතර පැවති සබදතා තිබූයේ විනාශය කරා යමින්ය. ලබාදුන් මුදලට සරිලන සේවයක් මෙම ආයතනයන් සිදුකර ඇත්දැයි විමර්ෂණයක් සිදුව නොමැත. සුබේරි හා ඔහුගේ ඩබ්ලියු.ආර් සමාගම් සමූහයද ලබාගත් මුදලට සරිලන ලෙස ශී්‍රලංකාවේ ප්‍රතිරූපය ඇමරිකාවේ ඔප්නැංවීමට කුමක් කළේදැයි පැහැදිලි නැත.මෙසේ නාස්ති කර ඇත්තේ මහජන මුදල්ය.විගණනයක් සිදුව ඇත්දැයි විමසීම පවා විහිළුවකි.
මුදල් වලට සිදුවන්නට ඇත්තේ කුමක්ද? වියදම් පිළිබඳ ඇති තොරතුරු සීමිතය. සිකුරාදා ෆොරින් පොලිසි සගරාවේ පළව තිබූ ලිපියෙන් මුදල් වියදම් කළේ මොනවාටදැයි සුබේරිගෙන් විමසා තිබිණ,
‘ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ ව්‍යාපෘතියේ ගොඩක් දේවල් තිබුණා.ගොඩක් දෙනා ඒකට එක්වුණා.ඒ හින්දා කාටද මුදල් දිය යුත්තේ,කොපමණ මුදල් ප්‍රමාණයක්ද දිය යුත්තේ කියන එක අන්තිමට බොහොම සංකීර්ණ වුණා අපට. නමුත් වැරදුනු අවස්ථා තිබුණානම් ඒවා වහාම නිවැරදි කරන්නත් අපි කටයුතු කළා.’ ඔහු දී තිබූ පිළිතුර විය.
හිටපු රජයේ වගකිවයුතු පාර්ශවයන්ද, හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ද සදහන් කළේ මේ සියල්ල දැන සිටියේ අතලොස්සක් බවයි. ගනුදෙනු නම් සියල්ලක්ම පාහේ සිදුවූයේ සජින් වාස් ගුණවර්ධනගේ යටතේ බව ඔවුහු පවසා සිටියහ.
මේ සම්බන්ධයෙන් විමසීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔහු සන්ඩේ ටයිම්ස් වෙත පවසා සිටියේ අසන ප්‍රශ්න කෙටි පණිවුඩයකින් දන්වන ලෙසය.ඒ අනුව දුන් පොරොන්දු ඉටුකිරීමට සුබේරි කටයුතු කළේදැයි විමසා ඔහු වෙත කෙටි පණිවුඩයක් යැවීමට අපි කටයුතු කළෙමු.නමුත් ඔහු ඊට පිළිතුරක් එවූයේ නැත.මුහුණට මුහුණ හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
ඉහත නම් සදහන් කළ හිටපු ඇමැතිවරයා තම නම හෙළිනොකිරීමේ පොරොන්දුව මත තවත් තොරතුරු හෙළි කළේය.
‘මට දැනගන්න හැකිවුනු විදිහට නම් ඔවුන් සුබේරිගේ වැඩ ගැන පැහැදීමකින් නෙවෙයි ඉදලා තියෙන්නේ.මොකද එයා පොරොන්දු වුනු දේවල් ඉටු කරලා තිබුණේ නැහැ.ඉතින් එයාලා කළේ වෙන කෙනෙක් ගාවට ගිය එක.’ ඔහු පැවසීය.සුබේරි සමග පැවති ගිවිසුම 2014 සැප්තැම්බර් මාසයේදී හදිසියේ අවලංගු කෙරිණ.ඒ දෙපාර්ශවය අතර ගිවිසුම ඇතිවී මාස 4 ක් වැනි කෙටි කාලයක් ගතවූ තැනය.
නමුත් මේ වන විට සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගොස් තිබිණ.කැබිනට් මණ්ඩලයවත්,පාර්ලිමෙන්තුවවත් මෙසේ රටින් පිටතට මුදල් ගලායමින් තිඛෙන බව දැන සිටියේ නැත.පළමු ගෙවීම බැර කර තිඛෙන්නේ 2014 මැයි මස 9 වැනිදා සුබේරිගේ බෑන්ක් ඔෆ් ඇමරිකා බැංකු ගිණුමටය.ඩොලර් 3,500,000 ක මුදලක් (රුපියල් 469,972,768) එසේ බැර කර ඇත. ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිඹද ගිවිසුම ප්‍රකාරව ලබාදෙන්නක් ලෙස මෙම මුදල හදුන්වාදී තිබේ.
නමුත් ගනුදෙනුව සිදුව ඇති ආකාරයේ කිසිදු විනිවිදභාවයක් නැත.ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 35 ක මුදල තමන් වෙත අයවිය යුතුයැයි සදහන් කර බිල්පතක්ඉදිරිපත් කර තිඛෙන්නේ සුබේරිගේ බිරිද රෙනී වූ ය.ඇවෙනියු වෙන්චර්ස් යැයි සමාගම් නාමයක්ද මෙම බිල්පෙතේ් මුද්‍රණය කර තිබේ.සොයාබැලූූ විට ඇවෙනියු වෙන්චර්ස් යනු දේශපාලන කටයුතු වලට හවුල්ව සිටින හෝ වෙළද ප්‍රචාරණයේ යෙදී සිටින හෝ සමාගමක් නොවන බව අනාවරණය විය.ඇවෙනියු වෙන්චර්ස් යනු මුදල් හා දේපළ කටයුතු හා පෞද්ගලීකරණය, විදේශයන් සමග සිදුවන හවුල් ව්‍යාපාර,දේශසීමා අතර සිදුවන මුදල් ගනුදෙනු ආදී කටයුතු ගැන උපදේශනය සපයන කුඩා පරිමාන පෞද්ගලික සමාගමක් බව සුබේරිගේ ලින්ක්ඩ්ඉන් පිටුවේ සදහන්ව ඇත.අමතරව ඔහු එම සමාගම සමග ඩොලර් බිලියන 15 ක ගනුදෙනුවක යෙදී තිඛෙන බවටද තොරතුරු ඇත.
ඇවෙනියු වෙන්චර්ස් බිල්පත ඉදිරිපත් කළ දිනය ලෙස සදහන් වන්නේ 2014 මැයි මස 5 වැනිදාය.දින 4 ක ඇවෑමෙන් ශී්‍රලංකා මහ බැංකුව අදාළ මුදල නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
කෙසේවුවත් මුදල් භාරගත් බවට කුවින්තාන්සියක් නිකුත් කර තිඛෙන්නේ සුබේරි හෝ ඇවෙනියු වෙන්චර්ස් හෝ නොව ඩබ්ලියු.ආර්.ගෘෘප් නම් තෙවන පාර්ශවයකි.එහි අධ්‍යක්ෂක යැයි නම් සදහන් මාර්ක් ස්කරුලිස් නැමැත්තෙක් කුවින්තාන්සියට අත්සන් තබා ඇත.ඩබ්ලියු.ආර් ගෘෘප් යනු විදෙස් රටවල් හා සබදතා පවත්වාගන්නා සමාගම් වෙනම ලියාපදිංචි කළ යුතුවීමේ පණත ප්‍රකාරව ඇමරිකාවේ ලියාපංදිචි කර තිඛෙන්නක් නොවේ.මේ අනුව සැළකූ විට එම සමාගම ශී්‍රලංකා රජය සමග මුදල් ගනුදෙනු වල යෙදී තිඛෙන්නේ ඇමරිකා රජයේ ඇස්වසාය.
2014 මැයි මාසයේදී සුබේරිට ඩබ්ලියු.ආර් ගෘෘප් හරහා මුදල් ලැබිණ.එම මුදල් එවා තිබුණේ ශී්‍රලංකා මහ බැංකුවය.විදෙස් රටක් සම්බන්ධ හෙයින් මෙම ගනුදෙනුවට අදාළ ඇමරිකාවේ කි්‍රයාත්මක පණත් හා නීති අනුව ඔහු කටයුතු නොකළේය.වාර්තාවී ඇති ආකාරයට සුබේරි හා ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් තිබීද නැත.පරීක්ෂණ කටයුතු වලින් හෙළිව ඇති ආකාරයට එම සමාගම පිහිටුවා තිඛෙන්නේ 2014 ජූලි මස 14 වැනිදා වොෂින්ග්ටන් නුවරදීය.(දින 3 ක ඇවෑමෙන් ශී්‍රලංකා මහ බැංකුව මෙම සමාගමේ බැංකු ගිණුමට මුදල් බැරකිරීම අරඹා ඇත).
සුබේරිගේ බැංකු ගිණුමට අවස්ථා දෙකකදී මුදල් බැරකිරීමට ශී්‍රලංකා මහ බැංකුව කටයුතු කරන්නට ඇත්තේ ගිවිසුම අත්සන් කළ සමයේ ඩබ්ලියු.ආර් ගෘෘප් යැයි සමාගමක් පවා නොතිබුණු නිසා යැයි සිතිය හැකිය.එනම් මහ බැංකුව අනාගතයේ පිහිටුවන්නට නියමිතව තිබූ සමාගමක් සමග අවබෝධතාවයකට එළැඹ ගිවිසුමක් අත්සන් තබා ඇත.එම සමාගමට අදාළ බැංකු ගිණුමට මහ බැංකුව මුදල් බැරකරන්නට ගෙන ඇත්තේ සමාගම ආරම්භ කළායින් පසුවය.
දෙවන ගෙවීම ලෙස ඩොලර් ලක්ෂ 10 ක මුදලක් (රුපියල් 1,34,315,000) 2014 ජූනි මස 18 වැනිදා නිදහස් කිරීමට මහබැංකුව කටයුතු කර ඇත.මුදල බැර කර ඇත්තේ ඉමාඩ් සුබේරිගේ බැංකු ගිණුමටය.
වාස්,කබ්රාල්,වීරතුංග ත්‍රිත්වය අතර මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හුවමාරුවී ඇති විද්‍යුත් ලිපි මෙවැනිය.
සජින් වාස් - නිවාඩ්,කරුණාකර 2014 ජූනි මාසය සදහා වන ගෙවීම් සිදුකරන්න
වීරතුංග - මම මේ ගෙවීම් අනුමත කරනවා
කබ්රාල් - ස්තූතියි.ගනුදෙනුවට එකගයි.
තෙවැනි ගෙවීම තවත් ඩොලර් ලක්ෂ 10 ක මුදලකි.දිනය 2014 ජූලි මස 17 වැනිදාය.මෙවර නම් මුදල බැර කර තිඛෙන්නේ ඩබ්ලියු.ආර්.ගෘෘප් හි බැංකු ගිණුමටමය.සමාගම ආරම්භ කර ගතවන්නට ඇත්තේ දින කිහිපයක් යැයි අනුමාන කළ හැකිය.
අවසාන ගෙවීම ලෙස සදහන් වන්නේ 2014 සැප්තැම්බර් මස 14 වැනිදා ඩබ්ලියු.ආර්.ගෘෘප් බැංකු ගිණුමට බැර කර ඇති ඩොලර් ලක්ෂ 10 කි.මෙම ගෙවීම් සියල්ලක් ජනපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත සිදුවන බව සදහන් කෙරෙන ලිපි තම අත්සනින් යුතුව මහබැංකු අධිපතිවරයා වෙත යොමුකිරීමට හිටපු ජනපති උපදේශක ලලිත් වීරතුංග කටයුතු කර ඇත.ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන කටයුතු පිළිඹද වැඩසටහන යැයි එම ලිිපිවල ශීර්ෂයේ සදහන්ව තිබේ.
ඉහත කුවින්තාන්සිය ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සන්නිවේදන වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඩබ්ලියු.ආර්.ගෘෘප් අතර ඇතිව තිඛෙන ගිවිසුම ප්‍රකාරව ඉදිරිපත් කර තිඛෙන්නක් බව මම මෙයින් සහතික කරමි. යැයි එම ලිපි වල දැක්වේ.වීරතුංග මේ අයුරින් සුබේරිට අවස්ථා දෙකකදීද,ඩබ්ලියු.ආර්.ගෘෘප් වෙත අවස්ථා දෙකකදීද ගෙවීම් සිදුකිරීම සහතික කර ඇත.මෙසේ ගෙවීම් සිදුකරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඩබ්ලියු.ආර් ගෘෘප් ලබාදෙන සේවය සදහා යැයිද ඔහු තම ලිපිවල සදහන් කර තිබේ.
නමුත් ඇයි සුබේරිගේ පෞද්ගලික බැංකු ගිණුමට අවස්ථා දෙකකදීම මුදල් බැර කෙරුණේ? හේතුවක් ලෙස ඉහත සදහන් කළ අයුරින් එම සමයේ ඩබ්ලියු.ආර්.ගෘෘප් සමාගම නොතිබීම දැක්විය හැකිය.නමුත් ඩොලර් ලක්ෂ ගණන් මුදල් ලබාදීමට තරම් සුබේරි හා ශී්‍රලංකා මහ බැංකුව අතර තිබූ බැදීම කුමක්ද? සුබේරි යනු කෘතහස්ථ දේශපාලඥයෙක්ද නොවේ.ඔහුට ඇත්තේ ප්‍රමුඛ පෙලේ ඇමරිකා දේශපාලඥයින් හා සම්බන්ධතා පමණකි.නමුත් ඔහුට ඩොලර් ලක්ෂ ගණනින් මුදල් ලබාදීමට මහබැංකුව පසුබටව නැත.මෙම ලබාදුන් මුදලින් ශී්‍රලංකාවට,එහි ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ මොනවාද?
ෆොරින් පොලිසි සගරාව මේ පිළිඹදව සුබේරිගෙන් විමසා ඇත.
‘ප්‍රතිපත්ති නිසා අපට හැකියාවක් නැහැ කරන ගනුදෙනු ගැන ඔක්කොම විස්තර හෙළි කරන්න.’ ඔහු ඊට පිළිතුරු දී තිඛෙන්නේ ඇග බේරාගෙනය.
රටේ මූල්‍ය කටයුතු පිළිඹද ඉහළම නිලධාරියා වන මහ බැංකු අධිපතිවරයාට ඩොලර් ලක්ෂ ගණන් වලින් ගෙවීම් සිදුකරන්න ලෙස නියෝග ලබාදෙන්නට සජින් වාස් ගුණවර්ධනට හැකියාවක් ලැබුණේ කෙසේද? පැවතුනු රජයේ බොහෝමයක් පරිපාලන කටයුතු විනිවිදභාවයකින් තොරව සිදුවූ බවට චෝදනා ඇතත් මේ අවස්ථාව නම් සැබෑවටම පමණ ඉක්මවා යාමකි.මුදල් ගෙවිය යුතු පුද්ගලයින් තෝරාගත්තේත්.එසේ ගෙවිය යුත්තේ කොපමණ මුදලක්දැයි තීරණය කළේත්  කවුරුන්ද? මේ කටයුතු පාර්ලිමෙන්තුවට හා කැබිනට් මණ්ඩලයට නොදන්වා සිදුකිරීමට තීරණය කළේ කවුරුන්ද?
යුධ අපරාධ සම්බන්ධයෙන් ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබීම නිසා බටහිර දිනාගෙන එයට මුහුණදීමට පසුගිය රජය සීමාව ඉක්මවා කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකිය.කෙතරම් විවේචනය කළද බටහිර දිනාගැනීමට ඔවුන්ට කොපමණ වුවමනාවක් තිබුණාදැයි 2014 පෙබරවාරියේ කොළඹදී ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පළකළ අදහස් වලින් පෙනුනි.
‘දේශපාලන හයියක් නැතිව ඇමරිකාවේ මොකවත් කරන්න බැහැ.ඔවුන් ඔබට ඇහුම්කන් දෙන්නෙත් නැහැ.ඉතින් කරන්න දෙයක් නැහැ ඔබට සිදුවෙනවා ඒ දේශපාලඥයින් සමග හොද සම්බන්ධතා තියෙන පුද්ගලයෙක් එක්කවත් ගනුදෙනු කරන්න.ඔක්කොම තීරණය වෙන්නේ ප්‍රතිරූපය හදාගන්න කොච්චර උත්සාහයක් දරනවාද,ඒ වෙනුවෙන් අප යොදාගන්නා පුද්ගලයාට හරි සමාගමට හරි කොපමණ දක්ෂතාවයක් තිඛෙනවාද යන්න මත තමයි.’ ඔහු කීය.
පසුව එළැඹුණු මාර්තු මසදී රැස්වුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ෂණයක් සිදුකිරීමට තීරණය කළේය.වහාම අප්‍රෙල් මාසයේදී සුබේරි හා ස්කරුලිස් ශ්‍රී ලංකාවට පැමිණියෝය.රාජපක්ෂ රජයේ ඉහළ නිලධාරීන් හමුවූ ඔවුහු අප්‍රෙල් මස අවසානය වන විට උපදේශන කටයුතු මැයෙන් ගිවිසුමකට එළැඹියහ.
දෛනම එකම පාසැලේ උගත්තෝ වෙති.සුබේරි දැනට සේවය කරන්නේ ස්කරුලිස්ගේ සිර්කා මොබයිල් නම් ජංගම දුරකතන මෘදුකාංග නිශ්පාදන සමාගමක විධායක නිළධාරියා ලෙසය.
සුබේරි ශ්‍රී ලංකා රජය හා ගිවිසුමකට එළැඹියායින් පසු ස්කරුලිස් ඛෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටෙජීස් නම් සමාගමක් පිහිටුවා ගත්තේය.
මෙම සමාගමට මහ බැංකුවෙන් සෘජුව මුදල් ලැබී නැත.නමුත් ඩොලර් 850,000 (රුපියල් 114,167,750) ක මුදලක් ලැබී තිඛෙන අතර එම මුදල සමාගම් කිහිපයක් අතර ඛෙදා හැරීමට ඛෙල්ට්වේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.ඩබ්ලියු.ආර් ගෘෘප් හා ඛෙල්ට්වේ සමාගම් ද්විත්වය සමගම 2014 සැප්තැම්බර් මස 30 වැනිදා සිට ශ්‍රී ලංකාව ගනුදෙනු නැවැත්වීය.
‘ඔවුන් පොරොන්දුවූ විදිහට ගෙවීම් සිදුකළේ නැහැ.හිග මුදල් තිඛෙනවා.හිතපු විදිහට අපි පටන්ගත්තු වැඩසටහන කි්‍රයාත්මක වුනේ නැති නිසා අපි අපේ කටයුතු සීමා කළා.එතකොට ශ්‍රී ලංකා රජය අපට මුදල් ගෙවන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා.’ ෆොරින් පොලිසි සගරාවේ ලිපියේ සුබේරි අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.
සියල්ල එක් කළ විට ශී්‍රලංකා මහ බැංකුව සුබේරිට හා ඩබ්ලියු.ආර් ගෘෘප් වෙත ගෙවා ඇති මුදල ඩොලර් ලක්ෂ 65 ( රුපියල් 873,047,500) ඉක්මවයි.මේ සා මුදලක් වැයකළේ කුමක් වෙනුවෙන් වන්නට හැකිද?
සුබේරි හා ඔහුගේ සගයින්ගෙන් ඇමරිකාවේ ඇති රාජපක්ෂවරුන් සතු දේපළ පිළිඹද විමසීම සදහා පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.
ඔවුන්ට පමණක් නොව ඇමරිකා පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, දුමින්ද මනෝජ් රාජපක්ෂ, පුෂ්පා රාජපක්ෂ, තේජානි රාජපක්ෂ, බිමල්කා රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, යතේන්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ටද මෙලෙස සිතාසි නිකුත් කිරීමට ඇමරිකා අධිකරණය කටයුතු කර තිබේ.
මෙම කටයුතු හා සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරන්නේ මොවුන් මෙසේ අධිකරණයට කැදවෙන්නේ ඇමරිකාවේ රාජපක්ෂවරුන් සතුව කොපමණ දේපළ ප්‍රමාණවයක් තිඛෙනවාද යන්න සොයාබැලීමට බවයි. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය නැංවීමට යැයි කියමින් ඇමරිකාවට එවූ මුදල් නියමිත පුද්ගලයින්ට නොව වෙනත් පුද්ගලයින් අතට ගොස් ඇතිදැයි විමර්ශනය කිරීමද මේ සමගම සිදුවන එම ආරංචි මාර්ග කියයි.
 

Sunday, August 23, 2015

විජේනායකගේ ඛේදවාචකය නොහොත් දේවාලයේ පොල්ගැසූ හිටපු විප්ලවවාදියා

 
විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට වී නොසිටියේ//
 
ජානිපෙ කුණු ගොඩේ ඉඳගෙන විමලෙගේ පව් සෝදනා
කලුතරත් නෑ ගම්පහත් නෑ ජාතික ලැයිස්තුවේ නම නැතිවෙලා 
විජේනායක කඩේ ගියා ඇති ගෙදර පල  ‍තෝ පච  වුණා
 
 විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට වී නොසිටියේ//
 
 නවගමු ගොහින් උඹ ගැහුවානේ  පොල් දේවාලයේ 
ඒ වුනත් නෑ උඹේ නම ජාතික ලැයිස්තුවේ  කිම්ද නොදැනේ කාරණා
කෙස් ගොහින් පොල්තෙල් උලාලා  නුඹේ තට්ටය බබලනා
 
විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට  වී නොසිටියේ//