Saturday, October 31, 2015

යකාගේ සිහිනය





යකාගේ අඩවිය ලියන මධ්‍යස්ථ මතධාරියා නම් වූ බ්ලොග්  කරුවාට නිදහසේ ගමන් බිමන් යාමට, ඉගෙන ගැනීමට, නිදා ගැනීමට, සිහින දැකීමට ,සල්ලි දී ටිකට් අරගෙන ඇති බැවින්  තමන්ගේ පාඩුවේ කෝච්චියේ යාමට , පාඩම් කිරීමට, ආහාර ගැනීමට ,මලපහ කිරීමට සහ සංසර්ගයේ යෙදීමට අවශ්‍ය බැවින් මින් පසු කිසි කෙනෙකුන් කිසිම ආකාරයක උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, පිකටින් , පෙලපාලි, ‍රැස්වීම් පැවත්විය තබා සද්දෙට අධෝ වාතයක් වත් පිට නොකළ යුතු  යුතු බව  මෙයින්  දැනුම් දී සිටින වගයි.

යම් අයෙකුට පාලකයින් වෙත කුමන ආකාරයක හෝ  දුක් ගැනවිල්ලක්, පැමිණිල්ලක්, ඉල්ලීමක්  කිරීමට ඇත්නම් මධ්‍යස්ථ මතධාරියා සැම දා  කරන පරිද්දෙන් පාලකයින්ගේ කකුල් ලෙව කෑමෙන්  හා වෘෂණ කෝෂ පොලිෂ් කිරීමෙන් එම කාර්ය වඩා සාමකාමි ලෙස කර ගත හැකි බවද මෙයින් දන්වා සිටිමු.

මෙම ආඥාව කඩ කරන අයට යමපාලන යහපාලන පොලීසියේ සාද් ගේ පුතුන් ලවා අවම බලය භාවිතා කරවන බවත් ඉන් ලැබෙන අතුරුඵල ගැන තම තමන් වග කියා ගත යුතු බවත් මෙයින් වැඩි දුරටත් දැනුම් දෙමු.

සටහන- මධ්‍යස්ථ මතධාරියා අමාරුවෙන් උපාධි එකින් එක ලබාගෙන  , සතෙන් සතේ එකතු කර ඉතා අමාරුවෙන් පංතියෙන් පංතිය ඉහලට නැගීමට දකින සිහිනයෙන් ඔහුව නොමුදවන ලෙස පෙර‍ටුගාමි කඩප්පුලියන්  සිතට ගත යුතුය.

Thursday, October 29, 2015

යහපාලනය හෙලුවෙන්


 

රාජපක්ෂ රෙජිමයේ මානව හිමිකම් උල්ලංඝණයන්, ශිෂ්‍යයන්ට කළ අමානුෂික පහර දීම්  මාර්කට් කර බලයට පැමිණි මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව අද වෝර්ඩ් පෙදෙසේ දී තම යහපාලනයේ අරුම ප්‍රදර්ශනය කළේ  උද්ඝෝෂණය කළ සිසු සිසුවියන්ට ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී තිරිසන් ලෙස එම සිසුන්ගේ හිස් ගෙඩි මතට බැටන් ප්‍රහාර ද එල්ල කරමිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව එය අවම බලය පාවිච්චි කිරීමකි.

මෙය ,මෛත්‍රී රනිල්  දෙබායන්ගේ ඊනියා යහපාලනය රාජපක්ෂ රෙජිමයේ  ආශ්චර්යට නොදෙවැනි වන බව  හෝ සමහර විට ඊට අන්ත විය හැකි බව පෙන්වන එක් උදාහරණයක් පමණි. බැටලු සමෙන් වැසී සිටින වෘකයාගේ දත් බොහෝ තියුණුය.

Friday, October 9, 2015

පත්තර පච


අද ලංකාදීප පත්‍රයේ තිබුණු පහත ප්‍රවෘත්තිය බලන්න. මෙහි වැරදි කීයක් තියෙනවද?  


ඊලියන් නානායක්කාර සමුගනී

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් නානායක්කාර මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට 88 වැනි වියේ පසුවූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. තරුණ වියේදීම දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා සමග දේශපාලනයට එක්වූ ඔහු 1970 සමගි පෙරමුණු රජය යටතේ කඹුරුපිටිය ආසනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා විය.
1977 වසරේදී නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. දේහය පන්නිපිටිය, අතුරුගම පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (10) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

ඊලියන් නානායක්කාර 1977 පාර්ලිමේන්තු ගියාලු. 1977 දී ඊලියන්ට තියා කිසිම වාමාංශික නායකයෙකුට පාර්ලිමේන්තු යන්න බැරි වුණ බව පොඩි බබාලත් දන්නවා, හැබැයි ලංකාදීපේ වාර්තා කාරයෝ, කතෘ ලා දන්නේ නැහැ.

1970 දී කඹුරුපිටිය ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයාලු. කොමියුනිස්ට් පක්ෂයට කඹුරුපිටියේ නායකයෙක් හිටියා කියලා අහපු පලමුවැනි වතාව මේක. 


මේ විදියට මටනම් සැකයි ඊලියන් නානායක්කාර ඇත්තටම මැරිලාද කියලා.

Tuesday, October 6, 2015

පෙම් ලොවදී දු‍ටු ඔහුමද මේ



අපේ ගෙදර කුස්සිය පැත්තෙන් බරස් බරස් ගාන සද්දෙත් එක්ක ගොරෝසුවට සිංදුවක් ඇහෙනවා.

"පෙම් ලොවදී දු‍ටු ඔහුමද මේ ,ඔහුට ද මා අන්ධ වුනේ".....

මම හිමීට කුස්සියට එබිලා බැලුවා..

අපේ ආච්චි හිරමනේ වාඩි වෙලා පොල් ගානවා

සීයා වංගෙඩිය උඩ වාඩි වෙලා සිංදුවක් කියනවා

"පෙම් ලොවදී දු‍ටු  ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුණේ

මිදි යුෂ යයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුණේ ඇයි මා............."

මම හෙමිහිට සීයාට කිට්‍ටු කරලා ඇහුවා " සීයේ, ඔය සිංදුව සීයට ගැලෙපෙන්නේ නැහැනේ, ඕක ගෑනු කෙනෙක් කියන සිංදුවක්නේ " කියලා

" මොකොද මට ගැලෙපෙන්නේ නැත්තේ ? මේ සිංදුව තමා අද රටේ වැඩි දෙනෙකුට ගැලපෙන සිංදුව, ලක්ෂ හැටක්ම මේ සිංදුව කියනවා ,ඉතින් මං කිව්වම මක් වෙනවද? " "කියලා සීයා කියපි .

මම හිමිහිට මාරු වුනා.

සටහන- මේ සිංදුවත් , පරාජිත මන්ත්‍රීන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ඇමති කම් ගැනීම හෝ  එතනෝල්  කුඩු මුදලාලිලා  ට ඇමති කම් දීම හෝ  දහම් සිරිසේන තරුණයාගේ UN  චාරිකාව අතර   හෝ කිසි සම්බන්ධයක් නැති බව අපේ සීයා දිවුරා කීවේය.
.