Thursday, December 26, 2013

ජවිපෙට සුභ පැතුම්


කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සිටින නිර්ධනින්ට  තිබූ අවසාන ප්‍රශ්නයත් විසඳීමට නිර්ධනීන්ගේ විප්ලවවාදි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහයක් ධනපති එජාප හා ශ්‍රිලනිප මන්ත්‍රීන්ගේ ක්‍රියා නිසා පසුගියදා නූලෙන් ව්‍යවර්ථ වී තිබේ.

ජංගම ලී බඩු වෙලෙන්ඳන් නිසා ප්‍රාදේශීය සභාවට බදු ගෙවන ස්ථීර ව්‍යාපාරික ප්‍රජාවට හානි සිදුවන බවත් එම නිසා ජංගම ලී බඩු වෙලෙඳාම තහනම් කළ යුතු බවත් ජවිපෙ මන්ත්‍රී ධර්ම ප්‍රිය  දිසානායක මහතා විසින් යෝජනා කර තිබේ.

 ධනපති පක්ෂ විසින්   පරාජය කර තිබෙන්නේ මෙම විප්ලවවාදි යෝජනාවයි.

ජවිපෙ මෙම නව අරගලය පිලිබඳව ඔවුන්ට සුබ පතන අතර අවශ්‍ය නම් මෙවැනි තවත් යෝජනා ඕනෑ තරම් මතක කර දීමට හැකි බව සටහන් කරන්නේ විප්ලවවාදි සහෝදරත්වයෙනි.

උදාහරණයක් ලෙස තැන් තැන් වල ගොස් මේසන් වැඩ කරන මේසන් බාස්ලා නිසා මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් වලට පහර වදින නිසා එය තහනම් කිරීමට යෝජනාවක් මී ලඟට ගෙන ආ හැකිය.

එසේ නැතිනම් ඉරිදා පොලේ එලවලු වෙලඳාම් කිරීම නිසා රංජිත් පේජ්ගේ ෆුඩ් දේශප්‍රේමි ෆුඩ් සිටියට පහර වදින බැවින් ඉරිදා පොලවල් තහනම් කිරීමේ යෝජනාවක් වුවත් ගෙන ආ හැකිය.





Sunday, December 15, 2013

ප්‍රසන්නගේ නව අවුරුදු පැතුම


අප මහරාජෝත්තමයානන් වහන්සේගේ දෙ‍ටු පුත් ජාතියේ නාමල විසින් පවත්වන්ට යෙදෙන මහා මෝටර් කාර් ධාවන තරඟය විනෝද බද්දෙන් නිදහස් කළා වූ පුන්‍ය කර්මය හේතුවෙන් ඒ කුමාරවහන්සේගේ අනුකම්පාව මා වෙත යොමු වී ලබන වර්ෂයේ පවත්වන්ට තිබෙන්නා වූ පලාත් සභා මැතිවරණයේදී  මා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබේවා!

උතුරු මැද වූවා මෙන් මහ ඇමති කම වැඩිම මනාපයට නොදේවා, ඌවේදී වූවා මෙන් නෑදෑකම් පෙර‍ටු නොවේවා. කිරිපිටි වලටත්, පරිප්පු වලටත්, සීනි වලටත්, ලූනූ වලටත් බදු ගසා ලබන ආදායම්ද යොදවා තව තවත් කාර් රේස්ම මේ රටේ ජහමනයාට ලැබේවා! 

Friday, December 6, 2013

නෙල්සන් මැන්ඩෙලා


එලිමහනේ සටන් වැදි 
තම සගයන්
බල්ලන් බළලුන් මෙන්
මරා දැමෙන යුගයක
රොබින් දූපතේ 
හුදකලා සිර කුටියක 
වසර විසි හතක්
එකක් දෙකක් නොව 
හය හතක් නොව
වසර විසිහතක්
එක් රටක
එක් ජාතියක නොව
මිනිස් වගෙහිම 
ඉරණම තම දෑතින් ගෙන
 නොබිඳුනු අදිටනින්
කලු ගල් කැඩූ
මහ පුරුෂයාණනි
ඔබටයි මේ 
අවසන් ආචාරය

Monday, December 2, 2013

අපිටත් බෙන්ස් එකක්



මෙදා සැරේ අයවැයෙන් රජයේ සේවකයින්ට අත දිග හැර මදි නොකියන්ට ඓතිහාසික දීමක් දී තිබේ.අනම් මනම් නැත. මාසෙකට එක්දාස් දෙසීයක්ම දුන්නේ එතුමාට සුපුරුදු රාජකරුණාවෙන්මය. මාසෙක්ට එක්දාස් දෙසීයක්. දවසකට සුපියල් හතලිහක්ම. නිකම් සුපියල් නොව ගෙඩි සුපියල් හතලිහක්ම . මේ වගේ දීමක් ගැන මහාවංසේවත් ලියවිලා නැත. 

මේ උතුම් රාජ්‍යයේ රාජ්‍ය සේවකයෙක් වන මම දැන් ඉතින් කල්පනා කොරන්නේ මේ ලබා දුන්නු මහා ධන නිධානය කලමනාකරනය කොර ගන්නේ කොහොමද කියලාය. උතුමානන් වහන්සේලා අපි වගේ හුදී ජනයාට මේ වගේ වස්තු සම්බාරයක් දුන්නාම ඒක නැති නාස්ති කර ගන්ට හොඳ නැත. 

ඒක නිසා මේ ලබා දුන්නා වූ එකදාස් දෙසීය රටට ජාතියට වැඩක් වෙන , දේශප්‍රේමි විදියට වියදම කොරන එක ජාති මාමක රාජ සේවකයින් කාගෙත් යුතුකොමය.

අපේ ගෙදර උදවියත් එක්කත් කතා කොරලා මම ඒකට ගැහූ පැලෑන මෙහෙමය. 


ලොකු එකාට නාමල් බේබි එක්ක රේස් පදින්ට මිල අඩු කරපු රේස් කාර් එකක් ගන්ට රු. 130.75

 චෝගම් එකට ගෙනා බෙන්ස් කාර් එකක් අපේ අප්පච්චිට අරන් දෙන්ට  රු. 125.00

පොඩි කොලු අභ්‍යවාකාස විද්දියාව ඉගෙන ගන්ට චීනෙට  යවන්ට රු. 200.00

ලොකු  කෙලීගේ වෙඩිම ඔබරෝයි එකේ ගන්ට රු. 75.25

කොළඹ කො‍ටුවෙන් පර්චස් හාරසීයක් අරන් කැසිනෝ පොලක් දාන්ට රු. 503.00

ගෙදර උන්දෑ ඩිස්නිලන්තෙට යවන්ට රු.74.10

ගනන් බැලුවාම තව රු. 91.90 ක්ම ඉතුරුය. ඒකෙන් රුපියල් 91 පොඩී කෙලීට දෑවද්දට දෙන්ට තියාගෙන ඉතුරු ශත අනූව මට  නෙත්තිකුමාර නෝනාගේ බූරුපොලට යන්ටය.

සටහන- රජයේ සේවක සියල්ලෝම මේ වගේ වැදගත් සැලස්මක් හදා ගත්තොත් මේ රට ආස්චර්යක් කොරන එක මහ කජ්ජක් නොවේය.