Saturday, April 22, 2017

දැන් උඹලා මොනවද කියන්නේ.


කුණු කන්ද ලඟ අනවසර ගෙවල් අටවාගත්තේ යැයි මිනිසුන්ට චෝදනා කරන දේශපාලුවන්ට හා උන්ගේ සට්ටැඹියන්ට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න මහතා ගෙන් පිළිතුරු

'"මේ කුණු කන්දට යටවෙලා තියෙන්නේ පොතුවිල කුඹුර. මීතොටමුල්ල පොතුවිල කුඹුරට මායිම් වෙලා තමයි මගේ බිරියගේ ගෙදර තිබුණේ. එයාගේ තාත්තා රැකියාවට කළේ කිරි හරක් පට්ටියක් ඇති කරපු එක.

පොතුවිල කුඹුරින් එපිට තියන තෙත් බිමේ වැවෙන තණකොළ කපාගෙන ඇවිත් තමයි හරක් පට්ටිය නඩත්තු කළේ. ඒ ඉඩම් එයාලගේ පාරම්පරික ඉඩම්.

මම පොතුවිල කුඹුරට මායිම් වෙච්චි පර්චස් 13ක ඉඩම් කෑල්ලක් 1980දී සින්නක්කර ඔප්පු පිට ගත්තා. මං ගේ හදා ගත්තේ ඒ ඉඩමේ. අපි ගෙවල් හදාගත්තේ කුණු කන්දක් ගාව නෙවෙයි මහත්තයෝ. පිරිසිදු වතුර තිබුණු ලස්සන වෙල්යායක් අද්දර.
පොතුවිල කුඹුරට මුලින්ම කුණු දාන්න ගත්තේ වීරසිංහ මල්ලිමාරච්චිගේ කාලේ. කොළොන්නාව නගර සභාවේ කුණු ටික තමයි මෙතෙන්ට ගෙනත් දාන්න ගත්තේ. ඔය අතරේ 2006 වෙනකොට බ්ලූමෙන්ඩල් කුණු කන්ද කඩාගෙන වැටුණා. මේ නිසා කොළඹ කුණු දැමීම ගැන ගැටලුවක් ආවා. ඒ කාලේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා. ඔහු 216/2009 කියන නඩුව පදනම් කරගෙන නියෝගයක් දුන්නා මෙතැන අක්කර 2ක් වෙන් කරගෙන තාවකාලිකව කොළඹ කුණු දාන්න. මේ කුණු ඉක්මනින් වෙන තැනකට අරගෙන යා යුතු බවටත් කවුරු හරි විරෝධතාවක් ඇති කළොත් ඒ විරෝධතා දැක්වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් ඒ නියෝගයේ සඳහන් වුණා. ඒත් අක්කර දෙකේ අධිකරණ නියෝගය කඩ වුණා. අක්කර විස්සක් දක්වා කුණු දැම්මා. දවසකට කසල ටොන් හතරක් විතර මීතොටමුල්ලට එන්න ගත්තා. ඔය අතරේ 2011 කුණු කන්ද සීමාව අයිනේ තිබුණු ගෙවල් 180ක් විතර කුණු කන්දේ බරට උඩ ගියා. ඒ ඛේදවාචකයත් එක්ක අපි මීතොටමුල්ල කුණු කන්ද විරෝධී සංවිධානය බිහි කරගත්තා.
අපි මුල්ම උද්ඝෝෂණයක් කළේ වර්ෂ 2012දි. සමහර අවුරුදුවල උද්ඝෝෂණ දෙකක් කළා. මේ ව්‍යසනයට එරෙහිව අපි උද්ඝෝෂණ 15ක් ජාතික අවධානය ගන්න මට්ටමට අරගෙන ගියා. වර්ෂ 2013දී අපි සංවිධානයක් වශයෙන් එකතු වෙලා දවස් හතරක් මෙතෙන්ට කුණු දාන එක නතර කරමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා. පොලිසිය 98 වගන්තිය මහජනතාවට පීඩා කිරීමේ චෝදනාව මත අපට විරුද්ධව නඩු දැම්මා. නුවන් බෝපගේ, හේමපාල, කවිධජ හාමුදුරුවෝ සහ මට නඩු දැම්මා. අපි අධිකරණයේදී නඩුකාර හාමුදුරුවන්ට කිව්වා මේ කුණු කන්ද කඩාගෙන වැටිලා ජීවිත වැළලිලා යයි ඒකයි අපි මේ ගැන කතා කරන්නෙ කියලා.....................................................

අපි අරගල කළේ මෙහෙම රටක. මෙහෙම මිනිස්සුන්ගෙන් තමයි අපි ජීවත් වෙන්න අයිතිය ඉල්ලුවේ. අපි කළ අරගලයේ මානුෂික ඇත්ත මුන් එකෙකුටවත් දැනුණේ නෑ. අන්තිමට මේ කුණු කන්දට වැළලිලා මගේ නෝනයි, දුවයි, මිනිබිරියයි, බෑනයි මැරිලා ගියා. දුවගේ මිනිය මේ කතාකරන මොහොතෙත් ලැබිලා නෑ. මං මේ රටේ උන්ගෙන් අහන්නේ මෙච්චරයි. දැන් උඹලා අපිට මොනවද කියන්නේ"
මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා -- මව්බිම පුවත්පත

රටේ කසළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් වුණේ පරිසර සංවිධාන හා ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේගවල උසි ගැන්වීම් නිසා නිසා යැයි මේ අතර තම නැණ පමණ විදහා ලන ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි.

Friday, April 21, 2017

දැන් සැපද ..... කොහොමද වෙනස.........? යහපාලනේ බැටළු සම ඉවත දමයි


එන්න වියන්ගොඩ,
එන්න අජිත් පැරකුම්,
එන්න පිලිප් ශාන්ත ,
බඩ ගාගෙන දිව දාගෙන එන්න
මල් පිපීදැයි බලන්න නෙවේ
හදිසි නීතිය සාධාරණයි කියන්න
දුවගෙන එන්න,

කුණු කන්ද යට මැරෙන උන්
මැරුණාවෙ
අපේ ආතල් අපි ගමු
දිනමිණේ , සිළුමිණේ
සුවාදීනේ, ජාතිකේ
ලොකු තැනක් අල්ලන්න
එක පිම්මේ දුවගෙනම එන්න
 

 
 
 

Wednesday, April 19, 2017

විමල්ගේ බළලා සී නිව්ස් මල්ලෙන් එලියට පනියි...



පහතින් දැක්වෙන්නේ විමල් වීරවංශ උපවාස ශූරින්ගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පල ව තිබූ ප්‍රවෘත්තියකි. එතුමන්  වැලිකඩ හිරගෙයින් එලියට පැමිණිමට කළ අරගලය මෙම ලිපියෙන් මනාව පෙන්වා දෙයි.

"මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන් ස්ථානය නිරීක්‍ෂණයට මීට සුළු මොහතකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණ තිබේ.
කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා එහිදී පොරොන්දු විය.
අගමැතිවරයා සමග එම අවස්ථාවට ඇමති සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද එක්විය.
ජනතාව විරෝධතා දක්වද්දී පවා ඒවා කිසිත් නොතකමික් ඇමති සාගල රත්නායක විපත වූ මොහොත් සිට දිගින් දිගටම මෙම ස්ථානය වෙත ගොස් කල හැකි උපරිමය සිදු කිරීමට මැදිහත්වීම ඉතා පැසසිය යුතු වන්නේ මේ දක්වා මීතොටමුල්ලේ පස් නොපෑගූ මැති ඇමතිවරුන් සියල්ල ඇග බේරාගෙන කටයුතු කිරීම් තත්වය මතය.
ජනාදිපතිවරයාද මේ දක්වා මීතොටමුල්ලේ නිරීක්‍ෂණ කටයුත්තකට සහභාගී නොවීය."

සටහන- කලක් ලංකාවේ ලොකුම දේශද්‍රෝහියා වශයෙන් විමල් තුමා විසින් හැඳින්වුන රනිල් තුමා ලඟදීම ලංකාවේ ලොකුම දේශප්‍රේමියා වශයෙන් සී නිව්ස් අඩවිය විසින් අභිෂේක කිරීමට නියමිතය


Monday, April 17, 2017

අවුරුදු ටෙලි නාට්‍යයක් හදන්නේ කෙසේද?



පසුගිය සතියේ ,ශ්‍රී ලංකාවේ ඇති හැට හුට හමාරක් වන රූපවාහිණි නාලිකා බැලීමෙන් අනතුරුව  ඒවා පිළිබඳව කරනු  ලැබූ පර්යේෂණ,විශ්ලේෂණ, හා සමීක්ෂණ වලින් අනතුරුව පහත සඳහන් පත්‍රිකාව නිකුත් කිරීමට මම තීරණය කළෙමි.  මෙහි දේවල පූර්ණ අයිතිය , බුද්ධිමය දේපල පනත යටතේ මා හට අයිති බව කරුණාවෙන් සලකන්න.
1. සිංහල අවුරුදු ටෙලි නාට්‍යයක් සැදීම
 
අවශ්‍ය ද්‍රව්‍යය
අ. පරණ පන්නයේ ගෙයක්
ආ. නලු නිලියන් - වැඩිහිටි 4, ළමා - 1 හෝ 2
ඇ. තෑගි පාර්සලයක් ලෙස සකස් කෙරුණු පෙට්ටියක්, බුලත් අතක්, කැවුම් හා කිරිබත්, රතිඤ්ඤා ස්වල්පයක්
ඈ. ග්ලිසරින් ස්වල්පයක්, කොහෙක්, එරබදු මල් කිහිපයක්
 
ක්‍රමය/කථාව
දෙමව්පියන් තනිව මහ ගෙදර සිටී, තම දරුවන් කුඩා කාලයේ ඔවුන් සමග අවුරුදු සැමරු හැටි සිහි වේ.  පියා හාන්සි පු‍ටුවේ වාඩි වී පපුව අත ගායි. මව කුස්සියේ උයමින් සිටියි.
ඈත එන වාහන හඬක්, ටිකෙන් ටික ලං වෙයි. වාහනයක් මිදුලේ නතර කරයි. මුණුපුරන් ද සමග දරුවෝ මහ ගෙදරට ඇවිත්... සියල්ල සතුටින්..
කැවුම් කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරයි
 
විකල්පය- කොල්ලා හෝ කෙල්ල තනි කැමත්තට විවාහයක් කරගෙන ගෙදරින් ඈත් වී සිට අවුරුද්දට ගෙදර ඒමද සලකා බැලිය හැකිය.
 
( මින් ඉදිරියට මෙම මාර්ගෝපදේශන යටතේ ටෙලි නාට්‍ය  සැදීමට අවශ්‍ය නම් පූර්ව අවසර ලබාගත යුතු බව කාරුණිකව සලකන්න)
විශේෂ සටහන- - මෙම උපදෙස් අවශ්‍ය පරිදි නත්තල හා වෙසක් උත්සව සඳහා ද ඉතා කුඩා වෙනස් කම්  කිරීමෙන් සකසා ගත හැකිය.

... උපදෙස් අංක දෙක පසුවට......
 

Saturday, April 15, 2017

නව අවුරුදු දා ඝාතනය




මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී සිදු වූ ඛේදවාචකය අනතුරක් නොවේ. එය මේ රටේ අමන පාලකයින් විසින්  සිතා මතා කරන ලද මිනීමැරුමකි. පසුගිය වසර 60 පුරාවටම අප රට පාලනය කර ඇත්තේ රටෙ කුණු ටික නිවැරදිව කළමණාකරණය කර ගත නොහැකි අමනයන් පිරිසකි. 

රට පුරා ඇති පලාත් පාලන ආයතන යැයි කියනු ලබන හොර ගුහා මගින් කරනු ලබන්නේ ප්‍රදේශයේ ජනයා පොලිතින් මලුවලට අසුරා දෙනු ලබන කුණු කොහේ හෝ හිස් ඉඩමක ගොඩ ගැසීමය.කුණු ප්‍රතිචක්‍රීයකරණය ගැන මෙම පාලකයින් අසාවත් නැති ලෙසකි. ඔවුන් බලන්නේ මෙම කුණු කන්දෙනුත් කොපමණ ලාභයක් ලබා ගත හැකිද යන්න පමණි. මෙම කුණු කඳු ප්‍රතිචක්‍රීයකරණය  කිරීමට ඉදිරිපත් වූ කියුබානු සමාගමක් පලවා හැරියේ ඒ නිසාය.

 මිනීකඳු මතින් හෝ ලාභය .... ඔවුන් සොයන්නේ එයයි. දැන් සිදුව ඇත්තේද එයයි. පාලක දනපතියන්ගේ අසීමිත කෑදරකම හමුවේ මියදෙමින් සිටින මිනිසුන් කියන්නේ එයයි.

මෙතරම් විනාශයකින් පසුව වත් ජනතාව අවදි නොවන්නේ නම් එවන් ජනතාවක් කුමටද? බ්‍රෙෂ්ට් ලියූ පරිදි තමන්ගේ සහෝදරයා යක්ෂයෙක් අවුත් ගිල දමන විට නැගී නොසිටින්නේ නම් එවන් ගම් විනාශ වී යා යුතුය.

මෙම කිසිම පාලනයක් නැති, අබ්බගාත හා නූගත් මෝඩයින් විසින් පාලනය කරනු ලබන පළාත් පාලන ආයතන ඔබගේ ගමේ /පලාතේ කුණු පිරවීමට උත්සාහ කරන්නේ නම් එයට එරෙහිව නැගී සිටින්න. ඔබේ ගම තවත් මීතොටමුල්ලක්ම් කිරීමට ඉඩ දෙන්න එපා. සංවිධානාත්මකව මෙම කුණු ගොඩ ගසන්නන් පලවා හරීන්න. අඩුම තරමෙන් එවිටවත් ඔවුන් වඩාත් සාධනීය විසඳුම් කරා යොමු වේ දැයි බලමු.

ඔබ විරෝධතා දක්වන විට පාලකයින් මීතොටමුල්ලේ දී කළ පරිදිම විරෝධතා කරුවන්ගේ විස්තර, සොයමින් ඔවුන්ව බිය කිරීමට සැරසෙනු ඇත. එහෙත් ඔවුන්ට බිය වී සිටින තාක් කල් අපට සිදු වන්නේ ඔවුන්ගේ කුණු වලට යට වී මිය යාමයට. එම නිසා  අප කුණු ගොඩවලට යට වී මිය යනවාද එයට එරෙහිව සටන් වදිනවාද යන්න ‍තෝරා ගත යුතු මොහොත මෙයයි..
සටහන- මිනිසුන් සිය ගණනක් කුණු කන්දකට යට වී මිය දී සිටිද්දී අප රටේ රූපවාහිණි නාලිකා , රජයේ නාලිකා ද ඇතුලු සියල්ල, නව අවුරුදු සිරිය විඳිමින් සිටී. ඒ මියගිය වුන් මිනිසුන් නොවන්නේ යැයි ඔවුන් සිතන නිසා ද? ඒ මිනිස් කසලද?

Thursday, April 13, 2017

කිං කරිස්සන්ති තාරකා

 

බඩුමිල , නියඟ, ගංවතුර, මානව හිමිකම්, මහබැංකු බැඳුම්කර, වාහන අවභාවිත දූෂණ, වංචා , මිනී මැරුම් ඇතුලු සියලු ප්‍රශ්න යට  යවා  නවතම විදියේ ප්‍රශ්නයක් සභාගත කරන්නට , පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මුලු  ගැන්වී සිටි  යන්ත්‍ර,මන්ත්‍ර ,ජෝතිෂ්‍ය, නක්ෂස්ත්‍ර හොර නඩය සමත් වී සිටී. එනම් වඩා හරි අවුරුදු නැකත කුමක්ද යන්නයි.

ආදිකල්පික ගර්හිත විද්‍යාවකට මෙතරම් තැනක් දෙනක් රටක් ලොවෙහි ඇත්නම් ඒ ශ්‍රි ලංකාවම පමණක් විය යුතුය.( සමහර විට ඉන්දියාවත්).

ඊනියා සිංහල දෙමල අලුත් අවුරුද්ද තනිකරම පදනම් වී ඇත්තේ බොරුව හා මිත්‍යාව මතය. සූර්යා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කරනවා යැයි කියන කරුණ පදනම් කරගෙන පවත්වන  මෙම උළෙල , එයින්ම අවලංගු  කාසියක් බවට පත්වේ.

සමහර විටෙක පුරාණයේ අස්වැනු නෙලීමේ මංගල්ලයක් ලෙස ඇරඹෙන්නට ඇතයි සිතිය හැකි  සිංහල/දෙමල අලුත් අවුරුද්ද පසු කාලිනව හින්දු ආගමේ බලපෑම සමග එහි වර්තමාන ස්වභාවයට  එන්නට ඇත. සලකා බැලිය යුතු කරුණක් වන්නේ මෙම උත්සවය බුද්ධාගමේ බලපෑමට නතු නොවී හින්දු බලපෑමට ලක් වූයේ කෙසේද යන්නයි.

එහි ඇති සියලු අඩු පාඩු තිබියදීත් , එහි ඇති පරාජිතවාදය, ශුන්‍යතාව හා කර්මය බඳු දුර්ගුණ සමග වුව බුද්ධාගම නැකත් ශාස්ත්‍රය බඳු ගර්හිත විද්‍යාවන් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිමුන්ට , බටහිර බලවේග වලට හා වඳ සැත්කම් නිසා සිංහලයා හා බුද්ධාගම වැනසෙනවා යැයි කියන ඊනියා සිංහල බෞද්ධයින් කිසිවෙක් ඔවුන් සෑම වසරකම අප්‍රේල් මාසයේ නටන මෙම  නාඩගම දෙස ඔවුන්ගේම වන බෞද්ධ ඈසකින් බලන්නේ නැත.

බුද්ධාගම සතුව ඇති අපුරු ලියවිල්ලක් වන, සමහර විට මේ වර්ගයේ එකම ලියවිල්ල වන ධම්මපදයවත් මේ නැකත් පසුපස දුවන  ඊනියා බෞද්ධ මහෝපාසකයින් කියවන්නේ නම් අපූරුය.

"නක්ඛකතං පතිමානෙන්තං
 අතෙථා බාලං උපචචගා
 අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
 කිං කරිස්සන්ති තාරකා” 


නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු වලින් ඇති ඵලය කිම?

Friday, April 7, 2017

හැම දෙවියනේ මේ වාහෙලා මකෝ මකෝ ....

 
 
 
ටැබ් එක තමා අද්දියාපනේ හිනිපෙත්ත
ඇමති තුමා කියනා විට අදෝ මුකෙන්
වහල කඩන් වැටිලා ඉස්කෝලේ
 අපේ ළමයි නවතා ඇත  ඉස්පිටිතාලේ
 

එහෙව් රටක මල කරුමෙට ඉපදීලා
නෙවිල් හාමුගේ ශත පහ දිවෙන් අරං
 අද්දියාපනෙත් විකුනන් කති ඇමතිවරු
 හැම දෙවියනේ මේ වාහෙලා මකෝ මකෝ
-රංචාගොඩ ළමයා-

Thursday, April 6, 2017

යුගයේ ප්‍රශ්නය ....

 

නිව‍රැදි පිළිතුර දී    සයිටම් හි අපුල්ලන්නා තනතුර සමග සිරිකොත අප්පුහාමි ශ්‍රී නාමය දිනාගන්න

පසුගිය ආණ්ඩුවට මහින්ද අබේසුන්දර නම් මේ ආණ්ඩුවට........

1. අජිත් පැරකුම්
2. මාතලං
3. රුවන් ජයතුංග
4. පිලිප් ශාන්ත
5. පිලිප් ශාන්ත
6. පිලි.........

Wednesday, April 5, 2017

71 අරගලය -46 වසරක නොමළ මතකය

 

1971 අප්‍රේල් 5 දා හිමිදිරියේ ඇසුණු වෙඩි හා බෝම්බ පුපුරන  හඬින් දෙදරා ගිය ලාංකික දේශපාලනය ඊට පෙර පැවති  ව්‍යාජ  සාමකාමිත්වයේ සලුවෙන් වැසී ගිය සුපුරුදු රටාවට නැවත කිසි දිනෙක  එලඹියේ නැත.ලාංකීය   දේශපාලනය එදා නව මගකට පිවිසිණි.  අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ නව මානයක් වෙත එදා රට ගමන් කළේය.

පසු ගිය වසර හතළිස් හයක්  මුළුල්ලේම එම තරුණ කැළ එදා කල සටන , එහි ප්‍රතිඵල හා සාධාරණත්වය ගැන බොහෝ විවේචන තවමත් එල්ල කරමින් සිටිති. තරුණ ජීවිත බිලි දීම ගැනත් , ඊනියා වාමාංශික රජයකට එරෙහිව කැරලි ගැසීමේ ඇති වැරැද්ද ගැනත් ඔවුහු ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළහ.

ඒ විවේචන එසේ තිබියදීත්  මේ දක්වාම ලාංකීය දේශපාලන ගමන් මගේ  වැදගත් හා ප්‍රධානතම හැරවුමක් ලෙස  71 අරගලය මග හරිනු නොහැක. තමන් පාගා දමන පීඩනයට , කුස ගින්නට හා විරැකියාවට එරෙහිව අවි අතට ගෙන සටන් වැද සිටියේ  අවි සිප් නොදත් ලාබාල තරුණ පිරිසකි. බිඳකුදු ආත්මාර්තකාමිත්වයකින් තොරව , තමන් පිළිගත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් තම ජීවිත පූජා කරන්නට ඔවුන් එදා ඉදිරිපත් විය.

ඔවුන් සටන් කලේ  ඔවුන් විසින්ම ඊට මාස කිහිපයකට පෙර පත්  කල , වාමාංශික හා ප්‍රගතිශීලී  ලේබලය අලවා ගත්  රජයකට විරුද්ධවය. අරගලයේ ප්‍රතිපලයක් ලෙස එම ඊනියා මාක්ස්වාදීන්ගේ  පමණක් නොව ඔවුන්ගේ එතෙර  හාම්පුතුන්ගේද  , ප්‍රගතිශීලිත්වයේ සළු පිලි ගැලවී සහමුලින්ම නග්න විය.

ධනපති රජයකට එරෙහිව , සටන් වැදුණු නිර්ධන පන්තියේ දූ පුතුන් අල්ලා පහර දී අත පය කඩා  ,පොලිසි වලට භාර දීමට  දේශීය කොමියුනිස්ට් වාදීන් හා හතරවන ජාත්‍යන්තරයෙන් නෙරපන ලද සමසමාජයේ ට්‍රොට්ස්කි වාදීන් කටයුතු කරද්දී , ජාත්‍යන්තර වේදිකාවල සාම දුතයින්  හා ලෝක නිර්ධන පන්තියේ නායකයින් බවට තමන්ම පත්  කර ගෙන සිටි සෝවියට් දේශය හා මහජන චීනය එම තරුණ අරගලය පොඩි පට්ටම් කිරීමට අවශ්‍ය අවි ආයුධ , මුදල් පමණක් නොව ප්‍රහාරක ගුවන් යානා පවා සිරිමාගේ ධනපති රජයට ලබා දුන්නේ   නිර්ධන පාංතික සහයෝගිතාව වෙනුවෙන් විය යුතුය.

මෙම තරුණ අරගලය අනුකම්පා විරහිත ලෙස මර්ධනය කර දැමුවද ලක් පොලව මත එය තබා ගිය සටහන් ඉතා ගැඹුරුය. පසුකාලීනව තම අයිතිවාසිකම් වෙනුවෙන් පීඩනයට එරෙහිව නැගී සිටි දෙමල තරුණයින් ගුරු කර ගත්තේ 71 ආදර්ශය බව කියවේ. එසේම සිරිමා රජයටත් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක්ම , විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආදි පියවර ගණනාවක්ම ගැනීමට බල කරන ලදි.

මේ සියල්ලටම වඩා 1971 අරගලය වැදගත් වන්නේ හුදු ආත්මාර්ථකාමිත්වයෙන් තොර කැප වීම පිලිබඳ අනගි සටහනක්  ලාංකීය මහ පොළව මත තබමිනි.අනිකුත් සියලු අඩු ලුහුඬු කම් තිබියදී වුව , ජරාජීර්ණ දේශපාලනයෙන් ඔද්දල් වී තිබු ලාංකීය දේශපාලනයට එම පාඩම ඉගැන්වීම පමණක්  71 අරගලය අමරණීය කරවයි.

සැබෑ ඛේදවාචකය නම් එම අරගලයේ උරුමක්කාර පොල්මක්කාරයින් ලෙස අද පෙනී සිටින උන් එදා 71 අරගල කරුවන් ප්‍රතික්ෂේප කළ දේම  බදා වැලඳ ගනිමින් සිටීමයි.

Saturday, April 1, 2017

අපායෙන් කෝල් එකක්

 
දේශපාලකයෝ මැරුණාම ආයේ දෙකක් නෑ, කෙලින්ම නවතින්නේ අපායේ.

 කොයි දේසේ කොයි කාලේ වුනත් ඒකේ වෙනසක් නෑ. ඊයේ පෙරේදා උපවාස කරපු වීරවංශ උන්නැහේ උනත් මලා නම්( වෙන කවුරු නොදැන උන්නත් අපි නම් දන්නවා ඒක එහෙම වෙන්නේ නෑ කියලා) , මං මේ කිව්වේ කොච්චර දේශප්‍රේමි කිව්වත් අපාය ෂුවර්.

අනිත් හැම දේශපාලකයෙක් වගේම ලංකාවේ ජේ ආර් ජයවර්දන ,ඇමෙරිකාවේ රොනල්ඩ් රීගන් ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, තුන් දෙනාටත් ඒකේ වෙනසක් වුනේ නෑ. අපාය තමා නවා තැන වුනේ .

තුන්දෙනා අපායෙදී සෙට් වෙලා ඊවිනින් වෝක් එකක් දාන අතරේ දැක්කා ටෙලිෆෝන් පෙට්ටියක්. එතැන යම පල්ලෝ සීයක් විතර මුර.

රීගන් කිට්‍ටු කරලා ඇහුවා මොකද මේ ෆෝන් එකට මෙච්චර මුර කාරයෝ  කියලා.

එතැන හිටි යම පල්ලොන්ගේ  සාජන්ට්  කියනවා

" මේ ෆෝන් එකෙන් මිනිස් ලෝකෙට කතා කරන්න පුලුවන් , ඒකයි මේ මුර ... හැබැයි ඉතිං සල්ලි ගෙවලා ඕනෑ කෙනෙකුට කතා කරන්න පුලුවන්. ගාන නම් ටිකක් සැරයි "

ගාන කීය වුනත් කතා කරන්න ඕනෑ කියලා රීගන් ඇමෙරිකාවට කතා කරා විනාඩි පහක්.

කතා කරලා ඉවර වුනාම යමපල්ලා ගාන කිව්වා " ඩොලර් මිලියන එකයි"

රීගන් වහාම චෙක් එකක් ලියලා දුන්නා

ඊ ලඟට කතා කලේ ඉන්දිරා ගාන්ධි. එයා විනාඩි තිහක්ම ඉන්දියාවට  කතා කලා
ගාන ඩොලර් මිලියන පහයි. එයා කෑෂ් වලින්ම ගෙව්වා.

අන්තිමට අපේ  ජයවෝඩන   උන්නැහෙත්  ෆෝන් එක අරගෙන ලංකාවට කතා කලා. ෆෝන් එකක් අහු වුනාම බිම තියන්නේ නැති ලංකාවේ පුරුද්දට මිනිහා පැය හතරක් ම කතා කලා.

කතා කරලා ඉවර වෙලා ගාන ඇහුවාම යමපල්ලා කියපි " රුපියල් පහයි " කියලා

රීගන්ටයි ඉන්දිරා ගාන්ධිටටයි  හරි කේන්ති. රීගන්  කෑ ගැහුවා " එහෙම කොහොමද , ඇයි ලංකාවට එච්චර ගාස්තු අඩු හරි අසාධාරණයි  " කියලා

යමපල්ලා හිනා වුනා

" හෙහ් හෙහ් හේ ....අයිසේ  ලංකාව කියන්නේ  අපායේ  කොටසක්   .. ඒ හින්දා   ලංකාවට  අපායේ ඉඳලා තියෙන්න ලෝකල් කෝල් රේට්ස්"

ඉතින් මොකේටැයි දං වලඳන්නේ...?
 '