Wednesday, April 5, 2017

71 අරගලය -46 වසරක නොමළ මතකය

 

1971 අප්‍රේල් 5 දා හිමිදිරියේ ඇසුණු වෙඩි හා බෝම්බ පුපුරන  හඬින් දෙදරා ගිය ලාංකික දේශපාලනය ඊට පෙර පැවති  ව්‍යාජ  සාමකාමිත්වයේ සලුවෙන් වැසී ගිය සුපුරුදු රටාවට නැවත කිසි දිනෙක  එලඹියේ නැත.ලාංකීය   දේශපාලනය එදා නව මගකට පිවිසිණි.  අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ නව මානයක් වෙත එදා රට ගමන් කළේය.

පසු ගිය වසර හතළිස් හයක්  මුළුල්ලේම එම තරුණ කැළ එදා කල සටන , එහි ප්‍රතිඵල හා සාධාරණත්වය ගැන බොහෝ විවේචන තවමත් එල්ල කරමින් සිටිති. තරුණ ජීවිත බිලි දීම ගැනත් , ඊනියා වාමාංශික රජයකට එරෙහිව කැරලි ගැසීමේ ඇති වැරැද්ද ගැනත් ඔවුහු ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළහ.

ඒ විවේචන එසේ තිබියදීත්  මේ දක්වාම ලාංකීය දේශපාලන ගමන් මගේ  වැදගත් හා ප්‍රධානතම හැරවුමක් ලෙස  71 අරගලය මග හරිනු නොහැක. තමන් පාගා දමන පීඩනයට , කුස ගින්නට හා විරැකියාවට එරෙහිව අවි අතට ගෙන සටන් වැද සිටියේ  අවි සිප් නොදත් ලාබාල තරුණ පිරිසකි. බිඳකුදු ආත්මාර්තකාමිත්වයකින් තොරව , තමන් පිළිගත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් තම ජීවිත පූජා කරන්නට ඔවුන් එදා ඉදිරිපත් විය.

ඔවුන් සටන් කලේ  ඔවුන් විසින්ම ඊට මාස කිහිපයකට පෙර පත්  කල , වාමාංශික හා ප්‍රගතිශීලී  ලේබලය අලවා ගත්  රජයකට විරුද්ධවය. අරගලයේ ප්‍රතිපලයක් ලෙස එම ඊනියා මාක්ස්වාදීන්ගේ  පමණක් නොව ඔවුන්ගේ එතෙර  හාම්පුතුන්ගේද  , ප්‍රගතිශීලිත්වයේ සළු පිලි ගැලවී සහමුලින්ම නග්න විය.

ධනපති රජයකට එරෙහිව , සටන් වැදුණු නිර්ධන පන්තියේ දූ පුතුන් අල්ලා පහර දී අත පය කඩා  ,පොලිසි වලට භාර දීමට  දේශීය කොමියුනිස්ට් වාදීන් හා හතරවන ජාත්‍යන්තරයෙන් නෙරපන ලද සමසමාජයේ ට්‍රොට්ස්කි වාදීන් කටයුතු කරද්දී , ජාත්‍යන්තර වේදිකාවල සාම දුතයින්  හා ලෝක නිර්ධන පන්තියේ නායකයින් බවට තමන්ම පත්  කර ගෙන සිටි සෝවියට් දේශය හා මහජන චීනය එම තරුණ අරගලය පොඩි පට්ටම් කිරීමට අවශ්‍ය අවි ආයුධ , මුදල් පමණක් නොව ප්‍රහාරක ගුවන් යානා පවා සිරිමාගේ ධනපති රජයට ලබා දුන්නේ   නිර්ධන පාංතික සහයෝගිතාව වෙනුවෙන් විය යුතුය.

මෙම තරුණ අරගලය අනුකම්පා විරහිත ලෙස මර්ධනය කර දැමුවද ලක් පොලව මත එය තබා ගිය සටහන් ඉතා ගැඹුරුය. පසුකාලීනව තම අයිතිවාසිකම් වෙනුවෙන් පීඩනයට එරෙහිව නැගී සිටි දෙමල තරුණයින් ගුරු කර ගත්තේ 71 ආදර්ශය බව කියවේ. එසේම සිරිමා රජයටත් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක්ම , විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආදි පියවර ගණනාවක්ම ගැනීමට බල කරන ලදි.

මේ සියල්ලටම වඩා 1971 අරගලය වැදගත් වන්නේ හුදු ආත්මාර්ථකාමිත්වයෙන් තොර කැප වීම පිලිබඳ අනගි සටහනක්  ලාංකීය මහ පොළව මත තබමිනි.අනිකුත් සියලු අඩු ලුහුඬු කම් තිබියදී වුව , ජරාජීර්ණ දේශපාලනයෙන් ඔද්දල් වී තිබු ලාංකීය දේශපාලනයට එම පාඩම ඉගැන්වීම පමණක්  71 අරගලය අමරණීය කරවයි.

සැබෑ ඛේදවාචකය නම් එම අරගලයේ උරුමක්කාර පොල්මක්කාරයින් ලෙස අද පෙනී සිටින උන් එදා 71 අරගල කරුවන් ප්‍රතික්ෂේප කළ දේම  බදා වැලඳ ගනිමින් සිටීමයි.

3 comments:

  1. //සැබෑ ඛේදවාචකය නම් එම අරගලයේ උරුමක්කාර පොල්මක්කාරයින් ලෙස අද පෙනී සිටින උන් එදා 71 අරගල කරුවන් ප්‍රතික්ෂේප කළ දේම බදා වැලඳ ගනිමින් සිටීමයි.//

    සමාප්ත වාක්‍යයේ සියල්ල මැනැවින් කැටි කොට තියෙනවා.

    ReplyDelete
  2. // //සැබෑ ඛේදවාචකය නම් එම අරගලයේ උරුමක්කාර පොල්මක්කාරයින් ලෙස අද පෙනී සිටින උන් එදා 71 අරගල කරුවන් ප්‍රතික්ෂේප කළ දේම බදා වැලඳ ගනිමින් සිටීමයි.// //

    අන්තවාදය!

    එක් කොනක සිට අනිත් කොනකට....

    මද්යස්ත වනු නොහැකිවීම...........

    ReplyDelete