Monday, April 17, 2017

අවුරුදු ටෙලි නාට්‍යයක් හදන්නේ කෙසේද?



පසුගිය සතියේ ,ශ්‍රී ලංකාවේ ඇති හැට හුට හමාරක් වන රූපවාහිණි නාලිකා බැලීමෙන් අනතුරුව  ඒවා පිළිබඳව කරනු  ලැබූ පර්යේෂණ,විශ්ලේෂණ, හා සමීක්ෂණ වලින් අනතුරුව පහත සඳහන් පත්‍රිකාව නිකුත් කිරීමට මම තීරණය කළෙමි.  මෙහි දේවල පූර්ණ අයිතිය , බුද්ධිමය දේපල පනත යටතේ මා හට අයිති බව කරුණාවෙන් සලකන්න.
1. සිංහල අවුරුදු ටෙලි නාට්‍යයක් සැදීම
 
අවශ්‍ය ද්‍රව්‍යය
අ. පරණ පන්නයේ ගෙයක්
ආ. නලු නිලියන් - වැඩිහිටි 4, ළමා - 1 හෝ 2
ඇ. තෑගි පාර්සලයක් ලෙස සකස් කෙරුණු පෙට්ටියක්, බුලත් අතක්, කැවුම් හා කිරිබත්, රතිඤ්ඤා ස්වල්පයක්
ඈ. ග්ලිසරින් ස්වල්පයක්, කොහෙක්, එරබදු මල් කිහිපයක්
 
ක්‍රමය/කථාව
දෙමව්පියන් තනිව මහ ගෙදර සිටී, තම දරුවන් කුඩා කාලයේ ඔවුන් සමග අවුරුදු සැමරු හැටි සිහි වේ.  පියා හාන්සි පු‍ටුවේ වාඩි වී පපුව අත ගායි. මව කුස්සියේ උයමින් සිටියි.
ඈත එන වාහන හඬක්, ටිකෙන් ටික ලං වෙයි. වාහනයක් මිදුලේ නතර කරයි. මුණුපුරන් ද සමග දරුවෝ මහ ගෙදරට ඇවිත්... සියල්ල සතුටින්..
කැවුම් කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරයි
 
විකල්පය- කොල්ලා හෝ කෙල්ල තනි කැමත්තට විවාහයක් කරගෙන ගෙදරින් ඈත් වී සිට අවුරුද්දට ගෙදර ඒමද සලකා බැලිය හැකිය.
 
( මින් ඉදිරියට මෙම මාර්ගෝපදේශන යටතේ ටෙලි නාට්‍ය  සැදීමට අවශ්‍ය නම් පූර්ව අවසර ලබාගත යුතු බව කාරුණිකව සලකන්න)
විශේෂ සටහන- - මෙම උපදෙස් අවශ්‍ය පරිදි නත්තල හා වෙසක් උත්සව සඳහා ද ඉතා කුඩා වෙනස් කම්  කිරීමෙන් සකසා ගත හැකිය.

... උපදෙස් අංක දෙක පසුවට......
 

1 comment:

  1. ජාතික වාහිනියේ අවුරුදු නාට්ටියක් කියල එකක් පෙන්නුවා වසන්තය උදාවිය කියල.. ෆේස්බුක් එකේ පහුගිය කාලේ පට්ට ගහපු කතාවක් ඇස් පේන්නේ නැතුව ඉඳල තරුණ වයසෙදි ඇස් සනීප වෙච්චි කෙල්ලක් කෝච්චි පෙට්ටියේදි පොඩි එකෙක් වගේ හැසිරෙන එක ගැන.. මට ඒක බලලා ජාතික වාහිනිය ලබලා තියෙන නිර්මාණ බංකොලොත්බාවය ගැන අනේ අපොයි කියවුනා..

    ReplyDelete