Showing posts with label 71 අරගලය. Show all posts
Showing posts with label 71 අරගලය. Show all posts

Wednesday, April 5, 2017

71 අරගලය -46 වසරක නොමළ මතකය

 

1971 අප්‍රේල් 5 දා හිමිදිරියේ ඇසුණු වෙඩි හා බෝම්බ පුපුරන  හඬින් දෙදරා ගිය ලාංකික දේශපාලනය ඊට පෙර පැවති  ව්‍යාජ  සාමකාමිත්වයේ සලුවෙන් වැසී ගිය සුපුරුදු රටාවට නැවත කිසි දිනෙක  එලඹියේ නැත.ලාංකීය   දේශපාලනය එදා නව මගකට පිවිසිණි.  අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ නව මානයක් වෙත එදා රට ගමන් කළේය.

පසු ගිය වසර හතළිස් හයක්  මුළුල්ලේම එම තරුණ කැළ එදා කල සටන , එහි ප්‍රතිඵල හා සාධාරණත්වය ගැන බොහෝ විවේචන තවමත් එල්ල කරමින් සිටිති. තරුණ ජීවිත බිලි දීම ගැනත් , ඊනියා වාමාංශික රජයකට එරෙහිව කැරලි ගැසීමේ ඇති වැරැද්ද ගැනත් ඔවුහු ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළහ.

ඒ විවේචන එසේ තිබියදීත්  මේ දක්වාම ලාංකීය දේශපාලන ගමන් මගේ  වැදගත් හා ප්‍රධානතම හැරවුමක් ලෙස  71 අරගලය මග හරිනු නොහැක. තමන් පාගා දමන පීඩනයට , කුස ගින්නට හා විරැකියාවට එරෙහිව අවි අතට ගෙන සටන් වැද සිටියේ  අවි සිප් නොදත් ලාබාල තරුණ පිරිසකි. බිඳකුදු ආත්මාර්තකාමිත්වයකින් තොරව , තමන් පිළිගත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් තම ජීවිත පූජා කරන්නට ඔවුන් එදා ඉදිරිපත් විය.

ඔවුන් සටන් කලේ  ඔවුන් විසින්ම ඊට මාස කිහිපයකට පෙර පත්  කල , වාමාංශික හා ප්‍රගතිශීලී  ලේබලය අලවා ගත්  රජයකට විරුද්ධවය. අරගලයේ ප්‍රතිපලයක් ලෙස එම ඊනියා මාක්ස්වාදීන්ගේ  පමණක් නොව ඔවුන්ගේ එතෙර  හාම්පුතුන්ගේද  , ප්‍රගතිශීලිත්වයේ සළු පිලි ගැලවී සහමුලින්ම නග්න විය.

ධනපති රජයකට එරෙහිව , සටන් වැදුණු නිර්ධන පන්තියේ දූ පුතුන් අල්ලා පහර දී අත පය කඩා  ,පොලිසි වලට භාර දීමට  දේශීය කොමියුනිස්ට් වාදීන් හා හතරවන ජාත්‍යන්තරයෙන් නෙරපන ලද සමසමාජයේ ට්‍රොට්ස්කි වාදීන් කටයුතු කරද්දී , ජාත්‍යන්තර වේදිකාවල සාම දුතයින්  හා ලෝක නිර්ධන පන්තියේ නායකයින් බවට තමන්ම පත්  කර ගෙන සිටි සෝවියට් දේශය හා මහජන චීනය එම තරුණ අරගලය පොඩි පට්ටම් කිරීමට අවශ්‍ය අවි ආයුධ , මුදල් පමණක් නොව ප්‍රහාරක ගුවන් යානා පවා සිරිමාගේ ධනපති රජයට ලබා දුන්නේ   නිර්ධන පාංතික සහයෝගිතාව වෙනුවෙන් විය යුතුය.

මෙම තරුණ අරගලය අනුකම්පා විරහිත ලෙස මර්ධනය කර දැමුවද ලක් පොලව මත එය තබා ගිය සටහන් ඉතා ගැඹුරුය. පසුකාලීනව තම අයිතිවාසිකම් වෙනුවෙන් පීඩනයට එරෙහිව නැගී සිටි දෙමල තරුණයින් ගුරු කර ගත්තේ 71 ආදර්ශය බව කියවේ. එසේම සිරිමා රජයටත් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක්ම , විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආදි පියවර ගණනාවක්ම ගැනීමට බල කරන ලදි.

මේ සියල්ලටම වඩා 1971 අරගලය වැදගත් වන්නේ හුදු ආත්මාර්ථකාමිත්වයෙන් තොර කැප වීම පිලිබඳ අනගි සටහනක්  ලාංකීය මහ පොළව මත තබමිනි.අනිකුත් සියලු අඩු ලුහුඬු කම් තිබියදී වුව , ජරාජීර්ණ දේශපාලනයෙන් ඔද්දල් වී තිබු ලාංකීය දේශපාලනයට එම පාඩම ඉගැන්වීම පමණක්  71 අරගලය අමරණීය කරවයි.

සැබෑ ඛේදවාචකය නම් එම අරගලයේ උරුමක්කාර පොල්මක්කාරයින් ලෙස අද පෙනී සිටින උන් එදා 71 අරගල කරුවන් ප්‍රතික්ෂේප කළ දේම  බදා වැලඳ ගනිමින් සිටීමයි.

Thursday, November 13, 2014

හැත්තෑවේ කොළණිය


ජනතා විමුක්ති පෙරමුණ 87-89  යුගයේ මෙහෙයවූ දෙවැනි අරගලය නිමා වී වසර විසි පහක් ගත ව තිබේ. ඔවුන් විසින්ම ඊට පෙර කළ  1971 අරගලයට වසර 43කි. 

එම අරගලයන්  ගැන කෙරුණු දේශපාලන විමර්ශන විවේචන යම් පමණකට ඇතත් ඒවා පසු බිම් කරගෙන නිමා වුනු කලා කෘති නම් ඇත්තේම නැති තරම්ය. ඇතත් ඒ  එම අරගලයන් බොහෝ විට  ප්‍රධාන කථාවට අනුපානයක් ලෙස හෝ මාකටින් කිරීම සඳහා  කෘතිම ලෙස වද්දවා ගත් අවස්ථා මිස  ඒවා පිළිබඳව කෙරුණු පුළුල් හා සාධාරණ විග්‍රහ  නම් නොවේ. 

මීට වෙනස්ව දෙමළ අරගලය පිළිබඳව මිතුරුව හෝ පස මිතුරුව බොහෝ  කලා කෘතීන් නිර්මාණය වී ඇති අතර වෙමින්ද පවතී.

ජනතා විමුක්ති පෙරමුණේ එම අරගලයන් පිළිබඳව ඇති දුලබ නිර්මාණ අතර  මා දු‍ටු   වටිනාම නිර්මාණ දෙකක් වශයෙන් සරත් ආරියරත්න නම් අප්‍රකට නවකථා කරුගේ  " හැත්තෑවේ කොළණිය" හා " මේ කාගේ මේ කමතා" නම් කෘතී දෙක සඳහන් කළ හැකිය. මෙයින් පළමු වැන්න 71 අරගලය පසුබිම් කර ගෙන ලියැවී ඇති අතර දෙවැන්න 87-89 යුගය ගැනය. වියළි කලාපයේ ,රජරට කොළනි ජීවිතයන්ට එම අරගලයන් දෙකේ බල පෑම ඔහු අපූරුවට සිත්තම් කර තිබේ යැයි මට සිතේ. 

ඔබටත් හැකි නම් සොයා ගෙන කියවන්න. ඒ වටී යැයි ඔබට ද සමහර විට සිතෙනු ඇත.

Saturday, April 5, 2014

71 ට පසුවදනක් 2014 දී නොහොත් 2013 ට පසු ව 2014 ලැබු බව


ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 43 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 43 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය පමණක් නොව තව බොහෝ කන්ණ්ඩායම් සමරු උත්සව පවත්වනු ඇත..

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ සිලල්ලන්ටම  මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200- 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.

((සටහන-  ඉතාමත් කාර්ය බහුල මොහොතක සිටියත් අද දින අප්‍රේල් සමරුව වෙනුවෙන් යමක් නොලියා සිටීමට නොහැකිය. එම නිසා මා කලේ 2013 අප්‍රේල් සමරුව වෙනුවෙන් මා පලකල ලිපිය ඉතා සුළු සංශෝධන කිහිපයක් සහිතව නැවත පල කිරීමයි. එයින් ගම්‍ය වන දේ කුමක්ද? වසර 43ක් තිස්සේ සමරු උත්සව පැවත්වූවත් සමාජය ඉදිරියට ගමන් නොකරන බවද? අප්‍රේල් විරුවන්ගේ අරමුණු ඉ‍ටු කිරීමට මෙම සමරු උත්සව පවත්වන අයවලුන් අසමත් වී ඇති බවද?. මේ සටහන 2015 දීත් , ඉන්පසු 2016දීත් ආදි වශයෙන් මා හට නැවත මෙලෙසම පල කිරීමට සිදු වේද ?)

Friday, April 5, 2013

71 හා 2013



ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 42 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 42 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයත් අද දෙතැනකට වී රතු කමිස හැඳ සමරු  උත්සවවල කතා පවත්වනු ඇත. රෙජිෆෝර්ම් සමරු පලක වලට මල් තබනු ඇත. අවසානයේ විසිර යනු ඇත.

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ දෙපිරිසටම මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.