Sunday, December 30, 2012

සංගාගේ අස්ථිය හා ඇනිලින්



කුමාර් සංගක්කාර  යනු මෙරට සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව අවිවාදිත කරුණකි. ටෙස්ට් ලකුණු 10000 ඉක්මවූ ලෝකයේ සිව්වැනි ක්‍රීඩකයා ඔහුය.( ක්‍රිකට් වලදී ඕනෑම දෙයක් ලෝක වාර්තාවක් වන නිසා ඔහු තබා ඇති ලෝක වාර්තා ගණන කොතරම් දැයි කිව නොහැක. උදාහරණ යක් ලෙස තරඟයක 37 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කල ලෝකයේ ප්‍රථම හෝ එකම ක්‍රීඩකයා වීම)

කුමාර් සංගක්කාර නොහොත් අප කවුරුත් ආදරයට කියන පරිදි සංගා පසුගිය සමයේ ලෝඩ්ස් හිදි  කල දේශනය නිසා  රටම කැලඹී ගිය අතර  සමහරුන් ඔහු දේශදෝහියෙක් ලෙස හැඳින්වූ අතර තවත් සමහරුන් ඔහු පාලක රෙජිමය විසින් විලි ලැජ්ජාවකින් තොරව කරගෙන යනු ලබන ක්‍රීඩාව දේශපාලනීකරණයට එරෙහිව නැගී සිටි වීරයෙක් ලෙස හැඳින්වීය. එසේම ඔහු තමන් හා මහේල ජයවර්ධන එක්ව ආරම්භ කල අවන් හලකට කකුළු අමාත්‍යාංශය යනුවෙන් නම් කර තවත් ආන්දෝලනයක්, ඇති කලේය.

එවන්  සුපිරි හා ආන්දෝලනාත්මක  ක්‍රීඩක සංගක්කාරගේ අතේ පන්දුවක් වැදී අස්ථියක් බිඳී යාම නිසා ඔහුට සති අටක් පමණ  කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි පසු ගිය දා වාර්තා විය.

ඔහුගේ අනික් ක්‍රියා මෙන් මෙයද  තරමක් ආන්දෝලනාත්මක පුවතක්  බව අපගේ වැටහීමයි.

මක් නිසාද යත් කුමාර් සංගක්කාර ඔහුගේ ඇඹෙණියද සමග එක්ව  දැන් සෑහෙන කාලයක සිට අස්ථි සවිමත් කරන්නේ යැයි කියනු ලබන ඇනිලින් නැමැති කිරිපිටි වර්ගයක් විකිණීම උදෙසා තමන් විකිණෙමින් සිටින නිසාය.

එම වෙලඳ දැන්වීම් වලදී ඔහු හා ඔහුගේ බිරිය පවසන පරිදි අස්ථි දිරා යාම මැඩීමටත් , අස්ථි සවිමත් කිරීමටත් ඇනිලින් ඉතා අගනේය. ඇනිලින් නොබීවහිත් කල් යාමේදී ඇට දිරා ගොස් මහත් කරදර වලට මුහුණ පෑමට සිදු වනු ඇත. එම නිසා ඔහු හා ඔහුගේ බිරිය නිතරම ඇනිලින් පානය කරයි.එම නිසා ඔවුන්ගේ අස්ථි ඉතා සවිමත්ය.

එසේ දිනපතා ඇනිලින් පානය කරන සංගාගේ අස්ථියක් පන්දුව වැදී බිඳී ගොසිනි.

මේ සිදුවීමෙන් අපට පෙනී යන්නේ එක්කෝ සංගා ඇනිලින් නොබොන බව හෝ ඇනිලින් වලින් අස්ථි සවිමත් කිරීමට නොහැකි බවය.

මේ දෙකෙන් කුමක් ඇත්ත වූවත් සංගා කරන්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් දිනා ඇති කීර්තිය උපයෝගී කර ගනිමින් වෙලඳ සමාගමක් මගින් ගෙවන රුපියල් කිහිපයක් උදෙසා මෙරට ජනයා ‍රැවටීමය.තමන්ගේ ජනප්‍රියතාව භාවිතා කරමින් තමන්ගේ ක්ෂේත්‍රයට කිසිසේත් අදාල නොවන ක්ෂේත්‍රයක කටයුතු කිරීම කිසිසේත්ම  සදාචාරසම්පන්න දෙයක් නම් නොවේ.

මෙයටත් වඩා වැදගත් කරුණ වන්නේ ඇනිලින් බඳු කිරි වල කැල්සියම් තිබුනත් ඒවා ශරීරයට අවශෝෂණය කර ගැනීමට හැකියාවක් නැති කමය.ඊටත් වඩා වැදගත් කරුණ නම් වැඩිපුර කිරි බීම නිසා ශරීරයේ ඇති කැල්සියම්ද අඩු වෙන බවය.

අපට එදිනෙදා අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය හාල්මැස්සන් කිහිප දෙනෙකුගෙන් ලබා ගත හැකිය. ඒ සඳහා මිල අධික ඇනිලින් පානය කිරීම අවශ්‍ය නොවේ. යමෙකුට යම් රෝගී තත්වයක් මත වැඩි කැල්සියම් ප්‍රමාණයක් අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමට කැල්සියම් පෙති වෙලඳපොලේ ඇති අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ශත කිහිපයක් පමණි.ඇනිලින් මත්තේ නැහීමට අවශ්‍ය නැත.

ඇනිලින් පානයේ ඇති හානි පිලිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් මේ සබැඳියට යන්න.
http://foodsafety.govt.nz/elibrary/industry/Vitamin_Milk-Science_Research.htm






Thursday, December 27, 2012

ක‍ටුගේ බින්දේ කන් ගැට්ටා තනියමයි , අම්මපා



කෞතුකාගාරයේ සොරකම නියත වශයෙන්ම කර ඇත්තේ කන් ගැට්ටා බවත් එය සියයට තුන්සීයක් විශ්වාස බවත්  ඊයේ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසූ බව වාර්තා විය.කන් ගැට්ටා එම සොරකම ම කර ඇත්තේ තනියම බවත් ඔහු පසුපස කිසිවෙකු සිට නැති බවත් ඒ මහතා  සහතික වී තිබේ. විය. ඒ මහතා කියන්නටත් කලින් අපි නම් ඒ බව දැන සිටියෙමු.අපට එය සියයට තුන්සීයක් නොව හාරසීයක්ම විශ්වාසය.

අප ඒ බව දැන ගත්තේ අපගේ ගවේෂණශීලි මාධ්‍ය භාවිතාව නිසා කන්ගැට්ටා ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ සටහන් පිටපතක් අපට ලැබුණු නිසාය. මෙය අපට ලැබුණු විදිය කිසිසේත්ම හෙලිදරව් නොකරන අතර ලංකාවේ සිටින ඉස්තරම්ම ගවේෂණශීලි මාධ්‍යවේදියා වශයෙන් අපට ඒ සඳහා අයිතියක් ඇති බවත් නොතීසී පිට නොතීසී ආවත් එය එසේ වන බවත්  පමණක් සටහන් කරනු කැමත්තෙමි.

එම සටහන සම්පූර්ණයෙන් ම හා සංස්කරණයකින් තොරව පහත දැක්වේ.

මෙහි ක.ගැ යනු කන් ගැට්ටා බවත්  ප්‍ර.නි. යනු ප්‍රශ්න කරන නිලධාරියා බවත් සලකන්න.

ප්‍ර.නි.- ආ එන්න පුතා වාඩි වෙන්න, සුභ උදෑසනක්

ක.ගැ.- ස්තූතියි, අපේ සර්.

ප්‍ර.නි.-අපි මොනවත් බීලම කතා කරමුකෝ. මොනවද ඔබතුමා බොන්න කැමති? ටී, ප්ලේන්ටී, කූල් ඩ්‍රින්ක්, සැර බීමක්,

ක.ගැ-ප්ලේන්ටියක් හොඳා අපේ සර්, වැඩි සීනි

ප්‍ර.නි. -සිග‍රැට් එකක් දෙන්නෙයි?

ක.ගැ- එපා අපේ සර්, මං ඉතිං බීඩි කාරයනේ හි හි, සර්ට කමක් නැත්නම් මං ලඟ පොඩි බඩුවක් තියෙනවා ,ඔතලා ගන්නද?

ප්‍ර.නි- එහෙනම් මටත් එක්කම ඔතහන්කෝ, මස්කට් කෑල්ලකුත් ගෙන්නන්නැයි?

ක.ගැ- අපේ සර්රුත් දන්නවා එහෙනම් ක්‍රමේ.

ප්‍ර.නි. -ආයේ මොකද බං, අපි කියලා, ඒවායින් කමක් නෑ. දැන් කියහන්කෝ උඹ ක‍ටුගේ බින්ද හැටි,උඹ එක්ක තව කවුරුවත් හිටියද බං?.

ක.ගැ- පිස්සුද සර් ඕක මම තනියම දූන්න ගේමක්නේ, ආයේ සර්ට මාව විශ්වාශ නැද්ද?

ප්‍ර.නි. - අනේ නෑ බං , එහෙම එකකට නෙවේ මම නිකමට ඇහුවේ.ආ උඹත් ඇදහන් ඩම් එකක්,

ක.ගැ.- ඒක මිසක්,

ප්‍ර.නි. - හැබෑට උඹ මොනවද බං ඔය කෙහෙම්මල් ක‍ටුගේ බිඳින්න අරං ගිය ආයුද?

ක.ගැ.- බීඩි මිටියක් විතරයි සර්, අපේ සර්රුත් අදින්න උගුරක්

ප්‍ර.නි. - හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්, මොකක් කිව්වා බීඩි මිටියක් විතරයි, කොහොමද බං බීඩි මිටියකින් ක‍ටු ගේ බින්දේ?

ක.ගැ.- මෙහෙමනේ සර්, මම ටිකට් එකක් අරගෙන ඇතුලට ගියා , රෑ වෙනකම් දොර මුල්ලකට වෙලා බීඩි බිබී හිටියා,බීඩි කිව්වට බඩු මිටියකුත් දාලා තමා බිව්වේ. ඒ දුමට මුරකාරයෝ මත් වෙලා නින්ද ගියා ,  රෑ වුනාම ඇඟිලි සලකුණු තුනක් තියලා, මම බඩුයි කඩුයි අරගෙන ආවා, හරිම සිම්පල් පැලෑනක් අපේ සර්,

ප්‍ර.නි-  පැලෑන නම් මරු බං, ඒත් උඹ  ඇඟිලි සලකුණු තුනක් තිව්වේ මොකද ? ඉඳා උගුරක් ඇදලම කියහං

ක.ගැ.- ඇයි සර් මේ වැඩේ කලේ මම විතරක් කියලා පේන්ටනේ සර්,

ප්‍ර.නි.- හොඳා හොඳා කොල්ලෝ දැන් කියපන්කෝ උඹ දොරවල් වහලා තියෙද්දී රෑ ක‍ටු ගෙයින් එලියට ආවේ කොහොමද  කියලා..

ක.ගැ- හි හි .. සර් ඕකත් වැඩක්ද? මම අරන් ගිය බෙඩ් ෂීට් එක උඩ තට්‍ටුවේ ජනේලෙක ගැට ගහලා බිමට බැස්සා.

ප්‍ර.නි.- ඈ බං කොල්ලෝ උඹ අරං ගියේ බීඩි මිටියක් ඉතරයි කිව්වා නේද?කොයින්ද බෙඩ් ෂීට් එකක්

ක.ගැ- මෙහෙමනේ සර්. ඔන්න මම බඩු ටිකත් අරගෙන එලියට එන්න කියලා බලන කොට තමා දැක්කේ ෂීට් එක ගෙදර අමතක වෙලා ඇවිත් කියලා. මම ටක් ගාලා ගෙදර දුවලා ෂීට් එක  අරගෙන ආපහු ඇවිත් ඒක ජනේලේ ගැට ගහලා ඒක දිගේ  එලියට ආවා. අරිනේ අපේ සර්.ඕන් ඒනම් අපි ගියා සලාම් කිව්වා.

 ප්‍ර.නි- රායිට් සනා ,ඒත් මට එක දෙයක් කියපන්කෝ, ඒක ඕෆ් රෙකෝර්ඩ්, මොකද බන් උඹ ඔච්චර වටින දේවල් තියෙද්දී ඔය උස්සන් යන්ටත් අමාරු කඩු අරන් ගියේ?

ක.ගැ- මේකනේ සර්,මේ දවස් වල කඩ්ඩ නැතිව මොකුත් කරන්ට බෑනේ අපේ සර්

Saturday, December 22, 2012

ඩෙංගු හා වංගු




ආයුර්වේද වෛද්‍යවරියක්  විසින්  ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන ඖෂධයක් සොයා ගෙන ඇතයි මේ දිනවල ඇතැම් මාධ්‍ය විසින් මහා ඝෝෂාවක් කරනු අප දු‍ටුවෙමු.

එසේම ඇයගේ මෙම සොයාගැනීම පාගා දැමීමට බටහිර ඖෂධ සමාගම් සමග එකතුව බටහිර වෛද්‍යවරුන් කටයුතු කරන්නේ යැයි චෝදනාවක්ද අපගේ ඊනියා දේශප්‍රේමි මහත්වරුන් විසින් කර තිබුනි.

මේ පුවතත් සමග ප්‍රශ්න රාශියක් අප සිතේ මතු විය. මේ ප්‍රශ්න මතු කරන්නේ නොදන්නා කමට අසා දැන ගැනීමට මිස  කිසිවෙකුගේ සිත් රිදවීමටනම් නොවේ. (ඇත්තමයි)

දැන් මේ වෙද තුමිය ඩෙංගු රෝගය සුව කරන්නේ රෝගයේ කුමන අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන්ද?

රෝගයේ ආරම්භක අවස්ථාවේදීද?ඩෙංගු රක්තපාත අවස්ථාවේදීද?

එසේත් නැත්නම් කම්පන තත්වයට පත් වූ පසුද?

ඇය තමන්ගේ ඖෂධයෙන්ම  නිට්ටාවට ඩෙංගු රෝගය සුව වන බව කියන්නේ කෙසේද?

ඩෙංගු රෝගින්ගෙන් 99% ක්ම සුව වන බවත් මිය යන්නේ 1% අඩු ප්‍රතිශතයක් බවත් ඇය දන්නවාද?

එසේ නම් ඇය සුව කරනවා යැයි කියන්නේ මේ මිය යන  1% ක ප්‍රමාණයද?

එසේ මිය යන අය තම ඖෂධයෙන් සුවපත් වන බව ඇය සොයා ගත්තේ කෙසේද?

ඩෙංගු රක්තපාත හෝ කම්පන තත්වයට පත් රෝගීන්ට වෙන කිසිම ඖෂධයක් නොදී ඇගේ ඖෂධ වලින් ප්‍රතිකාර කිරීමෙන්ද?

එවැනි පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධයක් මිනිස් රෝගීන්ට දෙමින් ඔවුන්ගේ ජීවිත අවදානමේ හෙලන්නට ඇයට අවසර දුන්නේ කවුද?

එසේ කිරීම කොතරම් සදාචාර සම්පන්නද?

නිවැරදි බෙහෙත සොයා ගැනීම සඳහා තමන්  බොහෝ වතාවක් පරීක්ෂන කල බවත් බොහෝ ඖෂධ පරීක්ෂා කල බවත් ඇය පවසා තිබේ. මෙම ඖෂධය සොයා ගැනීමට බොහෝ සේ මහන්සි වී තිබේලු.

එසේ නම් මෙම නිවැරදි ඖෂධය හැර ඇය පරීක්ෂා කල අනික් ඒවා වැරදි බව ඇය දැන ගත්තේ කෙසේද?

ඒවා දුන් ඩෙංගු රෝගීන් මිය ගිය නිසාද?

එසේ මිය ගිය ඩෙංගු රෝගීන් ගණන කීයද?

ඒ ගැන ඇය සෞඛ්‍ය බලධාරින්ට වාර්තා කර තිබේද?

මෙම ඖෂධය නිසා ඇතිවන අතුරු ආබාධ ගැන ඇය සොයා බැලුවේද?

සටහන- මෙම ඖෂධයට අනුමැතිය දුන් ආයුර්වේද බලධාරින් මේවා ගැන සොයා බැලුවේදැයි අප නොදනිමු.මෙම ප්‍රශ්න වලට පිලිතුරු අය සතුව නොමැති බව අප දනිමු. මෙය  මෙරට පවත්නා නූගත් කමත්, මිථ්‍යා විශ්වාසයනුත්, මේ සමයේ විරාජමාන ව සිටින ඊනියා ජාතිකවාදයත් ගැන හොඳ අවබෝධයකින් ජනතාව ගසා කෑමට කරන උත්සාහයක් වීමට හෝ එසේ නැත්නම් යම්කිසි මානසික රෝගයකින් පෙලෙන අයෙකුගේ විකාරයක්  වීමටත්  ඉඩ තිබේ.


Thursday, December 20, 2012

විශේෂ ප්‍රවෘත්තියක් - A Breaking News



රිමෝට් කොන්ට්‍රෝලය සොයා ගත් පුද්ගලයාට මුලු හදින්ම ස්තූතිවන්ත වෙමින් ඊයේ හවස් භාගයේ රූපවාහිනි චැනල් අතර මාරු වෙමින් සිටියදී මහරාජාගේ සිරස නාලිකාවේ රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශනය වෙත අහම්බෙන් මා නෙත ගැ‍ටුනි.

සිරස යනු මා සාමාන්‍යයෙන් බලන නාලිකාවක්  නොවේ. ඇත්තෙන්ම කිවහොත් ප්‍රවෘත්ති  සඳහා මා ලංකාවේ  කිසිම රූපවාහිනි නාලිකාවක් කෙරෙහි විශ්වාසය තබන්නේ නැත. ඒවායේ ඇත්තේ ප්‍රවෘත්ති නොව එම නාලිකාවල හිමිකරුවන් ප්‍රවෘත්ති යැයි කියා ලංකාවේ ජනතාව විශ්වාස කල යුතු යැයි සිතා විකාශනය කරන කුණුහරුප පමණි.

කෙසේ නමුත් ඊයේ සවස සිරස නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය බැලුවෙමි. නිවේදකයා කියමින් සිටියේ කාලගුණ විපර්යාසය නිසා රටේ තැන තැන ඇති වී තිබෙන ආපදා තත්වය පිලිබඳ විස්තරයකි.
ගංවතුරෙන් යට වූ නගර , පස් කඳු වලට යට වූ ගේ දොර , අහිමි වූ ජීවිත ආදිය ගැන විස්තර කියමින් හුන් නිවේදකයා එක්වරම කියා සිටියේ තව ස්වල්ප වේලාවකින් විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන ලෙසයි.
ඒ සමග රූපවාහිනි තිරයේ පහල තීරුවේ ඇදි ඇදී යන පණිවිඩයකින්ද කියවුනේ විශේෂ ප්‍රවෘත්තියක් තව මොහොතකින් බලාපොරොත්තු වන ලෙසයි.

බ්‍රේකින් නිව්ස්.......

පේරදෙණියේ හෝස් මහාචාර්ය තුමාට තමාගේ පඩි පත දැක වූවා සේ මගේ පපුවද හෝස් ගා ගියේ ඒ වනවිටත් ප්‍රචාරය කරමින් සිටි ඛේදවාචකයටත් වඩා වැදගත් ප්‍රවෘත්තිය මහා විශාල ඛේදවාචකයක්වත්දෝ යි සිතුන නිසාය.ඒ සමග මට සිතුනේ වැදගත් ප්‍රවෘත්ති යනු ඛේදවාචකම නොවන්නට ද ඉඩ ඇති බවය.

මගේ සිත දසත පියඹා ගියේ තම දූ දරුවන් ලෙන තුල නොදු‍ටු සිංහයාගේ පරිදිය. නොයෙක් කල්පනා ,සිතුවිලි ,ඇති වී නැති වී ගියේය.

අගවිනිසුරු වරිය ඉල්ලා අස් වී වත්ද? දෝෂාභියෝගය ඉවත් කරගෙනවත්ද?

රනිල් ඉල්ලා අස් වී යූ ඇන්පියේ නායකත්වය බුද්ධික පතිරණට දුන්නාවත්ද?

ජනාධිපති වරයා ඉල්ලා අස් වීද?මර්වින් සිල්වා මහණ  වෙලාවත්ද?

ඇමෙරිකාව ඉරානයට පහර දුන්නාවත්ද?

එසේත් නැත්නම් මහා විශාල ග්‍රහකයක් පෘථිවිය කරා ඇදී අවුත් හැප්පෙන්නට යනවා වත්ද?

මෙසේ විපරීත සිතුවිලි වල ගිලෙමින් සිටින අතරේ තම ප්‍රවෘත්ති විකාශය නැවත් වූ සිරස රූපවාහිනිය එම විශේෂ පුවත සිංහල  දෙමල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිවේදනය කලේය.

" පවත්නා  අයහපත් කාලගුණ තත්වය සැලකිල්ලට ගෙන හෙට දින පැවත්වීමට නියමිතව තිබූ  සිරස කඩමණ්ඩිය වැඩ සටහන නොපැවත්වීමට කැපිටල් මහරාජා සංවිධානය තීරණය කර තිබේ."

Tuesday, December 18, 2012

පිටසක්වල ජීවින් සිටින බවට සාක්ෂි


මේ දිනවල අහසින් එක එක ජාතියේ කෑලි බෑලි වැටෙමින් තිබේ. 

උල්කාපාත, උල්කාෂ්ම, ග්‍රහක පමණක් නොව ග්‍රහලෝක පිටින්ම කඩා වැටේ. මේ කඩා වැටිල්ල කොච්චර භයානක දැයි කිව්වොත් , පසුගිය කාලයේ අගමැටිකමට  ෆයිට් කර  දැන්  පැත්තකට වී විරහ ගී ගයන පොලොන්නරුවේ සිරිසේන ඇමති තුමාගේ සෞඛ්‍ය  අමාත්තියාංසෙත් නිවේදනයක් නිකුත් කර අහසින් කෑල්ලක් කඩා වැ‍ටුනොත් එයාලගේ වෛද්‍ය පර්යේෂණ ආයතනෙට දන්වන්නැයි කීවේය.

පහු ගියදා රතු වැස්සක් කඩා පාත් වූ විට කවුදෝ මනුස්සයෙක් දිය සෙවල බැඳුනු බෝතලයකට එකතු කර ගෙන ආ ජලය පරීක්ෂා කර රතු  වැස්සට හේතුව ජලයේ තිබූ ඇල්ගී වර්ගයක් බව කීවේ මේ  වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. ( මේ ජලයේ කිසිම ජීව කොටසක් නැති බවත් ඇත්තේ ලෝහ වර්ග පමණක් බවත් ඊට පස්සෙ  හෙලි විය)

ඒ කතා මොනවා වුනත්  මේවායෙන් අපි පරිස්සම් විය යුතුය.මක් නිසාද යත් මේවා අපේ ඔලුවට කඩා වැටෙන නිසාය. ඊයේ පෙරේදා දවසක මේ වගේ උල්කාවක් මගේ ඔලුවටම කඩා වැ‍ටුනේය.පිටසක්වල ජීවින් සිට්න අබ්ව මම දැන ගත්තේ මේ මගේ ඔලුවට වැ‍ටුනු උල්කාපාතය නිසාය.

  මේ උල්කාපාත පලහිලව්, ලෝක විනාශ කතා ආදිය නිසා ඔලුව තීන්තු වී සිටින  නිසා මේ දවස් වල  මම එලි පහලියට ගියත් ඉන්නේ හෙල්මට් එකක් දමා ගෙනය. උල්කාපාත  කෑලි වලින් ඔලුව බේරා ගන්නටය.

උල්කාපත කඩා වැ‍ටුනත් යන්නට ඕනෑ ගමනක් තිබූ නිසා පහුගිය සෙනසුරාදා හවස් ජාමේ මගේ තැපැල් නයින්ටි කබලට නැගලා පැට්‍රොල් ෂෙඩ් එකට ගියේ බයිසිකලේට පැට්‍රල් ලීටර් එකක් ගහ ගන්නටය.

මගේ ඔලුවට උල්කාපතයක් කඩා වැ‍ටුනේ හරියටම මම ෂෙඩ් එකට අවුත් ඉන්දන පොම්පේ ලඟ බයිසිකලේ නැවත්වූ  විටය. 

මගේ ඔලුවට හෙණ ගෙඩියක් පාත් වූවාක් මෙන් දැනුනේය. ඔලුව කර්පට් වී මම කුජීත වී ගියෙමි. දෑස නිලංකාර විය. වමනේ යන්නට එනවාක් මෙන් දැනුනේය. ඔලුව කැරකෙන නිසා දෑස පියා ගත්තෙමි.
විනාඩියකට පමණ පසු ඇස් ඇර බැලූ විට මගේ හිසේ වැදුනු උල්කාව විසි වී ගොස් පැට්‍රල් පොම්පයේ වැදී ඇලී තිබෙනු මම දැක්කෙමි.

මමද හොඳින් ලංව  ඒ දිහා බැලුවේ මීට පෙර උල්කාපාතය්ක් දැක නැති නිසාය.පෘතුවියෙන් පිට ජීවින් සිටින බවට මම දැන ගත්තේ ඒ වෙලාවේය. ඒ උල්කා කෑල්ලේ මොනවාදෝ අකුරු වගයක් , තිබුනේය.
මම තවත් හොඳින් බැලුවෙමි.

පැට්‍රල් පොම්පයේ ඇලී තිබුනු  උල්කාපාත කෑල්ලේ මේ අකුරු තිබුනේය.

"පැට්‍රල් ලීටර් 1ක් රු. 159.00"

සටහන- මේ ආකාරයේ උල්කාපාත ,උල්කාෂ්ම  ,ග්‍රහක ආදිය ඉදිරි කාලයේ කඩා වැටීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥයෝ කියා සිටින නිසා සකල ජනතාවම ආරක්ෂා කාරි පියවර ගෙන තිබීම උචිත වේ. ඒ ඒ ග්‍රහ වස්තු අනුව ඒවායෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී දැනුම් දීමටද අපි බලාපොරොත්තු වෙමු.
නාසා (ලණු) ආයතනයෙන් දැන ගැනීමට ලැබුණු තොරතුරකට අනුව "පොහොර සහනධාරය කැපීම" නමැති විශාල ග්‍රහකයක් මේ දිනවල පොලව දෙසට ඇදෙමින් පවතින අතර  තම කුඹුරුවල මල පහ කිරීම මගින් එයින් සිදු වන හානිය අවම කර ගත හැකි බව විද්‍යාඥ ආචාර්ය නාත නලින් ද සිල්වා මහතා සොයා ගෙන තිබේ.

Sunday, December 16, 2012

විශේෂ නියෝජිතයා (ලැප්ටොප්)




මේ අතර ජනාධිපතිවරයා හමුවන්නට උදේ වෙනම විශේෂ නියෝජිතයකු ද පැමිණියේය. ඔහුගේ පැමිණීම වැදගත් වන්නේ ඔහු ජනාධිපතිවරයාට ඉතාමත් වටිනා අලුත් ආරංචියක්‌ රැගෙන ආ නිසාය.

පසුගිය දවස්‌වල බටහිර බලවත් රටක්‌ ලංකාව ගැන සමීක්‍ෂණයක්‌ කරලා එහි වාර්තාවක්‌ එරටේ රාජ්‍ය නායකයන් වෙත බාරදුන්නා. එතනදී ඔවුන් හොයා බැලුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා කියන චරිතයට ලංකාවේ බලතුලනය බිඳින්න එරට කිසිදු නායකයකුට නොකළ තරමේ උදව් කරලාත් ජාතිකව හා ජාත්‍යන්තරව විවිධ බලවේග පෙළගස්‌සලාත් ඔහු අසාර්ථක වූයේ ඇයිද කියලයි. එතනදී ඔවුන් එක්‌ නිගමනයකට පැමිණියා. වැදගත්ම දේ තමයි මොන බලවේගය දැම්මත් ඔහු වටා මොන මොන බලවේග පෙළගැස්‌සුවත් මේ රටේ ජනාධිපතිවරයාව ඡන්දයකින් පරද්දන්න බැහැය කියන කාරණාව.

එසේ කිව් නියෝජිතයා ජනාධිපතිවරයාට විශේෂ කාරණාවක්‌ අවධාරණය කළේය.

ඒ කියන්නේ ඔබට විරුද්ධව ලෝකයේ තිබෙන අවදානම පහවෙලා නැහැ කියන එකයි. ඡන්දයකින් වට්‌ටන්න බැරි නම් ඊළඟට ඔවුන් වෙන වෙන ආයුධ පාවිච්චි කරාවි. ඔබ පරිස්‌සම් වෙන්න. ඔහු මෙසේ ජනාධිපතිවරයාට ඊළඟට පැමිණිය හැකි උවදුරු කිsහිපයක්‌ම ගැන අනතුරු හඟවමින් ඉතා වැදගත් අදහස්‌ කිහිපයක්‌ අනාවරණය කළේය.

ඉහත රට මේ රටේ යුද්ධය පැවැති 2007-2008 කාලයේ පටන්ම ලංකාවට විවිධාකාරයෙන් කරදර කළ රටක්‌ බව ජනාධිපතිවරයා ද පෙන්වා දුන්නේය.


උපුටා ගැනීම දිවයින ඉරිදා (ලැප්ටොප්) සංග්‍රහය 2012.12.15



Friday, December 14, 2012

සිංහ කොඩි , පැන්ඩා කොඩි හා චීන්නු (කොන්ඩේ බැඳපු )

 

සිංහ කොඩියේ පැන්ඩෙක් ඇන්දා කියලා ජපනෙක් පොලිස් අත් අඩංගුවට අර ගෙන කියලා නිව්ස් අයිටක් එකක් තිබුනේය.

මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්ය.  ඌ ලංකාවට ගොඩ බැහැලා බලපුවම දකින්න ලැබුන දේ නිසා සිංහ කොඩියට පැන්ඩෙක් දැම්ම එක ගැන ඌට දොස් කියන්න බැරිය.

මම කියන්නේ  මේ වැඩේට වග කියන්න ඕනෑ මිනිහා පැත්තක ඉන්දැත්දී අහිංසක ජපනෙක්  අල්ලා ගෙන කියලාය.

මෙව්ව මෙහෙම සිද්ද වීම ජාතියන්තරව අපිට හොඳ නැත. අපිට ඉන්න හොඳම යාලුවත් තරහ වෙන වැඩක්ය.
ඒක නිසා අපේ පොලෝසියට ආර්ථික විද්‍යාව ත් ජාතියන්තර සබඳතා ගැනත් උගන්වන්ට ඕනෑය. ජපනා  සිංහ කොඩියේ පැන්ඩලා අඳින්නේ ඇයි කියලා එතකොට තේරුම් ගනියිය.


1. සටහන- මම පැන්ඩෙක් ඇන්දේ සිංහ කොඩියක නොවේය, පැන්ඩා කොඩියක කියලා ඔය ජපනා කිවා නම් එහෙම පොලෝසියට කට උත්තර නැති වෙනවාය.

2. සටහන- සිංහ කොඩියට කරපු  මේ හදිය ගැන අපේ දේශප්‍රේමි කට්ටිය සද්ද නැත්තේ මොකද කියලා බැලුවා නම් හොඳය.

3. සටහන- පැන්ඩා වෙනුවට චීන මකරා දැම්මොත් කොහොමට හිටීවිද කියලා මට හිතුනෙමි.


Thursday, December 13, 2012

ලංකාව ශිෂ්ඨ කිරීම


පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා  මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ.

මුලින්ම චාන්ස් එක ලැබුනේ නාකි චීනාට.මිනිහා හරිම  දේශප්‍රේමියෙක්. සමහර විට ලංකාවේ අය ආශ්‍රය කරලා ද දන්නේ නැහැ, මෙච්චර දේශප්‍රේමියෙක් වුනේ. එයා දෙවියන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා

"අනේ දෙවියනි, මගේ රට ඇමෙරිකාවත් පරද්දලා ලෝක බලවතා වෙන්නේ කවද්ද?"

"තව අවුරුදු සීයකින්" දෙවියෝ කිව්වා.

ඒක ඇහුනා විතරයි චීන මහල්ලා ඉකි ගගහා අඬන්න ගත්තා. දෙවියෝ ඇහුවා මේ මොකද අඬන්නේ? අවුරුදු සීයකින් හරි ඔහෙගේ රට ලෝක බලවතා වෙනවනේ කියලා.

එතකොට චීන මහල්ලා ඉකි ගගහා කියනවා "අනේ දෙවියනේ ඒ වාසනාවන්ත දවස දකින්න තරම් කාලයක් මට ජීවත් වෙන්න බැරි නිසයි මම ඇඬුවේ " කියලා.බලන්න දෙශප්‍රේමේ නේද?

ඔන්න ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයා .මිනිහාටත් තිබුණේ රට ගැන ප්‍රශ්නයක්.

"දෙවියන්වහන්ස, අපේ රට මේ කරදර වලින් මිදිලා සෞභාග්‍යමත් , සාමකාමි රටක් වෙන්නේ කවදාද" ඇමෙරිකන් මහල්ලා ඇහුවා.

"තව අවුරුදු පනහකින් " දෙවියෝ කිව්වා. මේක ඇහුනාම ඇමෙරිකන් මහල්ලාත් හො‍ටු හූර හූර  අඬන්න ගත්තා. " අනේ ඒ දවස වෙනකම් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ" කිය කියා.

මේ වගේ කතාවල කවදත් සාමාන්‍යයෙන් වෙන විදිහට අන්තිමට චාන්ස් එක ලැබුණේ ලංකාවේ වයසක ලොක්කාට. මිනිහත් නොන්ඩි ඇණ ඇණ දෙවියන්වහන්සේ ලඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්.

" අනේ දෙවියන්වහන්ස, මගේ රට ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ කවදාද?"

මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා.

ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා.

Monday, December 10, 2012

වෛද්‍ය විද්‍යාවේ හාස්කම්



ඊශ්‍රායලයේ ,රුසියාවේ ,ජර්මනියේ හා ලංකාවේ වෛද්‍යවරු හතර දෙනෙක් කතා කරමින් හිටියා.

" අපේ  රටේ වෛද්‍ය ශාස්ත්‍රය කොච්චර දියුණුද කියනවා නම් මිනිහෙකුට තව කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කලා , මිනිහා සති හතරකින් සම්පූර්ණයෙන් සනීප වෙලා රතු මුහුද හරහා බෝට්‍ටුවකුත් පැද ගෙන ගියා" ඊශ්‍රායල් දොස්තර කිව්වා.

" හුහ් , ඕක මොකක්ද, අපේ රටේ මිනිහෙකුගේ හෘදය වස්තුවක් අයින් කරලා වෙන එකක් බද්ධ කලා. මිනිහා සති දෙකෙන් බයිකාල් විල හරහා පීනුවා" රුසියන් කාරයා කිව්වා.

"හෙහ්, හෙහ්, අපි මොලේ පිලිකාවක් තිබ්බ මිනිහෙකුට අලුත් මොලයක් හයි කරා. මිනිහා සතියෙන් නැගිටලා අත්ලාන්තික් සාගරය හරහා බෝට්‍ටුවකින් ගියා" දෙවැනි වෙන්න අකැමැති ජර්මන් කාරයාත් කිව්වා.

" ඔව්වත් වැඩද මල්ලි. ඔව්වත් වැඩද? " ලංකාවේ දොස්තර කිව්වා

 " අපි මොලේ කලඳක් නැති මිනිහෙක් ගෙනැත් රටේ ජනධිපති කරා. අවුරුදු හතයි ගියේ. දැන් රටෙන් භාගයක් මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්න බෝට්‍ටු පදිනවා".

Friday, December 7, 2012

පොරජාතන්තරේ


අනේ සුසානෝ මම කොළඹ යනකොට
බුහ් බුහ් හඬක් ආවා දියවන්නා පැත්තෙන්
මොකැදයි කියා වට පිට බලන කොට
ප්‍රජාතන්තරේ ගිහින් ...............ට
 
(බල්ලාට, විහිලුවංශට, මැරවින්ට)
(ඔබට සිතෙන පරිදි සුදුසු වචනයෙන් හිස් තැන පුරවා ගන්න )

Sunday, December 2, 2012

ජාතික සමගිය ,සංහිදියාව හා තවත් දෑ

බටහිර ගැති , එන් ජී ඕ ඩොලර් වලි න් යැපෙන , ආණ්ඩු විරෝධී, දේශද්‍රෝහින්  මොනවා කීවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යුද්ධයෙන් පීඩාවට පත් දෙමල ජනයාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් , යුදයෙන් බිඳුනු සිත් සුවපත් කරමින් ජාතින් අතර සමගිය හා සංහිදියාව  ගොඩ නැගීම වෙනුවෙන් කොතරම් කැප වෙනවාද යන්න පෙන්වන අපූරු ඡායාරූප පෙලක් පහත දැක්වේ.





උපකුලපතිවරයාගේ සම්ප්‍රදායික අවසරය පවා නොගෙන ,යාපනය සරසවියේ සිසු නේවාසිකාගාරවලට කඩා පැන සිදු කල සෝදිසි මෙහෙයුමට එරෙහිව එහි සිසු සිසුවියන් විසින් පැවැත්වූ සාමකාමි උද්ඝෝෂණයට දරුණු ලෙස පහර දී සිසුන් අත් අඩංගුවට ගැනීමෙන් නොනැවතී , දැන් සිසු නායකයින්ගේ නිවෙස් වලට රාත්‍රියේ කඩා පැන ඔවුන් පැහැරගෙන යාමද අරඹා තිබේ.  මෙවැනි ක්‍රියාවලට  මේ ආශ්චර්යලන්තයේ කියන්නේ යුදෙන් බිඳුනු සිත් සුවපත් කිරීම, ජාතින් අතර සංහිදියාව ගොඩ නැගීම ආදි වශයෙනි.