Wednesday, April 30, 2014

සියල්ල දත්


ලංකාවේ උගතුන් සාමාන්‍ය්‍යයෙන් තමාගේ විෂය පථයට අසු නොවන දේ පිලිබඳව විශේෂඥ මත පල කිරීමට පුරුදුව සිටිති. කලකට ඉහතදී නම් මේ පුරුද්ද තිබුනේ සමහර විශ්ව විද්‍යාල ඇදුරන් අතරේ පමණි. එහෙත් දැන් දැන් වෙනත් ක්ෂේත්‍රවල අය අතරත් මේ රෝගය පැතිරෙමින් තිබෙනු පෙනේ. 

බොහෝ විට මෙම ඊනියා පණ්ඩිතයින්  තම විශේෂඥ ක්ෂේත්‍රයෙන් පිටත කරුණු ගැන කියන්නේ අමූලික බොරුය . නො එසේ නම් අසම්පූර්ණ කරුණුය.  නිසි දත්ත , වාර්තා, පර්යේෂණ හා අත් දැකීම් නැතිව හුදු  ප‍ටු ජනප්‍රියත්වය සඳහා හෝ දේශපාලන වාසි තකා ඔවුන් විස්න් කරනු ලබන ප්‍රකාශ පොදු ජනයා අතරට ගිය විට සිදු වන්නේ මහා හානියකි.

මේ සඳහා හොඳම උදාහරණය නම් කලක සිට රටේ උතුරු මැද පලාත් වල පැතිර යන නිධන්ගත වකුගඩු රෝගී තත්වයයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ට වඩා අද  මේ පිලිබඳව  පරීක්ෂණ කරන්නේ ගණිත මහාචාර්ය වරුන් හා නාත දේවාලයේ කපුවන්ය.

මේ වකුගඩු රෝගය පිලිබඳව නවතම විශේෂඥයා වී සිටින්නේ  ළමා  ස්නායු රෝග  විශේෂඥයෙක් හා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති , අලුතින්ම දේශප්‍රේමියෙක් වූ අනුරුද්ධ පාදෙනිය මහතාය.

ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන නිදන්ගත වකුගඩු රෝග පිලිබඳ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශකයා ලෙස ඇරයුම් කර ඇත්තේ   පාදෙනිය මහතාටය. ඒ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරමින් හා ඒ ගැන පර්යේෂණ කරමින් වසර ගණනාවක් ගත කල වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වරුන් ගණනාවක්ම රටේ සිටිද්දීය.

එක්කෝ මෙසේ තමන්ට කිසි සේත් අදාල නොවන ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කරන්නට කී විට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු නිහතමානි හා ඥාණාන්වන්විත විය යුතුය. නො එසේනම් ඉංජිනේරු ආයතනයේ ලොක්කන්ට   තමන් කරන්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට මොළයක් තිබිය යුතුය.



Tuesday, April 29, 2014

අප හද වේ බැතිමල්


ලබන සතියේ හෝමාගම මහින්ද රාජපක්ෂ මහ විද්‍යාලයේ  පවත්වනු ලබන උත්සවයකට පැමිණීමට නියමිත අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පිලිගැනීම සඳහා පිලිගැනීමේ ගීතයක් ලියා දෙන්නැයි උත්සව සංවිධාන කමි‍ටුව කලාමැදිරියාගෙන් ඉල්ලා සිටියේය.  ඒ  වෙනුවෙන් පබැඳුනු ගීය පහතින් දැක්වේ. 

පිලි ගනිමු හද බැතිනි සොඳා 
බන්ධුල ගුණවර්ධන මැතිඳා
අධ්‍යාපන ඇමති සොඳා 
ලක්මව් කැත කළ පහඳා
අප හද වේ බැතිමල්


ආනන්ද නාලන්ද රෝයල් හා  කැලේ
පාසල් සියල්ලටම කෙලවා දමා
අප පාසල් මව් ඔසවා තැබු උතුමා
පිලිගනිමු වැඳ සැමදා

ප්‍රශ්න පත්‍ර හදන ලෙක්චරස් හා ප්‍රොෆෙසරස්
ගෙන්වා දෙමින් දී නැණ නුවණ බෙදමිනා
අප පාසල් මව් ඔසවා තැබූ උතුමා 
පිලිගනිමු වැඳ සැමදා

ප්‍රශ්න පත්‍ර උත්තර  හා සමගින් 
අප වෙත දෙනු මැතිඳු
විභාගයට බොහො කලින්
අප පාසල් මවු  මව් අංක එක කරමිනා

උසස් පෙල ද සාපෙල  හා කෙලවා දමා
ශිෂ්‍යත්වෙත් බංග කරමිනා  රටේ ම
අප පාසල් මව් ඔසවා තැබු උතුමා
පිලිගනිමු වැඳ සැමදා

සටහන- අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන උසස් පෙල ප්‍රශ්න පත්‍ර සකස් කරන ආචාර්ය මහාචාර්ය වරුන්ට හෝමාගම රාජපක්ෂ විදුහලේ සම්මන්ත්‍රණ කරන මෙන් නියෝග කරයි.

Saturday, April 26, 2014

සෙල්ලම් හාමුදුරුවෝ නොහොත් නානසාරලාගේ චණ්ඩිකම් ගැන ප්‍රශ්න කීපයක්


ගලබොඩ අත්තේ නානසාර නම් ශ්‍රමණ වේශධාරියාගේ පිස්සු ගෝලයින් රොත්තක් පසු ගියදා ඇමති රිෂාඩ් බදුර්ඩීන් ගේ අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදී වට‍රැක විජිත නම් භික්ෂුවක් එහි සැඟව ඇතැයි කියමින් මහා නාඩගමක් නැ‍ටුවෝය.(නැතිනම් නැටූ සේක හෝ නටා වදාල සේක කියා වුවත් කිව හැක.)

ආණ්ඩුවේ ඇමතියෙකුගේ කාර්යාලයකට මෙසේ කඩා වැදී චණ්ඩිකම් පාන්නට තරම් නානසාරලා බලවත් වූයේ කෙසේදැයි යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවන්නේ රටම හා ලෝකයම එය දන්නා බැවිනි.

නමුත් මෙම සිදු වීම් දෙස බලා සිටින විට මගේ සිතේ ප්‍රශ්න කීපයක්ම පැන නැගුනි.

1. වට‍රැක විජිත හිමි පසුපස මෙසේ මහා අපරාධ කරුවෙක් මෙන් නානසාරලා පන්නන්නේ මන්ද? ඔහු කර ඇති අපරාධය කුමක්ද?

2. ඔහු අපරාධයක් කර ඇත්නම් එයට දඬුවම් දීමට නානසාරට පමණක් නොව ඔහුට අනුබල දෙන උන්ටවත් අයිතියක් ඇත්ද? එය අධිකරණයේ හා පොලිසියේ වැඩක් නොවේද?

3. බැරිවෙලාවත් වට‍රැක විජිත හිමි මෙම මැරයින්ට මහියංගනයේදී හෝ බදුර්ඩීන් ඇමතිවරයාගේ කාර්යාලයේදී මෙම මැරයින්ට අසු වුනා නම් නානසාරලා ඔහුට කුමක් කරන්නට සිතා සිටින්නේද? මරාදමන්නටද?

4.මේ රටේ වැසියන්ට ඉදිරියේදී හුස්ම ගැනීමටත්  නානසාරලාගේ අවසරය අවශ්‍ය වෙයිද?

5. නානසාරලා ඉදිරියේදී හිට්ලර්ගේ එස් එස්.හමුදාව මෙන් සුලුජාතින්ට හා විපාක්ෂිකයන්ට  පහර දීමට සූදානම් කරන  කල්ලියක්ද?

6. රටේ සුලුතර ජාතින්ට ප්‍රසිද්ධියේ අපහාස කරමින් ,පහරදෙමින් නානසාරලා නටන මේ නාඩගම නිසා රටට සිදුවන හානිය තේරුම්ගැනීමට තරම් මොලේ කලඳක්වත් ඇති එකෙක් ආණ්ඩුවේ නැතිද?

7.ඉදිරියේදී බෞද්ධයන් පන්සිල් ගන්නවාද, පෝයට සිලගන්නවාද යන්න ආදියත් බැලීමට නානසාරලා සූදානම් නොවෙයිද?නැතිනම් යෝජිත ආගමික පොලීසිය පිහි‍ටුවන්නේ ඒ කාරියටද?



Thursday, April 24, 2014

සෙල්ලම් කුණු බිත්තර


පසුගියදා හම්බන්තොටදී විපක්ෂ මන්ත්‍රීන්ට හම්බන්තොට මහ ජනතාවගේ ගෝලබලායින් පහර දුන් අවස්ථාවේ ඇහ කණ පියාගෙන බලා සිටියේ යැයි පොලීසියට චෝදනා එල්ල වී තිබේ. 

නමුත් එම පහර දුන් ආණ්ඩුපාක්ෂික මහත්මයෙක් වන මත්තල බූරු පියා මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පොලීසිය එසේ බකං නිලා ගෙන සිටියේ මන්දැයි හෙලි වී තිබේ.

අප එම හේතුව බූරු පියා මහතාගෙන්ම අසමු.

"අම්බන්තොට වරාය ලඟදී ඌ ඇන් පී  මන්තිරිලාට අම්බානකට නෙලනවා කියලා ආරංචි වෙලා අපි සැට් එකක් අපේ නගරාධිපති තුමත් එක්ක උරේ රන් කියලා දුව ගෙන ආවා. එතකොට අපි දැක්කා ඌඇන් පී කාරයින්ට ගහන්ඩ කට්ටියක් සැට් වෙලා ඉන්නවා. මේ ඒරියා එකේ ඒම කොරන්ට දෙන්ඩ බෑනේ.  අපේ මේයර් සර් ටක් ගාලා එතැන හිටි පොඩි එකෙක්ගේ ඉණ අත ගෑවා. මං අඤ්ඤා කොරොස් වෙලා ගියා  මේ මොකද කියලා . මට ඉතුනා නුවර එලියේ ඩිපුටි මේයර් වගේ අපේ මේයර් සර්රුත් කොලු කාරයෙක් වත් ද කියලා. 

එතකොටයි මම දැක්කේ අපේ සර් පොඩි එකාගේ ඉනේ තිවිලා සෙල්ලම් පිස්තෝලයක් ඇදලා ගන්නවා. අපිත් වට පිට බැලුවා සෙල්ලම් පිස්තෝල තියාගෙන තව පොඩි එවුන් ඉන්නවාද කියලා . ඔහේ නෑ. අදිසියට මොකක් හරි කොරන්නත් එපැයි.

මං දැක්කා සෙල්ලම් පොලිස් රාලහාමි කෙනෙක් ඉටගෙන ඉන්නවා  . මම රාල ආමිගේ ඉන අත ගලා බැලුවා . මට අහු උනා බිත්තර වගේ බෝල දෙකක්. පට ගාල ඒ දෙක ගලවලා දමලා ගැඋවා . ඊට පස්සේ වටේ ඉටිය පොලොස් රාල ආමිලා ඔක්කෝගෙම බිත්තර ගලවලා ගැඋවා"

හම්බන්තොට සිදු වීමේදී පොලිස් මහතුන්  අකර්මණ්‍ය ව සිට ඇත්තේ එම මහතුන්ගේ බෝල මැරයින් විසින් එසේ ගලවා ගැනීම නිසා බව මෙම ප්‍රකාශයෙන් හෙලිවේ. ඒ ගැන ඔවුන්ට දොස් කියා පලක් නැත . බෝල නැති වූ විට කාට කාටත් සිදු වන්නේ ඔය ටිකය.කවුරුන් හෝ එය බොරු යැයි කියන්නේ  නම් විමල්  වීරවංශ, චම්පික රණවක හෝ වාසුදේව නානයක්කාර මහතුන්ගෙන් අසා බලන්න.


photo- Lankadeepa

Monday, April 21, 2014

සෙල්ලම් තුවක්කු හා සෙල්ලම් සේනලා



යූ ඇන් පී මන්ත්‍රිවරුන්ට වෙඩි තැබීමට තමන් ගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක්    බව හම්බන්තොට නගරාධිපති තුමා කියා තිබේ. කොහොමටත්  තුවක්කු , පිස්තෝල, කඩු කිරිච්චි , කලා කිරිඤ්ඤ වගේ දේවල් එතුමාලාට සෙල්ලම් බඩු බව  අපි දන්නවාය. ඒ නිසා ඒ ගැන වැඩි කතා ඕනෑ නැත.

අනික වැලේ වැල් නැති යූ ඇන් පී කාරයින්ට  හම්බන්තොට ඇවිත් සෙල්ලම් දාන්ට ඉඩ දෙන්න බැරිය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තො‍ටුපල වගේ සෙල්ලමට හදපු තැන් වලට ගොහින් සෙල්ලම් දාන්ට කොහොමටත් බැරිය. ඒවායේ සෙල්ලම් දාන්ට පුලුවන්  තාත්තලාට  පුතාලාට  හා එයාලගේ ආවතේව කාරයින්ට විතරය.  වෙන අයට සෙල්ලම් දාන්ට ඕනෑ නම් දෑත් ශක්තිමත් කොරන ටීම් එකට  එන්ට ඕනෑය.  හම්බන්තොට විතරක් නොවේය. රටේම සෙල්ලම් දාන්ට පුලුවන් එයාලාට විතරය.

බ්ලොග් එකේ උනත් වැඩිය සෙල්ලම් දාන්ට ආවොත් සෙල්ලම් සුදු වෑන් එකක් එවන්ට ඉඩ තිබේය. ඒ නිසා මේ සෙල්ලම් මෙතැනින් නවත්තමි.


( Photos from Face Book and W3 Lanka Blog)

Friday, April 18, 2014

චිත්‍රපටි සෑදීමට මාර්ගෝපදේශ මාලාවක්.



ඔබ චිත්‍රපටියක් සෑදීමට බලාපොරොත්තු වන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රම සහ විදි රාශියක්  පහතින් දැක් වේ.චිත්‍රපටියක් සැදීම කොතරම් අසීරු කටයුත්තක්දැයි  ඔබට  මෙය කිය වූ විට වැටහෙනු ඇත.

1. දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කරන්න. 

2. පිටපත අවසන්, චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න.

 3. රෑ නින්දෙදී කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් ඇවිත් සිහිනෙන් වගේ මේක කරන්න දෙන්න බෑ කියා කිව්වොත් පහුවෙනිදාම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ට මේ බව කියන්න. 

4. උන්වහන්සේගේ  උපදෙස් පරිදි  ආයෙත් දළදා මාළිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්ද වූ වරද කියා අහන්න.

5.  එදායින් පසුව හැම සිද්දියක්ම වන්නේ ආශ්චර්යයක් වගේ වේවි. 

6. බට  දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ලැබේවි. ඉතින් ඔබ  දඹදිව යන්න.

7.ස්ව්ස්ටර්ලන්තයේ මහත්මයෙක් එහිදී ඔබට මට හමු වේවි. .

8. . දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්ථාන සියල්ලම  ඔහු ඔහුගේ වියදමින් ඔබට පෙන්වාවි.  

9. ඔබ  යලිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් ඔබට  පිංවන්ත නිෂ්පාදකයෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්න.

10. ඉන්පසු පසුදාම අරලියගහ මන්දිරයට යන්න .( මෙය ඉතාමත් වැදගත් කොටසයි.)

11. ඉන්පසු ඔබේ චිත්‍රපටිය ඉබේම හැදෙනු ඇත.

සටහන- ඉහත පියවර අනුගමනය නොකර ලංකාවේ චිත්‍රපටි හැදීම බොරු බව සලකන්න.

Wednesday, April 16, 2014

කිරිවෙහෙරේ කොත් කැ‍රැල්ල මතින් නැගෙන බොරු කෙරිල්ල



පසුගිය අලුත් අවුරුදු දා  කතරගම කිරිවෙහෙර අසල අපූරු දෙයක් සිදු වී තිබේ. දිවයින බෝතල් පත්තරය පවසන පරිදි එය මෙසේය. 

"සිංහල, දෙමළ අලුත් අවුරුද්දට මුළු රටේම ජනතාව ළිප් බැඳ කිරි ඉතිරවීමට සුදානම් වෙද්දී එම සුබ නැකත උදාවෙත්ම කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන්ගේ කොත් කැරැල්ලෙන් සුදෝසුදු කිරි පැහැගත් දියරයක්‌ ගලාගෙන යන්නට වූ අතර ඒ අවස්‌ථාවේ රැස්‌ව සිටි විශාල ජනකාය සාධුකාර දුන්හ.පෙරේදා (14 දා) උදෑසන 11 - 12 අතර සිදුවූ මෙම ආශ්චර්යය රැස්‌ව සිටි බොහෝ දෙනා කැමරා මගින් හා ජංගම දුරකථන මගින් රූපගත කළහ.කිරි වෙහෙර කොත් කැරැල්ල සවිකළ ස්‌ථානයෙන් පෙණ බුබුළු මතුවෙන අයුරින් පුංචි පුංචි බුබුළු නැග විටින් විට දියරයක්‌ මෙන් මෙම ද්‍රව්‍ය ගලා පැමිණි අතර විනාඩි 10 ක්‌ වැනි කාලයකින් මෙම ද්‍රව්‍ය වියළී යනු පෙනුණි."

ඒ අවස්ථාවේ එටහෙන ජනයා ලක්ෂ ගනනක් සිටියත් මෙම සිදු වීම මුලින්ම දැක ඇත්තේ එහි සිටි හිමි නමකි. උන්වහන්සේ දැන් දැන් කිරි දියර ගලයිදෝ කියා ඒ දෙස බලා සිටියා මෙනි.මෙන්න ඒගැන තොරණේ විස්තරේ. 

"අවුරුදු උදාව සමරමින් ආගමික වතාවත්වල නිරත වූ හිමිනමක්‌ මෙම අවස්‌ථාවේදී පිරිත් කියමින් වැඩසිට ඇති අතර උන්වහන්සේ විසින් සැදැහැවතුන්හට මෙම දර්ශනය පෙන්වා ඇත."

හොඳම හරිය ඒක නොවේය. මෙන්න මේකය.

"මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පැවසුවේ බුදුන්ගේ බලය මේ ලෝකයේ සෑම තැනම තිබෙනවා. බුදුන් දේශනා කළ සූත්‍ර පිටකයන්හි බලය අදත් සිද්ධස්‌ථානවල දැක ගන්න පුළුවන්. මෙවැනි ආශ්චර්යයන්වලින් කියෑවෙන්නේ රටට පාලකයන්ට හොඳක්‌ වෙනවා කියන එකයි  (විශේෂයෙන්ම පාලකයින්ට  හොඳේ -සටහන ක.මැ.). වසර 70 කට පෙර මෙවැනිම ආශ්චර්යයක්‌ කිරිවෙහෙර දී සිදු වෙලා තියෙනවා. "

හියහ් පුහ් කිව්වලු.

සටහන- මටනම් මේ ඡායාරූපය දෙස බැලූ විට පෙනුණේ  කාක් බෙට්ටක් බඳු යමකි. 

Wednesday, April 9, 2014

ෂැන්ඩි නැතිව ගල් අරක්කු බීම


මාධ්‍ය නිවේදනයයි.

ජීනිවා චෝදනා ඇති අවස්ථාවක  ෂැන්ඩි නැතිව ගල් අරක්කු බීමේ කුමන්ත්‍රණය හෙලිවේ.

අමාවක බ්ලොග් අඩවිය ලියන කලා මැදිරියා ගල් අරක්කු බොන්නේ ෂැන්ඩි නැතිව බවට ර.වෛ. නි ට දැන ගැනීමට ලැබී ඇත.ෂැන්ඩි නැතිව අරක්කු බීමෙන් කිසිවෙකුට පලක් නැත. රටට පලක් නැත. . කෙටියෙන් කිවහොත් රටට ඉන් අත් වෙන සෙතක් නැත.

කෙසේ නමුත් මෙම ප්‍රශ්නයෙන් අප මෙතෙක් සැක කළ කාරණය තහවුරු වී ඇත. මෙම බ්ලොග් කරුවා පසු ගිය දිනවල දිගින් දිගටම දේශප්‍රේමී ර.වෛ. නි ට පහර දෙන විට අප ඒ ගැන සැක කලෙමු. මේ අවස්ථාවේ කිව යුත්තේ ර.වෛ. නි සාමාජිකයන් වන අප යුද්ධය පැවති කාලයේ පවා අරක්කු බිව්වේ ෂැන්ඩි සමග බවයි.  මේ වන විට රජයට ජිනීවා චෝදනා එල්ල වී ඇති අවස්ථාවක ෂැන්ඩි නැතිව අරක්කු බීම රටේ ස්ථාවරත්වය අවුල් කරන්නකි. 

ෂැන්ඩි  නැතිව අරක්කු බීම

* ජාත්‍යන්තර ප්‍රමිතියට විරුද්ධය.

* ෂැන්ඩි කර්මාන්තයට අහිතකර ලෙස බලපායි

*ජාත්‍යන්තර ප්‍රමිතියට ගරු කරන ෂැන්ඩි සමග අරක්කු බොන ර.වෛ. නි සාමාජිකයන් එයට විරුද්ධය.

*රටේ සාමයට බාධා කරයි.

මීට 
සබන් බබාවර්දන
ලේකම්

Monday, April 7, 2014

අම්මට හුඩු දේශප්‍රේමි පාදෙනිය




සටහන- මෙහෙම විලි ලැජ්ජා නැති ප්‍රකාශනයක් වෙනත් වෘත්තීය සමිතියක් මීට පෙර කර  ඇති බව ඔප්පු කලොත් කලාමැදිරියා බ්ලොග් ලිවීම අත හැර දමනු ලැබේ.

Saturday, April 5, 2014

71 ට පසුවදනක් 2014 දී නොහොත් 2013 ට පසු ව 2014 ලැබු බව


ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 43 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 43 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය පමණක් නොව තව බොහෝ කන්ණ්ඩායම් සමරු උත්සව පවත්වනු ඇත..

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ සිලල්ලන්ටම  මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200- 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.

((සටහන-  ඉතාමත් කාර්ය බහුල මොහොතක සිටියත් අද දින අප්‍රේල් සමරුව වෙනුවෙන් යමක් නොලියා සිටීමට නොහැකිය. එම නිසා මා කලේ 2013 අප්‍රේල් සමරුව වෙනුවෙන් මා පලකල ලිපිය ඉතා සුළු සංශෝධන කිහිපයක් සහිතව නැවත පල කිරීමයි. එයින් ගම්‍ය වන දේ කුමක්ද? වසර 43ක් තිස්සේ සමරු උත්සව පැවත්වූවත් සමාජය ඉදිරියට ගමන් නොකරන බවද? අප්‍රේල් විරුවන්ගේ අරමුණු ඉ‍ටු කිරීමට මෙම සමරු උත්සව පවත්වන අයවලුන් අසමත් වී ඇති බවද?. මේ සටහන 2015 දීත් , ඉන්පසු 2016දීත් ආදි වශයෙන් මා හට නැවත මෙලෙසම පල කිරීමට සිදු වේද ?)