Showing posts with label මුස්ලිම්. Show all posts
Showing posts with label මුස්ලිම්. Show all posts

Monday, May 20, 2013

උසි උසි

Photo - http://2.bp.blogspot.com


බල්ලන් දෙදෙනෙක් කා ගන්නා විට අපි එක්කෝ උන් දෙන්නාටම පහරක් දෙකක් දී දෙපැත්තට ඇද දමමු . එසේත් නැත්නම් උසි උසි කියා උන් දෙදෙනා තව තවත් අවුස්සමු.

මේ දිනවල ලංකාවේ සිටින එක අත්තේ පොල් බඳු ජාතිවාදින් දෙදෙනෙක් වන ගලබොඩ අත්තේ ඥාණසාර හා විමල් වීරවංශ දෙදෙනා එකිනෙකාට  විරුද්ධව මඩ , ගල් ,මුල් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිති. මෙයින් එකෙක් ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදය පතුරවන්නෙක් වන අතර අනිකා දෙමල ජනයාට එරෙහිව යුද වැදී සිටියි. මේ දෙදෙනාම කටයුතු කරන්නේ තම ස්වාමියාගේ උපදෙස් පරිදිය.දෙදෙනාටම අවශ්‍ය මේ දූෂිත රෙජිමයට එරෙහිව නැග එන විරෝධය වෙනතකට හැරවීමය. එය උන් ඉතාමත් හොඳින් කරමින් සිටිති.

දැන් මේ දෙදෙන  එකිනෙකා කාගනිමින් සිටිති. ඒ ද ස්වාමින්ගේ අණ පරිදි බවට නිසැකය. 

අපි කියන්නේ මෙපමණකි.

උසි උසි

Wednesday, March 13, 2013

හලාල් සහ බකමූණන්



දැන් හලාල් සහතිකය ඉවත් කර ගෙන තිබේ, එහෙත් හලාල් වලට විරුද්ධව සටන් කල  බොරු බල සේනාංකයත්, ආණ්ඩුවෙන්  කැපී නන්නාත්තාර වී එල්ලෙන්ට වැලේ වැල් නැතිව සිටින අතරේ හලාල් සහතිකේ එල්ලුනු  චම්පකගේ හෙල උරුමෙත් ඒ තරම් ලේසියෙන් හලාල් අතාරින්නට කැමති නැති පාටය.

ඇත්තටම මුන්ට හලාල් තිබුනත් එකය, නොතිබුනත් එකය. ඕනෑ වුනේ බඩු මිල ඉහල ගොස්, පඩි වැඩි නොවී, ආදායම වැඩි නොවී,  ජීවත් වන්ට අමාරු වෙනකොට කුලප්පු වෙන ජනතාවගේ අවධානය රඳවා ගන්ට යමක්ය.

නමුත් උලමා සංවිධානය මොකක්දෝ හේතුවකට , ගලබොඩ අත්තෙලා හා චම්පකලා  නොසිතු ඉක්මනින්  හලාල් සහතිකය අයින් කරගන්නට තීරණය කිරීම නිසා මඤ්ඤං වී ගිය දේශප්‍රේමින්  දැන් අලුත් බයිලාවක් ගසයි.

ඔවුන් දැන් කියන්නේ හලාල් සංකල්පයම අයින් කරගත යුතු බවයි.

එනම් මුස්ලිමුන් තමන්ගේ ආගමික සංකල්ප අත හැර දැමිය යුතු බවයි.ඔවුන් ජීවත් විය යුත්තේ බී.බී. ඇස් එකේ කට්ටිය හෙවත් ලංකාවේ නොනිල පොලිසිය කියන පරිදිය.

ඔවුන්ට අවශ්‍ය මේ ඝෝෂාව තව කලක් රඳවා ගෙන ඉන්නටය.

ගලබොඩ අත්තේ භික්ෂුව මේ තර්ජනය කලේ මුස්ලිම් පූජකයින්ටත් ඉතා පහත් ලෙස අපහාස කරමිනි. එනම් උලමලා බකමූනන් කරන  බව කියමිනි.එපමණක් නොව මේ භික්ෂුව එම අවස්ථාවට පැමිණ සිටි නායක භික්ෂුන්ටද ඉතාමත් පහත් ලෙස අපහාස කලේය.

මිනිසුන්ගේ ආගම් යනු ඉතා සංවේදී කරුනකි. එය කුඩා ගිනි පුපුරකින් ඇවිලී යා හැකි වෙඩි බේත් කන්දක් බඳුය. වෙනත් ආගමිකයන්ට මෙසේ අපහාස හා තර්ජනය කිරීමෙන් මෙම  භික්ෂුව බලාපොරොත්තු වන්නේ කුමක්ද ? එම වෙඩි බේත් කන්දට ගිනි තැබීමටද?

නැවත වතාවක් මේ රට යුද පිටියක් කිරීමටද?

මම උපතින් සිංහල බෞද්ධයෙක් වුවද දැන්  කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි. ඒ ආගම් වලින් මිනිසුන්ට යහපතකට වඩා අයහපතක් වන බව ඉතිහාසය පෙන්වා දෙන නිසාය.ගලබොඩලාගේ හැසිරීම ඒ අදහස නැවත වතාවක් මගේ අදහස ස්ථීර කරයි.

එහෙත් මුස්ලිමුන්ගේ හෝ බෞද්ධයින්ගේ හෝ වේවා ආගමික සංකල්ප වෙනුවෙන් මා මිල දී ගන්නා භාණ්ඩ වලට වැඩි මිලක් ගෙවන්නට වන්නේ නම් එය සලකා බැලිය යුතු කරුනකි. මෙය හලාල් වලට එරෙහිව  හඬ නැගු බී.බී.ඇස් ලා හා හෙල උරුම නඩය නැගූ එක් ප්‍රධාන තර්කයකි.

 දැන් හලාල් සහතිකය ඉවත් කරගෙන ඇති නිසා එම බඩු මිල අඩු විය යුතු යැයි මෙම එක ජාති මාමකයෙක්වත් කියන්නේ නැත.එමනිසා හලාල් තිබීම හෝ නොතිබීම මට අදාල නැත.

මා භාණ්ඩයක් මිලට ගැනීමේදී සලකන්නේ එහි අවශ්‍යතාව, තත්වය හා මිල පමණි. එය මට විකුණන තැනත්තාගේ ජාතකයෙන් මට පලක් නැත.

එම නිසා කවුරුන් හෝ මා භාණ්ඩ මිල දී ගත යුතු තැන් පිලිබඳව බල කිරීමට පැමිණියොත් බකමූනන් වන්නේ ඔවුන්ය.







Thursday, February 28, 2013

සතුරන් සෙවීම



අප වි‍රැකියාවෙන් හා කුසගින්නෙන් පීඩාවට පත්ව හඬමින් සිටින විට ඔවුන් අපට කිව්වේ " පොඩ්ඩක් ඉවසන්න, මේ සියල්ලටම මුල ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා හා ඔහුගේ ත්‍රස්තවාදය බවත්ය. එම ත්‍රස්තවාද අතුගා දමන තෙක් පටි තද කරගෙන සිටින්නට යැයි  ඔව්හු  අපට කීහ.

අපද කිසි පැකිලීමකින් තොරව පටි තද කරගෙන කුසගින්න ඉවසගෙන,දෙමල ජනයා පාගා දමනතෙක් සිටියේ අපේ ප්‍රශ්න එයින් කෙලවර වේ යැයි සිතාය.

එහෙත් එයින් අපේ කුසගින්න නිමුනේ නැත.

දැන් ඔවුන් අපිට කියමින් සිටින්නේ අපේ සියලු  ප්‍රශ්නවලට මුල මුස්ලිම් ජනයා හා ඔවුන්ගේ හලාල් සහතිකය බවයි.

ඉතින් අපි මුස්ලිම් ජනයාට විරුද්ධව අවි අමෝරාගෙන සිටින්නෙමු.හලාල් සහතිකය අහෝසි කලහොත් අපේ සියලු ප්‍රශ්න විස‍ඳෙනු ඇතැයි සිතීමට අපට උගන්වා ඇත.

පෙර පරිදිම ලේ ගංගා මතින් හෝ මුස්ලිමුන් සමග ගනුදෙනු බේරා ගත් පසු ඊ ලඟට අපේ අනිකා වන්නේ කවුරුන්ද?

ක්‍රිස්තියානින් , බර්ගරයන්, උඩරට  උන් , පහතරට උන්, ගොවිගමයන්, කරාවේ උන්,මහල්ලන්, තරුණයන්, සමලිංගිකයන් , ......................

අපේ සතුරා ලෙස  ඊ ලඟට කවුරුන් ‍තෝරා ගනිත්දැයි කවුරුන් දනිත්ද?

කවුරුන් ‍තෝරා ගත්තත් උන් හා සටන් වදින්නට අපේ දේශප්‍රේමි ජන කැල සූදානම්  බවට සැකයක් නැත.