Showing posts with label පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය. Show all posts
Showing posts with label පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය. Show all posts

Friday, December 2, 2016

යහපාලනේ මාරද????



දේශපාලන විරුද්ධවාදින් මර්ධනය කිරීමේ යහපාලන ක්‍රමය යටතේ සිරගත කර සිටින පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ කුමාර් ගුණරත්නම් තම දඬුවම් කාලය ගෙවා, හෙට දින අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වෙනු ඇත..

බන්ධනාගාරයෙන් එලියට එන කුමාර්ගේ ඉරණම කුමක් වේදැයි මේ දක්වාම අවිනිශ්චිතව තිබුණද ඔහුට ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඊයේ සවස වාර්තාවිය.

එය එසේනම් දිගින් දිගටම නා ගත්  යහපාලන ආණ්ඩුව  කලකට පසුව ගත් හොඳ තීරණයකි.
දැන් යහපාලන වාදින්, ඔන්න ඕකයි යහපාලනේ වෙනස ,  කොහොමද වෙනස, කියමින් උදම් අනනු ඇත.

එහෙත් ආණ්ඩුවට එම තීරණය ගැනීමට සිදු වූයේ  කුමාර් ගුණරත්නම්ගේ පෙ.ස.පෙ  තවත් වාමාංශික හා නිදහස් මතධාරින් එක්ව දිගින් දිගටම කළ බලපෑම් නිසා මිස යහපාලනයේ හොඳකමක්  නිසා  නම් නොවේ,එසේම ජාත්‍යන්තරයෙන් ද සමහර විට ආණ්ඩුවට බලපෑමක් එන්නට ඇත.

ඒ නිසා යහපාලනය මාරයි කියමින් උදම් අනන්නට දෙයක්  කුමාර් සිද්ධියේ නැති බව යහපාලන අනුගාමිකයන්  හා අනිකුත් සියලු දෙනා මතකයේ තබා ගැනීම අනාගතයට වැඩ දායක වනු ඇත.

නිදහසේ සිටි මිනිසෙක් අල්ලා හිරගෙට දමා ඔහු නිදහස් වූ පසු  " ඔන්න අපි මිනිහා එලියට දැම්මා, ඒ විතරක් නෙවේ රටෙන් පන්නන්නේ ත් නෑ . . අපි හතුරන්ට වුණත් සමාව දෙනවා. ඒ නිසා අපි හරි හොඳයි" කීම විලි ලැජ්ජා නැති බංකොලොත් වැඩකි.

එසේම කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන " කුමාර් කෙනෙක් අඳුනන්නේවත් නැති" ජවිපෙ නායකයින්ට එල්ල වූ චෝදනා ගැනද ඔවුන් සෑහෙන පිළිතුරක් , පිලිගත හැකි මට්ටමේ පිළිතුරක් දෙනු ඇතැයි සිතිය නොහැක. සමහර විට මේ ගැන චතුර සේනාරත්න යමක් පවසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අවසන් වශයෙන් කුමාර් ගුණරත්නම් සිරගත කිරීම ගැන රෝහිත භාෂණ අබේවර්ධන  JDS වෙබ් අඩවියේ තැබූ සටහනක් අමුණන්නේ එය අපේ පරම්පරාවේ කතාව නිසාය.

ප්‍රේම‍කුමාර් ගුණරත්නම් වනාහී කාමභෝගී චෞර මහල්ලන්ගේ දොළ පිණිස නීතිපොත් පෙරළා බලා පිටුවහල් කළ යුතු  'ඕස්ට්‍රේලියානුවෙක්ක්' නොවේ. ලෙයින් ලියැවුණු දකුණු ලංකාවේ දුක්බර ඉතිහාසයක මතක අග්නියෙන් කැළැල් වූ හදක් ඇති මගේ පරම්පරාවේ සහෝදරයෙකි. ඔහුගේ නිදහසට පිටුපෑම යුක්තිය අහිමි කළ මගේ පරපුරේ ලේ වැකි මතකයට පිටුපෑමකි.☐

Wednesday, January 13, 2016

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්


අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නම් එවැනි රටක නීතියෙන්,අධිකරණයෙන් හා විනිසුරන්ගෙන් පලක් නැතැයි කීවේ සුනිල් ආරියරත්න හා නන්දා මාලිනිය.

අලුත් ලොවක් තනන්නට යෑම නිසා පාලකයින්ගේ උදහසට ලක් වී දිවි ගලවා ගැනීම සඳහා උපන් රටින් පලා ගොස් සිට පැමිණ, නැවත තමන් ඉපදුන රටේම පුරවැසි භාවය ඉල්ලන කුමාර් ගුණරත්නම් මාස දෙකක් තිස්සේ සිර ගෙදරක සිටීම ගැන කිසිවෙකුත් ඉහත ආකාරයේ ප්‍රශ්න අසන්නේ නැත. මානව හිමිකම් සංවිධාන, දේශපාලන ‍රැඩිකල් වරුන්, සමාජ ක්‍රියාකාරින් , මාධ්‍ය කිසිවෙක්  ඒ ගැන කථා නොකරයි. ඒ ඔහුගේ දේශපාලනය  ඔවුන්ට දිරවන්නේ නැති නිසාද? 

පුද්ගලයෙකු පැහැරගෙන යාම ගැන චෝදනා ලබා සිටි හිරුණිකා විනාඩි විස්සකින් ඇප ලබා එලියට පැමිණියේ සෙනසුරාදා දිනකය.ඒ යහපාලනයේ හැටිය. පසුගිය රජයේ වංචා දූෂණ මැර ක්‍රියා සොයා වංචනිකයන්, දූෂිතයන් ,හොරුන් හා මැරයන් හිර ගෙදර යවන්නට බලයට පැමිණි යහපාලනයේ වැඩ එහෙමය.රාජ්‍ය දේපල හොරා කෑමේ චෝදනා ලැබූ වුන් සියලු දෙනාම එලියේය. කුමාර් ඇතුලේය.

කුමාර් ගුණරත්නම් පසුගිය දෙසැම්බර් අට දා කෑගලු උසාවියට ගෙනවිත් තවත් සති දෙකකින්  රිමාන්ඩ් භාරය දිගු කල අතර එදින ඔහුගේ උපන දිනයද විය. අද කැගලු උසාවිය තිබෙන තැන මීට වසර 50 කට පෙර තිබුනේ කෑගල්ල රෝහලයි. මේ සිදු වීමේ උත්ප්‍රාසය වනුයේ කුමාර් නීතී විරොධී ලෙස මෙරටේ සිටියා යැයි කියා 2015 දී සිරභාරයට ලක් කරන තැන ම පිහිටා  තිබූ රෝහලේදී ඔහු මීට වසර පනහකට පෙර ඉපදී තිබීමයි. ඔහු ඉපදුන රටේ පුරවැසි භාවය අහෝසි කර ,එය නැවත ඉල්ලන විට කුදලාගෙන ගොස් හිරේ දමයි.යහපාලනය යනු එයයි.

කුමාර් අත් අඩංගුවේ සිටින්නේ නීති විරෝධී ක්‍රියාවක් කල නිසා යැයි කියන අයට කීමට ඇත්තේ නොදන්නා මගුලක් කතා නොකර සිටින ලෙසය. එසේ නම් ඔහු අත් අඩංගුවටගැනීමට මෙතෙක් කල් බලා සිටියේ මන්ද? ඔහු සිටින තැන සොයා ගැනීමට නොහැකි වූ නිසා යැයි කියන්නේද? රටේ බුද්ධි අංශ එතරම් දුර්වලද? ඔහුව පාවාදුන්නවුන් ඔහු යන එන තැන් ගැන නොදැන සිටියේද? ඔහුට රට හැර යාමට සිදු වූයේත් කලක් ඔහු සමග එකට දේශපාලනය කලවුන් සමහරකුගේ පාවා දීම් නිසා බව අද රහසක් නොවේ. කුමාර් නිදහස් කරන ලෙස ඉල්ලා ගසා තිබූ  පෝස්ටර් පවා ඔහුගේ පරණ දේශපාලන සගයින් විසින් ඉරා දමා ඇතැයි කියවේ.

පැහැදිලි ලෙසම කුමාර් අත් අඩංගුවට පත් වෙන්නේ ඔහුගේ පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය කොටස් ගෙන ගිය උද්ඝෝෂණ නිසා රජය පත් වූ අපහසුතාවට පලි ගන්නටය. එසේම රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි කොටස් බිය ගන්වන්නටය. පසුගියදා බොරු චෝදනා නගමින් නීතිඥ නුවන් බෝපගේ අත් අඩංගුවට ගත්තේද එම අරමුණින්මය.

එසේම මරණ පරීක්ෂණයක් පවත්වන්නට පවා ප්‍රථම , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ද, පොලිසිය බාර ඇමති සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී ද ඇඹිලිපිටිය පොලිස් ප්‍රහාරය සුද්ද කරන්නට එන්නේ ද විරුද්ධ මතධාරින් බිය කරන්නටය. එසේම විරුද්ධ මතධාරින්  පැකිලීමකින් තොරව මර්ධනය කරන ලෙස පොලිසිය ඇතුලු මර්ධකයින්  ධෛර්යමත් කරන්නටත්ය.

කොටින්ම කිව්වොත් කුමාර්  ගුණරත්නම් අද හිරේ ඉන්නේ " අපි උඹේ දේශපාලනයට කැමති නැහැ, උඹ අපිට කරදරයක්, උඹ අපේ ආතල් කඩනවා, ඒ නිසා උඹ ඇතුලේ හිටපන්, උඹට විතරක් නොවේ අපි එක්ක හැප්පෙන ඕනැම කෙනෙකුට අපි කරන්නේ ඕකයි " කියා පෙන්වීමට රජයට ඕනෑ නිසාය.

Wednesday, November 4, 2015

යහපාලනය කොයිබටද?


පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් තම මව බැලීමට ගොස් සිටියදී ශ්‍රි ලංකා පොලීසිය විසින් අද දින  අත් අඩංගුවට ගෙන තිබේ .කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම සාධාරණීකරනය කිරීමට සියක් දෙනා ඉදිරියට එනු ඇත.

ඔහු වලංගු විසා නොමැතිව මෙරට ‍රැඳී සිටීම නීතී විරෝධී බවත්, එම නිසා ඔහු අත් අඩංගුවට ගැනීම ඉතා නිවැරදි බව ඔවුන් අපට කියා දෙනු ඇත.

සැබෑය. නීතිය අර්ථයෙන් ගත් කල එය නිවැරදි වීමට ඉඩ ඇත. එහෙත් එය දේශපාලන වශයෙන් හා සදාචාර වශයෙන් ඉතා වැරදිය.

කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා යනු 1980 ගණන් වල අග මෙරට වූ භීෂණයෙන් දිවි ගලවාගෙන ඕස්ට්‍රේලියාවට පලා ගිය කෙනෙකි. ඉන්පසු කලකදී ලංකාවට පැමිණ රහසිගතව ජවිපෙ දේශපාලනයේ නිරතවෙමින් සිටියදී වීරවංශ කල්ලීයේ පාවා දීම් නිසා නැවත රට හැරයාමට ඔහුට සිදු විය.ඔහු නැවත වතාවක් දිවයිනට පැමිණ සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් කර තිබියදී ය පසුගිය ජනවාරියේ දී දිවයිනට පැමිණෙන්නේ. ඉතින් ඔහු අත් අඩංගුවට ගැනීම වැරදි වන්නේ ඇයි.?

කුමාර් පසුගිය ජනවාරියේ දිවයිනට පැමිණි දා සිට මේ වන තෙක් අත් අඩංගුවට නොගත්තේ ඔහු සිටින තැන නොදැන සිටි නිසාද? ලංකාවේ බුද්ධි අංශ එතරම් දුර්වලද? මේ ප්‍රසිද්ධ පුද්ගලයා සිටින තැනක් මෙතුවක් කල් පොලීසිය නොදැන සිටියේද?කුමාර්ගේ දේශපාලන සබඳතා , යන එන තැන් සියල්ල දන්නා ජවිපෙ ඔහු පවා නොදී සිටීද?

නැත. මේ මොහොතේ ඔහු අත් අඩංගුවට ගත්තේ නීති විරෝධිව මෙරට ‍රැඳී සිටි නිසා නොවේ.එසේ අවශ්‍යතාවක් තිබුණා නම් ඔහුව අත් අඩංගුවට ගන්නේ විසා අවලංගු වූ ජනවාරි 31 දාමය. අද කුමාර් අත් අඩංගුවට ගත්තේ ඔහු නායකත්වය දෙන පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය හා සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසු ගිය දින කිහිපයේ පැවත් වූ උද්ඝෝෂණ නිසාය. එම උද්ඝෝෂණ නිසා ශ්‍රී ලංකා පොලීසියට සිදු වූ අවමානය නිසාය.මානව හිමිකම් ‍රැකීමට පිළින දී බලයට පැමිණි  රජයක් සිසුන්ට නින්දිත අයුරින් පහර දීම නිසා  රජයට සිදු වූ නින්දාව නිසාය. එයට පලිගැනීමක් වශයෙන් මිස අන් කිසිවක් නිසා නොවේ.

මේ අනුව බලන විට ඊනියා යහපාලනයත් ගමන් කරන්නේ තම පූර්වගාමියා ගිය මග බව  නම් නිසැකය.

Saturday, October 31, 2015

යකාගේ සිහිනය





යකාගේ අඩවිය ලියන මධ්‍යස්ථ මතධාරියා නම් වූ බ්ලොග්  කරුවාට නිදහසේ ගමන් බිමන් යාමට, ඉගෙන ගැනීමට, නිදා ගැනීමට, සිහින දැකීමට ,සල්ලි දී ටිකට් අරගෙන ඇති බැවින්  තමන්ගේ පාඩුවේ කෝච්චියේ යාමට , පාඩම් කිරීමට, ආහාර ගැනීමට ,මලපහ කිරීමට සහ සංසර්ගයේ යෙදීමට අවශ්‍ය බැවින් මින් පසු කිසි කෙනෙකුන් කිසිම ආකාරයක උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, පිකටින් , පෙලපාලි, ‍රැස්වීම් පැවත්විය තබා සද්දෙට අධෝ වාතයක් වත් පිට නොකළ යුතු  යුතු බව  මෙයින්  දැනුම් දී සිටින වගයි.

යම් අයෙකුට පාලකයින් වෙත කුමන ආකාරයක හෝ  දුක් ගැනවිල්ලක්, පැමිණිල්ලක්, ඉල්ලීමක්  කිරීමට ඇත්නම් මධ්‍යස්ථ මතධාරියා සැම දා  කරන පරිද්දෙන් පාලකයින්ගේ කකුල් ලෙව කෑමෙන්  හා වෘෂණ කෝෂ පොලිෂ් කිරීමෙන් එම කාර්ය වඩා සාමකාමි ලෙස කර ගත හැකි බවද මෙයින් දන්වා සිටිමු.

මෙම ආඥාව කඩ කරන අයට යමපාලන යහපාලන පොලීසියේ සාද් ගේ පුතුන් ලවා අවම බලය භාවිතා කරවන බවත් ඉන් ලැබෙන අතුරුඵල ගැන තම තමන් වග කියා ගත යුතු බවත් මෙයින් වැඩි දුරටත් දැනුම් දෙමු.

සටහන- මධ්‍යස්ථ මතධාරියා අමාරුවෙන් උපාධි එකින් එක ලබාගෙන  , සතෙන් සතේ එකතු කර ඉතා අමාරුවෙන් පංතියෙන් පංතිය ඉහලට නැගීමට දකින සිහිනයෙන් ඔහුව නොමුදවන ලෙස පෙර‍ටුගාමි කඩප්පුලියන්  සිතට ගත යුතුය.

Sunday, February 1, 2015

කුමාර මහත්තයාට අත නොතබනු



පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නොනිල නායක හා මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාට එරෙහිව කරමින් පවතින දේශපාලන හිරිහැර අපි තරයේ හෙලා දකිමු. 

ඔහු මේ රටේ පුරවැසියෙකි. ඔහු රටින් පලා යාමට සිදු වූයේ  රාජපක්ෂ රෙජිමයේ  හිංසාවන් නිසාය. දැන් රෙජිමය පරාජය කර යහ පාලනයක් ගොඩ නගා තිබේ. එහි නායකයින් , රෙජිමයේ පලි ගැනීම් නිසා විදේශ ගත වී සිටින සියල්ලන්ට නැවත මව් බිමට පැමිණීමට ආරාධනා කර තිබේ. 

එහෙත් ලංකාවට පැමිණ දේශපාලනය කිරීමට සැරසෙන කුමාර් ගුණරත්නම්ට මෙම යහපාලනය අදාල නොවන බවක් පෙනේ. දිගින් දිගටම ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා හිංසා කරමින් ඔහුව ආපසු යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ. මෙය නම් දේශපාලන පලි ගැනීමක් මිස අන් කිසිවක් නොවේ. 

ඒඔහු නැවත ලංකාවට පැමිණ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට උදව් කලේ පැවති ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කිරීමට යැයි වන උපකල්පනයේ පිහිටා සිටය.ඔවුන්ගේ එම ක්‍රියාවෙන් විපක්ෂ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට පාඩුවක් විය හැකි බවත්, රාජපක්ෂට වාසි වූ බවත් ආණ්ඩු වේ ආධාරකරුවන්  නගන චෝදනාවයි. එය එසේම වූවා කියා උපකල්පනය කලත් කුමාර් ගුණරත්නම්ගෙන් පලි ගැනීම ගැලපෙන්නේ යහපාලනයේ කුමන කොටස සමගදැයි අපට තේරුම් ගත නොහැක.

1989 පරාජයෙන් පසුව ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි 1994 දී ඔවුන්ටද මෙවැනි  චෝදනාවකට ලක් වීමට සිදු විය. ඒ එවකට පැවති එජාප රජයේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කරමින් විපක්ෂ සංධානය පරාජය කිරීමට එජාපයට උදව් කරන බවයි. අද ජවිපෙ එම චෝදනාවම තමන්ගෙන් කැඩී ගිය පෙසපෙට කිරීම  මොන තරම් සදාචාරත්මක දැයි ඔවුන් සිතන බවක් නොපෙනේ. කෙසේ වුවත් ඔවුන් කුමාර් ලංකාවේ සිටීම ගැන නම් කැමති නැති බව පැහැදිලිවම පෙනේ. ජවිපෙ නායකයින් ලංකා ඊ නිව්ස් වැනි ආයතන හරහා දිගින් දිගටම , කුමාර් පි‍ටුවහල් කරනුයි හඬ නගනුයේත්, නව රජය තුල තමන්ට ඇති සම්බන්ධතා භාවිතා කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහුට හිරිහැර කරවන්නේත් එබැවිනි.

එම නිසා  කෙනෙක් දරන දේශපාලනය මතය කුමක් වුවත් ඔහුට හෝ ඇයට ඒ මතය දැරීමට ඇති අයිතිය ට පහර නොගසන මෙන්  අපි තරයේ ඉල්ලා සිටිමු. 


එම අයිතිය තිබිය යුත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානයක හෝ අනුර කුමාර දිසානායකට පමක් නොවේ. එය කුමාර් ගුණරත්නම්ට , සිරිතුංග ජයසූරියට , විජේ ඩයස්ට හෝ පානි විජේසුන්දරට ද එක සේ තිබිය යුතුය. යහපාලනය යනු එයයි.

Friday, April 5, 2013

71 හා 2013



ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 42 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 42 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයත් අද දෙතැනකට වී රතු කමිස හැඳ සමරු  උත්සවවල කතා පවත්වනු ඇත. රෙජිෆෝර්ම් සමරු පලක වලට මල් තබනු ඇත. අවසානයේ විසිර යනු ඇත.

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ දෙපිරිසටම මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.