Thursday, November 13, 2014

අපිට එපෝ



"අපිට ඉරාකයක් මෙහේ ඕනේ නැහැ.අපිට ලිබියාවක් මෙහේ ඕනේ නැහැ.

ඊජිප්තුවක් මෙහේ ඕනේ නැහැ.ඇෆ්ගනිස්ථානය වත් මෙහෙට එන්න ඕනේ නැහැ. "

කෙටියෙන් කිව්වොත් මට සදාම් හුසේන්ට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ, 


ගඩා‍ෆිට වෙච්චි දේ වෙන්ට දෙන්ට එපෝ, 

හොස්නි මුබාරක්ට වෙච්චි දේ වෙන්ට දෙන්ටත් එපෝ.

මම වැඩ කරන්නේ උන් වගේ උනාට මට එහෙම කරන්ට එපෝ.



Wednesday, November 12, 2014

පැරණි වමේ නව පිබිදීම නොහොත් කොමියුනිස්ට් පක්ෂයේ ලෝක වාර්තාව


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෝක වාර්තාවක් පිහි‍ටුවා තිබේ. ඒ නේපාල කොම්යුනිස්ට් වාදින් මෙන්  චන්දයෙන් ආණ්ඩු බලය පිහි‍ටුවා හෝ ඉන්දියාවේ කොමියුනිස්ට් පාක්ෂිකයන් මෙන් බටහිර බෙංගාලයේ වසර විස්සක් පාලනය කරමින් හෝ නොවේ. 

අපේ ශ්‍රී ලංකාවේ ඩීව් ' පොල්පොට්" ගුණසේකර ප්‍රමුඛ ඊනියා කොමිනිස් කාරයින් වාර්තාවක් පිහි‍ටුවා ඇත්තේ තමන්ගේම පක්ෂයේ පුවත්පත වන  ඇත්ත පුවත් පත තහනම් කරමිනි.

විපක්ෂයේ සිටියදී පුවත් පත් නිදහස ගැන ඇඟ කිලි පොලා යන ආදර කතා කියූ ඩීව් ලා යම්තම් පිනට ලැබුනු ඇමති කට්ටක එල්ලී ගෙන ක්‍රියා කරන්නේ මෙලෙස නම් , මොවුන්ට රාජ්‍ය බලය ලැබුණහොත් ස්ටාලින් පවා ලජ්ජා වෙන තරමේ මර්ධකයන් වනු ඇත.

සටහන- පැරණි වමේ නව පිබිදීම ගැන ආදර කතා කියූ වික්ටර් අයිවන් සීයා මේ ගැන කියන්නේ කුමක්දැයි දැන ගැනීමට මම ආශාවෙන් බලා සිටිමි.

Sunday, November 9, 2014

මහින්දට පුලුවන්



මහින්දට පුලුවන්ද බැරිද කියලා මේ දවස් වල මහා වාදයක් යනවා. ආණ්ඩුක්‍රම ඔස්තාර්ලා , නීති විශාරදලා දෙපැත්ත බෙදිලා ගජරාමෙට වාද කර ගන්නවා.  මේ වෙලාවේ නීතිය ගැන හසල බුද්ධියක් තියෙන , නීති ගරුක පුර වැසියෙක් වන මමත් කල්පනා කළා මේ ගැන මගේ අදහසත් කියන්න ඕනෑ කියලා.

ලංකාවේ විතරක් නොවේ , ඇමෙරිකාවේ ,ප්‍රංශයේ , නයිජීරියාවේ, වැනිසියුලාවේ , පකිස්තානයේ  , ඝානාවේ , තව මියන්මාරයේත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හොඳින් අධ්‍යනය කරපු මම බැහැපු තීරණය තමා මහින්දට පුලුවන් කියන එක. සරත් එන් සිල්වලා , අනුර කුමාරලා මොනවා කිව්වත් ඒක තමා ඇත්ත. පවතින යථාර්ථය සහ උන්ඩුක පුච්ඡය.

බොරුනම් බලන්න ලබන දහ වෙනිදා අපේ ශ්‍රේෂ්ඨාධිකරණයත් මම කියන දේම කියන්නේ නැත්ද කියලා. එතුමලා මටත් වඩා සූක්ෂමව ඔය නීති තර්ක , අර අන්ධ කන්‍යාවිගේ අතේ තියෙන කඩුවෙන් පොතු ගහලා , ‍රැහැලා, පෙති කපලා , ඒ ගෑණු ළමිස්සිගේ අතේ තියෙන තරාදියටම දාලා කිරලා මැනලා කියන්නෙත් මම කිව්ව ටිකම තමා. මෙන්න කැට.  

Saturday, November 8, 2014

බර්ලින් තාප්පයේ වැටීම-FALL OF A WALL


බර්ලින් තාප්පය බිඳ වැටී වසර විසි පහකි.  බර්ලින් තාප්පයත් සමග බිඳ වැ‍ටුනේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදි යැයි හැඳින්වූ රාජ්‍ය පද්ධතිය පමණක් නොවේ. එතෙක් පැවති සීතල යුද්ධය හමාර වී ලෝක දේශපාලන බල තුලනයද ඒ සමග බිඳුනි. එයින් වූයේ හොඳක් ද නරකක්ද යන්න මට තවම තේරුම් ගැනීමට නොහැක. එහෙත් එම සිදු වීම මම මහත් කම්පනයකට ලක් කළ එකක් බව නම් මතකය.  

Thursday, November 6, 2014

සිරසේ දන්සැල්


අනේ සුසානෝ මම කොළඹ යනකොට
අරලිය මන්දිරේ පන්දාහක්  ජනතාව
බයියන් ලෙසින් කට ඇරගෙන බලා ඉඳ
දන්සැල් බුදිති හත් වලාමේ

ආපහු හෑරිලා කොස්ලන්දට ආපු කොට
තුන්සීයකට කන්නට දෙන්නට බැරිව
සම්මාදම් කරයි  ලොරි පුරවන්ට
සිරස  මාකටින් මල මිනී වුනත්

Saturday, November 1, 2014

මම වැලපෙමි.


මේ බිමේ සැබෑ උරුමකරුවන් ඔවුන්ය
එහි වෙසෙන සැබෑ නිර්ධනීන්ද  ඔවුන්මය.
එහි උරුමක්කාර පොල්මක්කාරයන් යැයි කියා ගන්නා උන්ට
සැප විඳින්නට, බොරු කරමින් සැප විඳින්නට,
හොරකම් කර මඩි තර කර ගන්නට 
කාර් රේස් පදින්නට 
ගුවන් සවාරි යන්නට පමණක් නොව 
අභ්‍යවාකාශ තරණයේ යෙදෙන්නටත් 
ධනය සොයා දෙන්නේ ඔවුන්ය.
පාන් පිටියෙන් තැනූ රොටී කැබැල්ලකින් 
වේලක් හැර වේලක් පිරිමසා 
සීනි නැති කහට කෝප්පයකින් කුසෙහි  අඩුව පුරවා
අනික් උන් එලියට බහින්නට පවා නොහිතන හීතලේ,වැස්සේ 
 නහර පෑදුනු කෝ‍ටු අත් ,කෘශ සිරුරු, 
කඩමාල්ලෙන් වසාගෙන ජාතියට ( කාගේ ජාතියට ද)
ධනය සොයන්නේ ඔවුන්ය.
ඔවුන්ගේ උගුරු බුලත් හැපීම නිසා වණ වී ඇත,
පිලිකා ඔඩු දුවා තිබේ.
ඔවුන්ගේ දරුවන්ද  ඔවුන් මෙන්ම 
අඩ කුස ගින්නේ 
කහට ගැහුනු සුදු නිල ඇඳුම් 
පයට රබර් සෙරෙප්පු, නැතිනම් නග්න දෙපයින් යුතුව 
පාසල් කරා යන්නේ  තම දෙමව්පියන් යට කර ගෙන ඇති
මහා දුක් කන්දෙන් ගැලවෙන්නට විය යුතුය.

එහෙත් සොබා දහම පවා එරෙහි වන්නේ ඔවුන්ටමය.
ඔවුන් තමන්ගේ මහා දුක් කන්දත් සමගම
තම ආදරනීයන් සමග 
ඒ පස් කන්ද යට වැලලී සිටිති.

කී දෙනෙක්ද?අපි නොදනිමු.
තුන්සීයක්, හාර සීයක් , දෙසීයක්
පොලිස් ප්‍රකාශක ට අනුවනම් තිස් හතරකි.
අපට එය වැඩක් නැත.
ඒවා හුදු සංඛ්‍යා පමණකි.
දැන් වරද කරුවන් ද ඔවුන්මය.
උගත් බුද්ධිමත් මහතුන් යන්නට කී විට 
ඔවුන් ගියේ නැත.
යන්නේ කොහාටදැයි කිසිවෙක් කීවේද?

ඔවුන් යට කරගෙන සිටින මහා පස් කන්ද
මා පපුව මත තැබුවා මෙන්
මහද රිදේ 
මම වැලපෙමි.
මට කළ හැක්කේ එපමණි








 වලින් පො


Tuesday, October 28, 2014

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් හෙවීම


විධායක ජනාධිපති කම අත හැරීමට නම් දෙමළ ජාතික සංධානය හා ඩයස්පෝරාව ඊලම් ඉල්ලීම අත හැරිය යුතුය යැයි ජනාධිපතිවරයා මේ දිනවල කියන්නට පටන් ගෙන තිබේ.විධායක ජනාධිපති කමෙත් ඊලමෙත් ඇති සම්බන්ධය කුමක්දැයි අපට නොතේරේ.  තිබුණත් එය ඇඹුල් කෙසෙල් ගෙඩි හා ඔම්ලට් අතර ඇති සම්බන්ධය වැනි එකක් මිස ඊට වඩා කිට්‍ටු එකක් නම් නොවේ.

අනිත් අතට ඔහු මේ කියන්නේ ඊලම සැබැවින්ම අත හැරීම ගැනද නැතිනම් අත හැරිය  බවට  ප්‍රසිද්ධියේ පැවසීමක් ගැනද? යමෙක්  ඊලම අත හැරියා යයි පැවසුවද ඔහු එසේ පැවසුයේ ඇත්තටම දැයි දැන ගන්නේ කෙසේද?

කෙසේ වෙතත් දැන් අතිගරු උතුමාණෝ  මෙසේ කියනා නිසා ඒ ගැන මදක් හොයා බැලූ විට අපිට පෙනෙන්නේ  දෙමල ජාතික සංවිධානය දැනටමත් ප්‍රසිද්ධියේ ඊලම අත හැර ඇති බවයි. නො එසේනම් ඔවුන් කිසිම දිනෙක ඊලමක් නොපැතූ බවයි. ( මෙහිදී ඇතමුන් ස්වයං පාලනය හා ඊලම පටලවා ගැනීමට ඉඩ තිබේ.) ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වශයෙන් දිවුරුම් දෙන විටම ඒකීය රාජ්‍යයක පැවත්ම ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත. 

එසේ නම් දැන් ඉතුරුවන්නේ ඩයස්පෝරාව පමණි. මේ ඩයස්පෝරාව යනු නිශ්චිත කාණ්ඩයක් නොවේ. ඕනෑ අතකට අර්ථ දැක්විය හැකි කුලකයකි. එහි අනිත් සියලුම දෙනා ඊලම අත හැරි බව ප්‍රසිද්ධියේ කිව්වත් , නොකියූ එකම එක පුද්ගලයෙකුට ඇඟිල්ල දිගු කර අන්න අරූ කිව්වේ නෑ. ඒ නිසා ඩයස්පෝරාව ඊලම අත හැර නෑ. ඒ නිසා මම විධායක ජනාධිපතිකම අත හරින්නේත් නැහැ යැයි කිව හැක.

ඒ නිසා  ජනාධිපතිවරයාගේ මේ කියමන නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් හෙවීම  වැනි දෙයක් මිස අන් යමක් නොවේ. ඔහු විධායක ජනාධිපතිකම අත හරින්නේ නැත.ඔහු නොකියා කියන්නේ එයයි. 

Saturday, October 25, 2014

රතන සාදු කීවේ කුමක්ද?


පසුගිය දිනක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට අරලිය ගහ මන්දිරයට ගිය රතන සාධු මන්ත්‍රී තුමා හා චම්පික රණවක හිටපු විදුලි බල ඇමතිතුමා සාකච්ඡාව අතර මැදදී ජනාධිපතිවරයා නැගිට ගිය පසු ඔල්මොරොන්දන් වී එලියට පැමිණෙන අතර රතන සාදු චම්පික ඇමතිවරයාට කීවේ කුමක්ද?
(නිවැරදි පිළිතුර දෙන කෙනෙකුට හක් ගෙඩියක් පුරවා දෙනු ලැබේ)

1. වවුලාගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්ට වෙනවා බං

2. ඌරාගේ මාලු ඌරාගේ පිටේම තියලා කැපුවනේ

3. මොකෝ බං ගලක් උඩ රීපු බළලෙක් වගේ ඉන්නේ

4. කුම්බලා මාලු කෑවනම් දුක විඳපන් බළලෝ

5. මේවාට තමා කියන්නේ අපි හදපු නරි අපිටම හූ කියනවා කියලා

Friday, September 26, 2014

මේ ඔබාමා ඒ ඇමෙරිකාවේ නොවේ. වෙන ඇමෙරිකාවක . ඒක හරි හොඳයි


ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 5 විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කොට තිබූ යෝජනා පසුගිය බ්‍රහස්‌පතින්දා වැඩි ඡන්ද 11 කින් සම්මත විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 23 ක්‌ ලැබුණු අතර රටවල් 12 ක්‌ විරුද්ධව ඡන්දය දුන්හ. රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැළැකී සිටියහ.
............
ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඇමරිකාව හා බ්‍රිතාන්‍යය පසුගිය කාලය තුළ දැවැන්ත මෙහෙයුමක්‌ දියත්කොට තිබිණි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්‌වාල්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිෂෙල් ඡේ. සිසන්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කින් ආදීන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය ලබාගැනීම සඳහා සාමාජික රටවලට විශාල ලෙස බලපෑම් කළ අයුරු පසුගිය කාලයේ අපට දැකගත හැකි විය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෝර්වේ ආදී රටවල් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අවස්‌ථාවේදී, යුද්ධය නතර කොට සටන් විරාම ගිවිසුමක්‌ මගින් කොටි නායකයන් බේරා ගැනීම සඳහා නොයෙකුත් අයුරින් බලපෑම් කරමින් ප්‍රබල උත්සාහයක යෙදුණි. ..............


තමන්ගේ අපේක්‍ෂාවන් සහ අරමුණු ඉටුනොවීමත්, ශ්‍රී ලංකාව තමන්ගේ කීමට පිටුපා ගොස්‌ යුද්ධය අවසන් කිරීමෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදි රටවලට මහත් මදිකමක්‌ විය. එබැවින් ඔවුන් එදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව නොයෙකුත් යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට පාඩමක්‌ ඉගැන්වීමටය. එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව පෙරළා දැමීම ඔවුන්ගේ එකම අරමුණ වී තිබේ.

ඉන්පසු 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්‍ෂකයකු ලෙස හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා මහතා ඉදිරිපත් කළේද ඇමරිකාවේ උවමනාව මත බව පැහැදිලිය.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමට නොහැකි වූ නමුත් ඇමරිකාව ඇතුළු රටවල් ඔවුන්ගේ අරමුණ අත්හැර නැත. සෑම වසරකම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ඇමරිකාව ආදී රටවල් කටයුතු කරන්නේ ඒ නිසාය. ..................


ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව කොටුකර ගැනීමට මාන බලන අතරම ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් සභාව මගින් උතුරේ වෙනම පාලනයක්‌ ඇති කිරීමටද පියවර ගනිමින් සිටිති. ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති මිෂල් ඡේ සිසන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කින් ආදීන් පසුගිය කාලයේ නිතර නිතර උතුරට ගොස්‌ උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඇතුළු ප්‍රධානින් හමුවූයේ නිකම්ම නොවේ. එමෙන්ම දෙමළ ජාතික සන්ධාන නායකයෝද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ගෙන්වා කීපවරක්‌ම සාකච්ඡා පැවැත්වූ බව රහසක්‌ නොවේ.

ඇමරිකාව ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව සම්මත කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විශාල කාර්යභාරයක්‌ ඉටු කෙළේය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට සහාය පළකරමින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි කියෑවෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේදී සම්මත විය. එ

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ඇම්. ඒ. සුමන්දිරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරු ඉකුත් දිනවල දකුණු අප්‍රිකාව, බොට්‌ස්‌වානා, නැමීබියා යන රටවලට ගොස්‌ ඇමරිකානු යෝජනාව සම්මත කර ගැනීමට සහාය දෙන්නැයි එම රටවල නායකයන්ගෙන් ඉල්ලා තිබිණි. එම සන්ධානයේ එස්‌. ශ්‍රීධරන් මන්ත්‍රිවරයාද ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට ගොස්‌ ඇමරිකානු යෝජනාවට සහාය ඉල්ලා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 

 පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන්ට පූර්ණ සහාය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා, ඇමරිකානු යෝජනාව සම්මත වීමෙන් පසු මාධ්‍යවලට පවසා තිබිණි.


(ලිපිය උපුටා ගැනීම  2014/03/30  දිවයින ලැප්ටොප් සංග්‍රහයෙන්)

Tuesday, September 9, 2014

බන්දුල විතානගේ - අවර ගණයේ කලා කරුවෙක්



මැරුණු මිනිසුන් ගැන ගුණකථන කළ යුතුම ද? යි ලිපියක් W3 Lanka ලියන පැරකුම්  ලියා තිබිණි. එම ලිපියේ ඔහු බන්දුල විතානගේ නම් වූ කලා කරුවා ගැන මෙසේ ලියා තිබිණි."බන්දුල විතානගේ සාමකාමී, අහිංසක කලාකරුවෙකි. ඔහු සමාජයට කළ හොඳක් මිස වරදක් ගැන සිහිපත් වන්නේ නැත. "

මේ ලිපිය ලියන මාද සිතුවේ එසේය. බන්දුල විතානගේ යනු මා ඉතා ප්‍රිය කල කලාකරුවෙකි. එහෙත් පසු ගිය දා දිවයින පත්‍රයේ පල වූ ලිපියක් දු‍ටු මම මගේ අදහස වෙනස් කරගත්තෙමි. 
ඒ ලිපියට අනුව බන්දුල විතානගේ යනු අවර ගණයේ කලා කෘතී කල පහත් කලා කරුවෙකි. මේ ලියන්නේ එසේ මෙසේ කෙනෙක් නොව මහ ඇමති කෙනෙකුන්ගේ පෞද්ගලික සහකාර කෙනෙක් නිසා බොරුවක් වන්නට බැරිය
පහතින් ඇත්තේ ඒ ලිපියේ සේයා රුවකි. 



 සටහන- නොදන්නා කලාවක් හා කලාකරුවන් ලියන්නට  ගොස් මඩ නාගන්නවාට වඩා තමුන් දන්න සාස්තරේ, එනම් බඩ තඩි මහ ඇමති කෙනෙකුට දාස කම් ක්‍රමින් සිටීම හොඳ බව කණහැර ආරච්චි මහත්තයාට දැන්විය හැකි කෙනෙක් සිටී නම් ලොකු උදව්වකි.

Sunday, September 7, 2014

නික්ම ගිය දැවන්තයා



පරණ වමේ මුල් කාලීන නායකයන්ගේ විශේෂ ලක්ෂණයක් වූයේ ඔවුන් තමන් කරන අරගලය පිලිබඳව තැබූ විශ්වාසයයි. ඉහල මධ්‍යම පාංතිම්ක පවුල් වල්;ඉන් දේශපාලනයට පිවිසි ඔවුන්  නොයෙක් මාක්ස්වාදි නිකායන් වලට බෙදී සිටියත් තම අරගලය කෙරෙහි අවංක වූහ.පසු කාලීනව සංශෝධනවාදයේ හා සභාගවාදි ගොහොරුවේ ගිලී ගියත් ඔව්හු ලාංකීය වමේ ව්‍යාපාර වෙනුවෙන් ඔවුන් කළ සේවය අඩු එකක් නොවේ. එය වඩාත් කැපී පෙනෙන්නේ අද එම ඊනියා වමේ පක්ෂවල සිටින නායකයින් වැටී සිටින නරාවලේ තරම දෙස බලන විටය.

මේ සටහන එම පරණ වමේ සිටි අවසාන පතාක යෝධයෙක් වන පසුගියදා අප හැර ගිය බාලා තම්පෝ සහෝදරයා වෙනුවෙනි. ඔහුට සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට, අසාධාරණයට එරෙහිව සටන් වදින්නට පංගු පේරුවක් නොතිබිණි. ඔවුන්ගේ දේශපාලන මතය අනුමත නොකලද , 1971 අරගලයේ  විත්තිකරුවන් වෙනුවෙන් ඔහු නොබියව උසාවියේ පෙනී සිටියේ එබැවිනි.

ඔහු සැම විටම , අවසානය දක්වාම , සටන් කාමි විය. ජනාධිපති රාජපක්ෂ ඔහුට දෙන්නට හැදූ සම්මානය ප්‍රතික්ෂේප කරන්නට තරම් කොන්දක් වයස  අනූ ගනන්  වලදීත්  ඔහුට  තිබිණි.

ඔහුගේ දේශපාලනයෙන් තොර වෘත්තීය අරගල  නම් වූ  අදේශපාලනික හා සංශෝධනවාදි මතවාදය නොපිලිගත්තත් ලාංකීය වෘත්තීය සමිති ඉතිහාසය තුල ඔහු මහත් බල පෑමක්  කල සටන් කරුවෙකි.  ලංකාවේ වෘත්තීය සමිති  ව්‍යාපාරය තුල විශාල හිඩැසක් ඉතිරි කර යන බාලා තම්පෝ නම් වූ ඒ අනවරත අරගල කරුවාට අපේ ආචාරය.