Wednesday, January 14, 2015

සුමනදාස තොරතුරු ගත්තේ බුද්ධි අංශයෙන්ද, බුද්ධි අංශය තොරතුරු ගත්තේ සුමනදාසගෙන්ද?දෙගොල්ලොම ගත්තේ සිළුමිණෙන්ද?



1. සුමනදාස
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන 8 වැනිදා පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපන් නැකතින් පවතින ඉතාම සුබදායක ග්‍රහ තත්ත්වය අනුව එතුමා පහසු ජයක් ලබන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.

එදින උදේ එතුමා පිටත්වන සුබ මොහොතත් සමඟ ඉතාම බලගතු සුබ මොහොතක් එතුමාට යෙදෙන බවත් නමුත් පොදු අපේක්ෂකයාට මැතිවරණ දවසම අසුබ වනවාක් හැර උපන් නැකතේ වඳ නැකත එදින මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාට පවතින බවත් මේ අනුව මැතිවරණ දින ග්‍රහචාරය අනුව එදින උදෑසන 7 වනවිට ඔහුගේ ගජ මිතුරන්ගේ ඡන්දය පවා ඔහුට නොලැබී යාමට ඉඩ ඇත.

මේ අනුව මේ ජනාධිපතිවරණයේදීත් ස්ථිර වශයෙන් ම තම තුන් වැනි ධූර කාලය සඳහා ජනාධිපතිතුමා පහසු ජයක් ලබා ගනු ඇත. මීට පෙර‍ මෙතුමා ලැබූ ජයග්‍රහණ බීබීසී ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළාක් මෙන් ම මෙවරත් මෙරට ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකි එංගලන්තයේ සුප්‍රසිද්ධ ‘ද ‍එකොනොමිස්ට්’ සඟරාවේත්, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේත් පළවී ඇතැයි අබේගුණවර්ධන මහතා කීය.

ඕනෑම අභියෝගයක් ජයගත හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අභියෝගයත් වි‍ශිෂ්ට අයුරින් ජයගන්නා අතර දශක තුනක් පුරා පැවැති ලොව ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළා සේ ම මේ ජනාධිපතිවරණයේදී එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වන විදෙස් කුමන්ත්‍රණයත් එතුමා විශිෂ්ට අන්දමින් පරාජය කරනු ඇතැයි ද අබේගුණවර්ධන මහතා කීය.

2. බුද්ධි අංශය
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 59 ක ඡන්ද ප්‍රමාණයක් ලබා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වෙයි.මෙතෙක් පැවැත්වූ සියලු ම ජනමත සමීක්ෂණ වාර්තාවලින් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු වී ඇත.

බුද්ධි අංශ වාර්තා අනුව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට 39 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි පෙන්වාදී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල මෙන් ම නගරයේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය එකසේ රැඳී තිබෙන බවත් රටේ ස්ථාවර භාවය ආරක්ෂා කර මේ රටේ සංවර්ධනය වේගවත් කිරීමට නම් මේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව බහුතර ජනතාවගේ මතය වී තිබේ.

ලක්ෂ 10 ක් පමණ වන තරුණ ඡන්ද ප්‍රමාණයෙන් ද අතිවිශාල බහුතරයක ඡන්දය තමන් පිළිගත් නායකයා ලෙස ජනාධිපතිතුමාට ලැබෙනු ඇතැයි බුද්ධි අංශ වාර්තාව කියයි.

මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් සියයට 55.5 ක ප්‍රතිශතයක් ලබා ගන්නා බව දුරකථන මගින් පැවැත්වූ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කීය.

12000 ක් යොදාගෙන කරනු ලැබූ මේ සමීක්ෂණය අනුව ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙනු ඇත්තේ සියයට 38.96 ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ සමීක්ෂණයෙන් ලැබී ඇති තවත් දත්තයන් වන්නේ සියයට 5.99 ඡන්දය ප්‍රතික්ෂේප කරනු ඇති බව ය.

පන්දහසක නියැදියක් යොදාගෙන කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 53 ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය අත්කර ගන්නා බව තහවුරු කර ඇත.

මේ සමීක්ෂණයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගනු ඇතැයි සැලැකෙන ඡන්ද ප්‍රතිශතය සියයට 44 කි.

(උපුටා ගැනීම 2015.01.04 සිළුමිණ)

Tuesday, January 13, 2015

කෝ බැසිල් නෝ බැසිල්


පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා  චිත්‍රපට කීපයක්ම  සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන්  දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ..

1. කෝ බැසිල් නෝ බැසිල්

2. මාර පරාජය- ඓතිහාසික කතාවකි

3. ගෝටා හෝ මා හෝ රාජා හෝ-සම අධ්‍යක්ෂණය නානසාර

4. විමලේ දැන් පොඩි ලමයෙක්

5.  බැසිලුනි ඔබ කොහිද?

6. මැකෝට මල් මිටක්

7. විමලෙගේ උගුර මදි ඇඬුවා ඔබ සන්දා

8.ජොන්ස්ටන් සහ ගොන්සන්

9.තිස්සගේ දෛවය

10.කෝ යකුනේ ඡන්ද

Monday, January 12, 2015

උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි යහ පාලනේ



මෙතුවක් කල් මහින්ද රාජපක්ෂගේ දැත් ශක්තිමත් කරමින් සිටි කණ්ඩායමක් ඊයේ සහ අද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරියට පැමිණ ඇත.මොවුන් අතර මර්වින් සිල්වා , සරත් අමුණුඅගම, මනුෂ නානායක්කාර  වැනි දේශපාලන බංකොලොත් බවේ උපරිමයට ගිය උන්ද සිටී.

මෛත්‍රීපාල ගමන් කරන්නේ සැබෑ යහපාලනයකට නම් මොවුන් ගේ පැමිණීම ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. එහෙත් එසේ කළ විට දින සීයේ වැඩ සටහන සහ ඔහුගේ අනික් ක්‍රියාකාර කම් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය නොලැබේ.
 
එක අතකින්  යහපාලන පොරොන්දුවය.
 
අනිත් අතට පාර්ලිමේන්තුවේ තම බලය රඳවා ගැනීම සඳහා අවශ්‍ය බහුතරය ලබා  ගැනීමය.
 
මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද ද තවමත් ගේම අත හැර නැති බව පෙනේ. ඔහුට බලය නොමැතිව ජීවත් වීමට නොහැකිය. ඡන්ද දා රාත්‍රියේ ඔහු කුම්න්ත්‍රණ දෙකක්ම දියත් කළේ එබැවිනි. කිහිපදෙනෙකුන්ගේ මැදිහත් වීම නිසා එය වැලකී ගියද ඔහු අනාගතයේ දී නැවත  එවැනි දේ සඳහා උත්සාහ කරනු ඇත.
 
මෛත්‍රීපාල  වටා සිටින්නේ නොයෙක් මතවාදයන්හි එල්බ ගත් කණ්ඩායම් ය. මේ දක්වා ඔවුන් කළමණාකරනය කර ගැනීමට හැකි වුවද ඉදිරියටත් ඒ තත්වය පවත්වාගෙන යා හැකිදයි අවිශ්වාසය.
ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තු  බහුතරය නොලැබුණොත් මහ මැතිවරණයකට යා හැකි වුවද මේ අවස්ථාවේ එයද එතරම් හොඳ තීරණයක් නොවන්නේ එවිට මහින්ද රාජපක්ෂට ද නැවත  ශ්‍රීලනිපය තුලින් බලය ලබා ගැනීමට ඉඩ කඩක් විවර වන බැවිනි.
 
විශේෂයෙන් රටේ දකුණු පලාත් වල රාජපක්ෂට තවමත් බහුතර ඡන්දය ඇති අතර උතුරු නැගෙනහිර චන්ද, වෙනම තරඟ කිරීමකදී මෛත්‍රීට හෝ යූ ඇන් පියට නොලැබෙනු ඇත්තේ ඒවා දෙමළ සංධානයේ චන්ද බැවිනි.
 
මේ අනුව කළ යුතු හොඳම දේ වනුයේ ආණ්ඩුවෙන් කෑලි ගලවා ගෙන පාර්ලිමේන්තු බහුතරය සදා ගැනීමයි ආණ්ඩුවද ඊනියා යහපාලන කතා පසෙකින් තබා කිරීමට උත්සාහ කරන්නේ එය බව පෙනේ. නො එසේනම් සෝමරත්න දිසානායකලාට සභාපති කම් හිමිවන්නේ නැත..සෝමරත්න ලා සමග මොන යහපාලනයක්ද?





Saturday, January 10, 2015

මෛත්‍රීපාල ගේ ජයග්‍රහණය ඇත්තක්ද?


මෙවර ජනපතිවරණයෙන් රටට ලැබුණු වඩාත්ම ධනාත්මක ඵලය කුමක්දැයි කිසිව්කු මගෙන් ඇසුවහොත් මා නිසැකවම කියන්නේ නක්ෂත්‍ර කරුවන්, ජ්‍යෝතිෂ්‍ය කරුවන් හා කෙන්දර කරුවන් ඇතුලු මිත්‍යාමත වපුරන්නන් ගේ බොරුව හෙලිදරව් වීම හා ඔවුන් රටේ ජනතාවගේ සමච්චලයට ලක් වීම බවයි. 

පවතින දේශපාලන තත්වයන් උඩින් පල්ලෙන් අතගා බලා හා පාලකයින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි අමු බොරු ඇද බාන මෙම වංචනිකයන් රොත්තට යම්තම් හෝ සාමාන්‍ය දැනීමක් තිබුනේනම් මෙවර චන්දයෙදී මහින්ද රාජපක්ෂ දිනන බවට තම ජීවිත ඔට්‍ටු අල්ලන්නේ නැත . 

එහෙත් රටේ ජනතාව හැසිරුනේ ඊනියා ග්‍රහ තාරුකා වලට අවශ්‍ය පරිදි  නොවේ. 

එම නිසා මෙතෙක් කල් මෙම බොරුකාරයින් රොත්ත කලේ සාමන්‍ය ජනයාට පවා තේරෙන ඇත්ත ඊනියා  නක්ෂස්ත්‍ර විද්‍යාවෙන් සොයා ගත් දෙයක් යැයි පවසමින් රට හමුවේ තැබීමයි. ඉන්පසු ඔව්හු එම අනාවැකිය හරි ගිය පසු ලැබෙන කීර්ති නාමය විකුණමින්  අන්ධ භක්තික අහිංසක මිනිසුන්ගේ මුදල් කඩා ගත්තේ කෝටිපතියන් බවට පත් වූහ. 

මේ රටේ ජනතාවට මොලයක්  ඇත්නම් මීට පසුවවත් මෙවැනි ගර්හිත අවිද්‍යාවන්  පසුපස නොයා යුතුය.

එහෙත් කවුරු දනිත්ද? මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු නොව.

පහතින් දැක් වෙන්නේ ජනවාරි මුල් සතියේ දිනක දිනමිණ පත්‍රයේ පල වූ අනාවැකියකි. අනාවැකි කරුවා අන් කිසිවෙක් නොව අප රටේ ජාතික වීරයෙක් වන ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධනය.

මේ අනාවැකිය අනුවනම් මෛත්‍රීපාල සිරිසේනට  කෙසේවත් මේ රටේ ජනාධිපති විය නොහැක. 



ජනපති ජය නියතයි 8දා ප්‍රබලම ග්‍රහ තත්ත්වයක්

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී
සුමනදාස අබේගුණවර්ධන

නිදහසින් පසු බිහි වූ රාජ්‍ය නායකයන් අතරින් මහා බලගතු ග්‍රහ තත්ත්වයක්  හිමි ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම ඒකාන්ත බව ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, ඉන්දියන් එක්සලන්සි සම්මානලාභි දේශබන්දු සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ ගත කරන වේලාව ඉතාම සුබ අවස්ථාවක් බවත් එතුමා ගත කරනුයේ පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගත කළ ග්‍රහ තත්ත්වයන්ට වඩා ප්‍රබල ඉතාම සුබදායක ග්‍රහ අවස්ථාවක බවත් ඒ මහතා පැවැසුවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ග්‍රහ තත්ත්වයන් අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි තත්ත්වයක් බවත් හෙතෙම කීය.

ඔහු මෙසේද ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා උපන් නැකත අනුව මැතිවරණ දින වන 8 වැනිදා පවතින නැකත පරම මෛත්‍රී ගණයට අයත් වෙනවා. ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි මහා අනුහස් බලය ලබා දුන් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 11 වැනි කොටුවේ ඉතාම බලගතුව උච්චව ගමන් කරනවා. එසේම ඒ මහතාගේ ජන්ම පත්‍රයේ 11 වැනි කොටුව අධිපති සඳු එම 11 වැන්නේම ස්වක්ෂේත්‍ර බලයෙන් සිටිනවා. එය ඉතා බලගතු ග්‍රහ යෙදුමක්.

මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම ඡන්දය දැමීමට යන මොහොතේ වෙනත් කිසිදු අපේක්ෂකයකුට නොලැබුණු ආකාරයෙන් එතුමාගේ පක්ෂියා වන භේරුණ්ඩ පක්ෂියාත් රජ අවස්ථාවේ පසුවෙනවා. මේ මැතිවරණය සඳහා නිවේදනය නිකුත් කළ දින පැවැති ග්‍රහ තත්ත්වයන්ද, නාම යෝජනා බාර දුන් අවස්ථාවේ පැවැති ග්‍රහ තත්ත්වයන් ද අනුව එතුමාගේ පක්ෂියා රජ අවස්ථාවේ පසු වුණා. 

අනෙක් කිසිදු අපේක්ෂකයකුට මෙවැනි ග්‍රහ තත්ත්වයක් යෙදී නැහැ. මේ සියලු කාරණාවන් සලකා බලන විට මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

Friday, January 9, 2015

මෛත්‍රීගේ පොරොන්දු දේශය


අපි බොහෝ දෙනෙකුන්ගේ ප්‍රාර්ථනා ඉ‍ටු වෙමින් මහින්ද රාජපක්ෂ පරාජය වී ඇත. ජයග්‍රාහක මෛත්‍රීපාල සිරිසේනගේ ඉදිරිගමන ගැන අනාවැකි දැන්ම පැවසිය යුතු නැත. කෙසේ වුවත් ඔහු පොරොන්දු වූ පරිදි තාවකාලික සහන හෝ ජනයාට ලැබෙන්නේ නම් හොඳය.

මැතිවරණ ප්‍රථිඵල දෙස බැලීමේදී පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ මෛත්‍රීපාලගේ ජයග්‍රහණයට මූලික වශයෙන්ම දායක වී ඇත්තේ දෙමල මුස්ලිම් සුළු ජාතින් දෙකත් නගර වල වෙසෙන උගත් සිංහලයිනුත් බවයි.

ගම් වල වෙසෙන සිංහල බෞද්ධයින් තව දුරටත් තමන්ව මෙහෙයවන්නට අයි. ටී.ඇන් හා දිනමිණටත්, වීරවංශ හා ඩලස් බඳු වාචාලයන්ටත් ඉඩ දී තිබේ.කළගුණ දැක් වීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධන මායාවෙන් ඔවුන් මුලා  වී සිටිති.  ඔවුන් ආමන්ත්‍රණය කර ගත නොහැකි වීම විපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ තිබූ ප්‍රධානම දුර්වල කමයි.  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල විපක්ෂ අපේක්ෂකයාට  ඉතා සීමි ඉඩක් ලැබීම එයට එක් හේතුවකි.

එහෙත් එම අඩුව  සමාජ මාධ්‍ය හරහා පුරවා මෙවර ඡන්දයේ ගාමක බලවේගයක් වූ මිලියනයක් පමණ වූ අලුත් ඡන්දවලට ආමන්ත්‍රණය කිරීමට විපක්ෂ  ක්‍රියාකාරින්ට හැකි වීමත් ජයග්‍රහණයට සාධකයක් වූ බව පෙනෙන්නට තිබේ. එය නම් ෆේස්බුක් තිබෙන්නේ ෆන් ගන්නට යැයි කියු තරුණියට හා ඇය ලවා එය කියවූ  උන්ට ලැබුණු අතුල් පහරක් බඳුය.

මෙය ඉදිරි මැතිවරණ වලදී සමාජ මාධ්‍ය වලට හිමි තැන පිලිබඳව ද ඉඟියක් සපයයි.

තව දුරටත් තමන්ව අමතක කර ජාතික මැතිවරණ වලින් කිසිවෙකුටත් ජය ගත නොහැකි බව දෙමල හා මුස්ලිම් ප්‍රජාව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එය මෙම මැතිවරණයේ ප්‍රධාන පාඩමයි.  මෙරට දේශපාලකයින්  එය ඉගෙන ගනීවිදැයි අප නොදනිමු. 

මේ කරුණ පිලිබඳව තැකීමක් නොකර ඥාණසාර බඳු තක්කඩින් පසුපස යන කවර දේශපාලකයාටත් අත් වන්නේ මහින්ද රාජපක්ෂගේ ඉරණමයි.


Wednesday, January 7, 2015

ඔබේ තීරණය කුමක්ද?

කිරි උතුරන පවුලක්
යුද්ධය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැරුනු විට රාජපක්ෂලාගේ ලොකුම කයිවාරුව සංවර්ධනයයි. ඔවුන් මේ සඳහා අත දිගු කර පෙන්වන්නේ නැව් නැති වරායන්, ගුවන් යානා නැති ගුවන් තොට, නාට්‍ය නැති රඟහල්, මිනිසුන් හෝ ‍රැස්වීම් නැති සම්ම්න්ත්‍රණ ශාලා , පැයට කි.මී සීයටකටවත් යා නොහැකි අධිවේගී මාර්ග, හැදූ දා සිට අලුත් වැඩියා කරන මහාමාර්ග හා කිසිම කමකට නැති නෙලුම් කුළුණු ආදියයි.

සංවර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ රටක ජනතාවට කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ක්‍රියාවලියකි. එහෙත් රාජපක්ෂලාගේ ඉහත දැක් වූ සංවර්ධනයෙන් මෙරට අති මහත් බහුතරයක් වූ දුගී ජනතාවට අත් වී තිබෙන  සෙත කවරේද?

මෙම නිශ්පල ව්‍යාපෘති සඳහා ගිනි පොලියට ලබා ගන්නා ණය හා පොලී ගෙවීම සඳහා ඔවුන්ගේ කිරිපිටි ටිකෙන්, පැට්‍රල් හා භූමි තෙල් ලීටරයෙන් , සීනි 250න්, පරිප්පු සීයෙන් ගෙවීමට  සිදු වීම හැර අන් කුමක්ද? 

රාජපක්ෂලාගේ ලොකුම ආඩම්බරය නගර අලංකරණයයි. මේ වෙනුවෙන් ඔවුන් පරම්පරා ගණනාවක් ජනයා ජීවත් වූ නිවාස වලින් පලවා හරිමින් සිටිති. තමන් සිටි නිවාසද අහිමි වූ ජනයා කුකුල් කූඩු බඳු තට්‍ටු නිවෙස් තුලට ගාල් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමටද බල කරනු ලබමින් සිටිති. රාජපක්ෂලාගේ සංවර්ධනය එයයි.

රාජපක්ෂලා කොළඹ නගරය අලංකාර  කරමින් සිටින අතර  ඈත ගම් වල සිසු දරු දැරියන් වැල් පටවල එල්ලී ගංගා තරණය කරමින් වල් අලි ප්‍රහාර මැද පාසල් යති. ව්‍යායාම මං තීරු වලට රුපියල් කෝටි ගණන් වියදම් කරද්දී රජරට ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් ලේ පීරිසිදු කිරීමේ යන්ත්‍ර හිඟකම නිසා හා ඖෂධ නොමැතිකමෙන් මිය යති. 

රාජපක්ෂලාගේ අධිවේග මාර්ග හැදීමට හා නඩත්තුවට  තම  හාල් සේරුවෙන්, කිරි පිටි ටිකෙන්, අල ගෙඩියෙන්, පරීප්පු ටිකෙන් බදු ගෙවන  දුප්පතුන්ට තම යතුරු පැදිය හෝ ත්‍රී රෝද රථය ඇතුලු කිරීමට අවසර නැති වීම රාජපක්ෂ සංවර්ධනයේ සැබෑව හෙලිදරව් කරයි. 

මෙවැනි නාස්තිකාර, ජනතාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරන , පාලක කල්ලිය අති විශාල ලෙස කොමිස් ගසමින් මඩි තරකර ගන්නා ඊනියා සංවර්ධනයයට තව දුරටත් ඉඩ දෙනවා ද යන්න අප ජනවාරි අට වෙනිදාට තීරණය කළ යුතුව තිබේ.

ඔබේ තීරණය කුමක්ද?
එක රොටියක් බෙදා ගෙන කන පවුලක්


Tuesday, January 6, 2015

ජාත්‍යන්තර කුමන්ත්‍රණ ! බම්බුව තමා( මහින්දට චන්දය නොදිය යුත්තේ ඇයි-3)



මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු යැයි ඉතාමත් දැඩි සේ සිතා සිටින ශ්‍රී ලාංකිකයින් අතර මමද සිටිමි. ඒ මෛත්‍රීගේ ඇති විශේෂ හොඳක් නිසා නොව මේ ලොව කිසිම පාලකයෙක් මහින්දට වඩා නරක විය නොහැකි බැවිනි. 

ඉතින් මෛත්‍රී නරක වුවත් මේ රටේ මිනිසුන්ට හොඳ හුස්මක් අල්ලා ඉතිරිය පටන් ගත හැකි බව මම මී ට පෙර කීවෙමි. එසේම තවමත් මහින්දට චන්දය දීමට සිතා සිටින අයවලුන්ට ඔහු තම මැතිවරණ ව්‍යාපාරය කර ගෙන යන අන්ත සදාචාර විරෝධී ක්‍රමය දෙස බලන්නැයිද ඉල්ලා සිටියෙමි.

මඩ , අල්ලස ,මැර බලය හා රාජ්‍ය දේපල අව භාවිතය හැරුණු විට මහින්දගේ චන්ද සටනේ ප්‍රධානම තුරුම්පුව වන්නේ යුද්ධ ජයග්‍රහණය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධනයයි. රාජපක්ෂගේ  යුද්ධය ගැන අප මීට පෙර ලිපියෙන් කීවෙමු.

රාජපක්ෂ/වීරවංශ ඇතුලු කල්ලිය කියන පරිදි ඇමෙරිකානුවන් හා යුරෝපීයන්ට මහින්දගේ රජය පෙරලීමට කුමන්ත්‍රණ කිරීම හැර වෙනත් කිසිම වැඩක් නැත. ඒ රටවල නායකයන්ගේ සිට අත දරුවන් දක්වා සියලු දෙනා උදේ ඇස ඇරි මොහොතේ පටන් නින්දට යන තෙක් කල්පනා කරන්නේ මහින්දගේ ආණ්ඩූව පෙරලා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නේ කෙසේ ද යන්නයි.

රාජපක්ෂ තෙමේමත් වීරවංශ ඇතුලු ඔහුගේ ගිරා පෝතකයිනුත් පුන පුනා කියන්නේ මේ කුමන්ත්‍රණ පැරදවීමට නම් ඔවුන්ට බලය දිය යුතු බවයි.

අපි නිකමට මොහොතකට සිතමු මේ කියන ආකාරයේ කුමන්ත්‍රණයක් ඇත්තටම පවතිනවා යැයි කියා. එනම් මෙම බටහිර  රටවල  වෙසෙන්නවුන්  ‍ රැ දවාලක් නැතිව ලංකාව අස්ථාවර කිරීමට කැස කවන වා යැයි කියන කතාව ඇත්ත බව.

එසේ නම් කළ යුත්තේ මොනවාද? රා බී ගත් ගමේ චණ්ඩියෙකු ලෙස කුණුහරුප කියමින් කෑ ගැසීමද? 

නැතිනම් එසේ ඔවුන් මෙරටට මැදිහත් වන හේතු සොයා ඒවා විසඳා සැබෑ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් කර එම උත්සාහයන් පැරදවීමද? ඔවුන්ට අප රටට අත පෙවීමට පසුබිම සකස් කරන මානව හිමිකම් අහිමි කිරීම  , සීමා කෙරෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු වලට සැබෑ විසඳුම් දීම නොවේද? 

අනික් අතට ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන විට ඊට එරෙහිව කටයුතු කල යුත්තේ. කල හැක්කේ ඊට මනා සේ පුහුණු කළ විනය ගරුක විදේශ සේවයකින්   මිස මත් පැන් බී එකිනෙකා මරාගන්නා කසඩ රස්තියාදු කාරයින්ගෙන් හා නූගත් ඥාතින්ගෙන් පිරවූ විදේශ සේවයකින්ද? රාජපක්ෂගේ විදේශ සේවය එබඳුය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීම කෙසේ වෙතත් ඒවා ඇති කිරීමට නම් ඔවුන්ට හැකිය.  

එසේ නම් අප තව දුරටත් මෙවැනි රස්තියාදුකාර නඩ නඩත්තු කිරීමට අප රටේ ධනය නාස්ති කිරීමට රාජපක්ෂලාට ඉඩ දෙනවාද? 

මම  නම් ඉඩ නොදෙමි. 

ඔබ....?

Monday, January 5, 2015

මහින්දට චන්දය දෙන්න මට පිස්සුද ඕයි? (මා මහින්දට චන්දය නොදෙන්නේ ඇයි?-2)


මහින්ද රාජපක්ෂ තම ජනාධිපතිවරණ  ව්‍යාපාරය මෙහෙයවන අතිශය දූෂිත  හා නින්දිත ආකාරයම ඔහුට චන්දය නොදී සිටීමට ප්‍රමාණවත් යැයි මම මීට පෙර ලිපියේදී කීවෙමි. 

එසේ නම් ඔහු මේ මැතිවරණ ව්‍යාපාරය ඉතා  ධාර්මික හා යහපත් ලෙස කළේ නම් අපි ඔහුට චන්දය දිය යුතුද?

ඔහුගේ අනුගාමිකයන් කියන්නේ අප ඔහුට චන්දය දිය යුත්තේ සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා යුද්ධය දිනා , රට සංවර්ධන කරන නායකයෙක් නිසාලු. 

ඔවුන්ම කියන පරිදි යුද්ධය දැන් අවසන්ය. එසේ නම් තවත් යුද්ධය ගැන කතා කුමකටද? යුද්ධ කළ නායකයෙක්  නැවත පත් කර ගන්නේ කුමකටද? රටේ දකුණේ  ජනතාව සමග ( උතුරේ ජනතාව සමග කලා මෙන් ) යුද්ධ කිරීමටද? 

ඔව්, එයනම් රාජපක්ෂ ලා කදිමට කර ගෙන ආවේය. ක‍ටුනායකදී අරගල කළ කම්කරුවන්ට වෙඩි තබා මරා දැම්මේ මේ මහා ජනතා පුත්‍රයාය. රතුපස්වලදී ජලය ඉල්ලු ජනතාවට වෙඩි තමා මරා දැම්මේත්   ඒ මහා සංවේදී නායකයාමය. ඉන්ධන සහනාධාරයක් ඉල්ලා හඬ නැගූ ධීවරයින්ට වෙඩි තැබුවේත් ඔහුම නොවේද?  සාමකාමි දේශපාලනයක නිරත වී සිටි ලලිත් හා කුගන් යන තරුණ වාමාංශිකයන් දෙදෙනා අතුරුදහන් කලේද ඒ ජනමූල නායකයාමය. එපමණ්ක් නොව ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ,...මේ ලැයිස්තුව තව දිගය. ඔව් ඔහුට නම්  යුද්ධය තවම නතර වී නොමැත. අපි ඔහුට චන්දය දිය යුත්තේ මේ යුද්ධය තව දුරටත් කරගෙන යාමටද? 

නැත මහත්වරුනි මම නම් මහින්දට චන්දය නොදෙමි. ඔබෙනුත් නොදෙන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

එසේත් නැතිනම් අප ඔහුට චන්දය දිය යුත්තේ ඔහුගේ ගෝල බාලයින් කියන පරිදි යුද්ධය දිනා දීම නිසා කළ ගුණ දැක්වීමටද?

මෙයනම් අතිශය පසුගාමි වැඩවසම් යුගයට අයත් දේශපාලන තර්කයකි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් තුල අප මහජන නියෝජිතයන් පත් කරගන්නේ ජනතාවට සේවය කිරීමට මිස දේශපාලකයින්ට ඊනියා කළගුණ දැක්වීමට නොවේ. 

කළගුණ දැක්වීමටම අවශ්‍ය නම් ඔහුට උපහාර උත්සවයක් පැවත්වීම හෝ සමරු තිළිණයක් දීම හෝ වෙනත් එවැනි දෙයක් කළාට අපට කම් නැත. එහෙත් කළ ගුණ සැලකීමට මුලු මහත් රටක්, මෙවන් ඒකාධිපතියෙකුට භාර දීම. එයනම් ශිෂ්ඨසම්පන්න ලෝකයකට සිතාගත නොහැකි තරම් පසුගාමි වැඩකි.

අනිත් අතට කළගුණ සැලකිය හැකි එකම ක්‍රමය මෙය නම් දැනටත් මේ රටේ ජනතාව ඔහුට ඇතිවන්නට කළ ගුණ සලකා තිබේ.  බහුතරයක් ජනතාව කුසගින්නේ සිටිද්දි, රටේ දරුවන්ගෙන් බහුතරය මන්දපෝෂණයෙන් පෙලෙද්දී රාජපක්ෂ පවුල මහජන මුදල් මහා පරිමාණයෙන් තම සුඛ විහරණයට යොදා ගනිමින් සිටිති. ජනධිපතිවරයාගේ දිනක වියදම රුපියල් කෝටි දෙකකට අධිකය. 
හුගේ පුතුන්ද තම අධි විනාශකාරි දිවි පෙවෙත උදෙසා මහජන මුදල් පමණක් නොව තම පියාගේ බලපරාක්‍රමයද රිසි සේ භාවිතා කරති. නගර වසා මෝටර් රථ රේස් පවත්වන්නේ ඊට එරෙහිව එන විරෝධය තුට්‍ටුවකට නොගෙනය. ඔව්හු කෝටි ගණන් වටින අශ්වයින් , මෝටර් රථ හා හෙලිකොප්ටර් වල හිමිකරුවන් බව කියවේ. 

ඉන්ධන සහනාධාරයක් ඉල්ලා හඬන ධීවරයින්ට වෙඩි තබන ආඩම්බරකාර තාත්තාගේ පුතුන් අග නගරය වසා  නයිට් රේස් පවත්වති. ඔහුගේ බාල  පුතා අභ්‍යවකාශගාමියෙක්  වෙන්නෙමියි  වහසි බස් දොඩද්දී ඔහු තම අයිතිවාසිකම් ඉල්ලන සිසුන්ගේ හතර හන්දි කැඩෙන ලෙස පොලිසිය ලවා පහර දෙවයි.

අප මහින්ද රාජපක්ෂ නැවත පත් කළ යුත්තේ මේවා සියල්ල මෙලෙස තව දුරටත් කරගෙන යාමටද? මේ අශීලාචාර පවුල් පාලනයට අසීමිත කාලයකට මේ රට භාර දිය යුත්තේ අපේ දරුවන්ට මන්දපෝෂණය හා වෙඩි උණ්ඩ හිමි කර දීමටද?

නැවතත් මම කියමි. මගේ චන්දය මහින්ද රාජපක්ෂ පාලනය නිම කිරීමටය. ඔබටත් එසේ කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

Sunday, January 4, 2015

මා මහින්දට චන්දය නොදෙන්නේ ඇයි?



වහෙන් ඔරෝ කථා වැඩක් නැත. මම මහින්දට චන්දය නොදෙමි. ඔබෙනුත් නොදෙන්නැයි ඉල්ලා සිටිමි. මහින්දට චන්දය නොදී වෙන කාට දුන්නත් මට කම් නැත. එහෙත් මහින්ද  රාජපක්ෂ වෙනුවෙන් ඔබේ චන්දය භාවිතා නොකරන මෙන් මම ඉල්ලා සිටිමි.

මම මහින්දට චන්දය නොදෙන්නේ ත් ඔබෙන්  මහින්දට චන්දය නොදෙන මෙන් ඉල්ලා සිටින්නේත් ඇයි.

 ඔහුගේ රජය හොර බොරු නැති, වංචා දූෂණ නොකළ, රට සංවර්ධනය කරන , එතනෝල්, මත් කුඩු, පුත්‍ර සමාගම් සහෝදර සමාගම් නැති රජයක් යැයි නිකමට මොහොතකට හිතමු. 

ඒ සියල්ල එසේ තිබුණත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පවත්වා ගෙන යන නිර්ලජ්ජී, ජඩ, නින්දිත සදාචාර විරෝධී ආකාරයම ඔහුට විරුද්ධව චන්දය භාවිතා කිරීමට ප්‍රමාණවත්ය.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සහමුලින්ම පදනම් වී පවතින්නේ අල්ලස් හා මඩ මතය. අල්ලස් දීම සඳහා හා ප්‍රචාරණය සඳහා රාජ්‍ය දේපල නිර්ලජ්ජී ලෙස යොදා ගනිමින් සිටියි.

මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ධනය චන්ද දායකයින් අතර බෙදා දීම ඔහු පටන්ගත්තේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමටත් ප්‍රථමය. 

දිනපතා ජනතාව 5000 ක් දෙනා බැගින් ඔහුගේ බලෙන් අල්ලා ගෙන සිටින නිල නිවසට කැඳවා මහජන මුදලින් ඔවුන්ට  දන්සැල් පැවත්වීය. එම ජනයාට ප්‍රවාහනය සඳහා වියදම් කලේත් මහජන මුදල්ය.

ඊ ලඟට ඔහු සිල් රෙදි, ඔර්ලෝසු , සාරි දස දහස් ගණනින් බෙදීම කළේය. මහජන මුදල් තම පෞද්ගලික බූදලයක් ලෙස ගනිමින් ‍තෝරාගත් පිරිස් වෙත නොයෙක් වරදාන , වැ‍ටුප් වැඩි වීම්, යතුරු පැදි ඇතුලු නොයෙක් අල්ලස් ලබා දුන්නේය.

එසේම ඔහු මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් අති දෑවන්ත කටවුට් අඩියෙන් අඩියට සවි කල අතර තවමත්  ඒවා දැකිය හැකීය.

රාජ්‍ය දේපල අවභාවිතාව සඳහා ඔහුට සීමා නැත. කොතැනක මැතිවරණ ‍රැස්වීමක් පැවත්වූවත් රටේ හතර දිග් භාගයේ සිට ලංගම බස් යොදවමින් නොමිලේම තම හෙංචයියන් ප්‍රවාහනය කරන්නේ පොදු මහජනයා මුහුණ පාන කරදර ගැන අබමල් රේණුවක් වත් තරම්  නොතකාය.තමන්ගේ ‍රැස්වීම් වෙනුවෙන් එසේ ජනයා අදින ඔහු විපක්ෂයේ ‍රැස්වීමක් පවතිනදාට සියලුම ලංගම බස් ඩිපෝ වලට ගාල් කර තබනවාට අමතරව පෞද්ගලික බස් සේවාද මැර තර්ජන යොදා නවත්වයි.

රූපවාහිනිය, අයි ටී එන් රජයේ ගුවන් විදුලි නාලිකා හා ලේක්හවුසිය අමු අමුවේම මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නේ පුවත් පත් කලාවේ හා දේශපාලනයේ සියලු ආචාර ධර්ම කෙලෙසමින් විපක්ෂ නායකයින්ට මඩ ප්‍රහාර එල්ල කිරීමටත් තමන්ගේ නැති වූ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමටත්ය. බොහෝ පෞද්ගලික මාධ්‍ය ද එක්කෝ බියගන්වා එසේ නැතිනම් වරදාන මගින් හෝ තම අතවැසියන් යොදවා මිලට ගැනීම තුලින් අවනත කර ගෙන සිටින රාජපක්ෂ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂක මෛත්‍රිපාලට  මහා මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින්නේ ලොව සියලු සදාචාර නීති වලට එරෙහිව කුඩා ළමයින් පවා යොදා ගෙනය.

මේ සියල්ල කර ඒත් අසමත් ව සිටින ඔහු දැන් ප්‍රතිවාදින්ට ශාරිරිකව පහර දෙන තැනට වැටී තිබේ. විපක්ෂ කාර්යාල වලට හා වේදිකාවලට ගිනි තබමින් ආරම්භ කළ මේ මැර ක්‍රියා දැන් විපක්ෂ ආධාර කරුවන්ට , හා අපේක්ෂකයින්ට පහර දීම දක්වා උත්සන්න කර තිබේ.  

තම මැතිවරණ ව්‍යාපාරය මෙලෙස අන්ත මැර , ප්‍රජාතන්ත්‍ර විරෝධී , ලැජ්ජා විරහිත, තුච්ඡ,හා වනචර ආකාරයට පවත්වා ගෙන යන පුද්ගලයෙකු වෙනුවෙන් තම චන්දය භාවිතා කළ හැක්කේ ඊටත් වඩා වනචරයෙකුට හෝ මන්ද බුද්ධික අයෙකුට පමණි.

එසේ නම් මේ මැතිවරණය යනු ඔබ වනචරයෙක් හෝ මන්දබුද්ධික්ලයෙක් නොවන බව පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය.  රටේ බහුතරයක් එවැන්නන් නොවන බවට ලෝකයට පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය. එනම් මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි අට වෙනිදා ඡන්දයෙන් පරාජය කළ යුතුය.


Saturday, January 3, 2015

පොඩි එකාගේ දේශපාලනය



-පුතේ මේං උඹේ පංතියේ එල්ලන්න කැලන්ඩරයක්, අරං ගොහින් ටීචර්ට දීපං

-අනේ එපා තාත්තේ, අපේ පංතියේ එල්ලන්නේ මහින්ද කැලන්ඩර්

-මොකක්, ඒ කොහොමද? කොහෙන්ද මහින්ද කැලන්ඩර්

-ඇයි අපේ ඉස්කෝලේ හැම පංතියකටම මහින්ද කැලන්ඩර් ආණ්ඩුවෙන් එවනවානේ

-ඒකත් එහෙමද? ඒත් මේ අට වැනිදායින් පස්සේ මහින්ද කැලන්ඩර් අයින් කරයිනේ, ඒ නිසා මේක අරං තියා ගනින් එතකොට පංතියේ එල්ලන්න

-ඒ මොකෝ තාත්තේ මහින්ද කැලන්ඩර් අට වැනිදා අයින් කරන්නේ

-ඇයි එදාට චන්දෙන් මහින්ද  මහත්තයා  පරද්දලා මෛත්‍රී මහත්තයා දිනනවනේ

-එතකොට මෛත්‍රී මහත්තයා එයාගේ කැලන්ඩරයක් එවයිනේ, තාත්තාම ඕක තියාගන්න

-අනේ පලයන් බං යන්න උඹයි මායි දන්න දේශපාලනේ, පල ගොහින් ශිෂ්‍යත්වෙට පාඩම් කරපන්

Friday, January 2, 2015

රට බේරා ගත් සැබෑ යුග පුරුෂයා කවුද?

මේ රට මහා විනාශයකින් බේරා ගත් මහා යුග පුරුෂයා කවුද?

ඔහු සරත් ෆොන්සේකාද?

මහින්ද රාජපක්ෂද?

මෛත්‍රීපාල සිරිසේනද?

චම්පික රණවකද?

අතුරලියේ රතනද?

එසේත් නැත්නම් විමල් වීරවංශ  ද?

දේශහිතෛෂී සංවිධානයේ වසන්ත බණ්ඩාරද?

බොබසේ ඥාණසාරද?

කරුණා අම්මාන්ද? කේ පී ද?

දැනට පෙනෙන්නට තිබෙන තත්වය අනුව නම් මේ කිසිවෙක් නොවේ.

ජනවාරි අට වෙනිදා බොහෝ විට මේ පුද්ගලයා ජාතික වීරයෙක් වශයෙන් අභිෂේක කරනු ඇත.

ඔහු අන් කිසිවෙක් නොවේ. මේ ඡායා රූපයේ සිටින පුද්ගලයාය.


ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෛවඥයා වන සුමනදාස අබේ ගුණවර්ධන ය. තව වසර දෙකක් කිසි කරදරයක් නැතිව රට පාලනය කරන්නට ඉඩ තිබු මහින්ද රාජපක්ෂව ජනාධිපතිවරණයකට ඇද දමූයේ ඔහුය. ඉතිරිය චන්ද දායකයින්ට භාරය. 

මොකද කියන්නේ සුමනදාස ව ජාතික වීරයෙක් කරමුද?

Thursday, January 1, 2015

වීරවංශ ; වීරයාගේ සිට ද්‍රෝහියා දක්වා සිතියම සැකෙවින් !



රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින මුර බල්ලා බවට පත්වෙමින් - රාජපක්ෂ විරෝධී කඳවුර වෙත විවිධාකාරයෙන් බුරා පනින විමල් වීරවංශ පිළිබඳව බොහෝ සටහන් තැබෙන අතරවාරයේ මෙබන්දක් ලිවීම අවශ්‍යයැයි හැඟී ගියේය. සැබවින්ම විමල් වීරවංශ යනු කවුද ? ඔහුගේ දේශපාලන ගමන අපට `උගන්වන` යමක් ඇත්ද? ඒ කුමක්ද? පක්ෂයේ සිටි අති දක්ෂම ප්‍රචාරක ලේකම්වරයා, ඉතිහාසයේ නින්දිතම තුච්ජම්තම ද්‍රෝහියා තෙක් පැමිණීමේ දේශපාලන සිතියම කෙබඳුද? වීරයා සහ ද්‍රෝහියා අතර වෙනස නිකම්ම නිකම් සාහිත්‍යමය `කෙස් ගසක්` පමණක්ද? එහෙමත් නැත්නම්, අප නොදකින හෝ දකින්නට අකමැති වෙනත් කලාපයක පවතින සහමුළින්ම දේශපාලනික හේතුවක්ද?

විමල් වීරවංශගේ විවේචකයන් බහුතරයක් ඔහුගේ `පෙළපත්නාමය` ප්‍රශ්න කරයි. සත්‍ය වශයෙන්ම `වීරසංගිලි පනික්කියලාගේ` යනුවෙන් වාසගමක් ඔහුට ඇත්දැයි මම නොදනිමි. එය එසේ වුවත් එහි ඇති ප්‍රශ්නයක් නැත. (අනෙක් අතට - වීරවංශගේ සත්‍ය පෙළපත්නාමය වීරවංශ ම යැයි සිතමු. එසේ හෙයින් ඔහුගේ දේශපාලන වියරුව `හොඳ` වෙනවාද?) එවැන්නක් මතු කිරීමේ `අරමුණ`, වීරවංශ `අඩු කුලේ` අයකු බව ඒත්තු ගැන්වීම නම්, එය බල්ලාගේ අසූචි වලින් ඌටම ගැසීමක් වැනිය. එකක්, වීරවංශ නඩත්තු කිරීමට ආශා කරන පසුගාමීත්වයේම පදාසයක් වන `කුල කතාන්දරය` නැවත සමාජගත කිරීම එයින් සිදුවෙයි. අනෙක, ඒ වීරවංශගේම භාෂාවයි. ඔහු කී දෙනෙකුගේ ජාතිය - වර්ගය පිරිහෙළමින් කතාකරනවාද?

රවී කරුණානායකට ඔහු කියන්නේ රවින්ද්‍ර සන්ද්‍රේෂ් කියාය. ප්‍රභාකරන්ට ඔහු කියන්නේ පිරබාහරන්ය. දෙමල නම සිංහලට වර නගා එසේ කීමෙන් ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිකවාදී ආස්ථානය සිංහල භාෂා අවියෙන් දෙපළු වන්නේ යැයි ගුණදාස අමරසේකර කීවා විය හැකිය. කෙනෙකුගේ සිංහල නොවන බව - බෞද්ධ නොවන බව හුවා දැක්වීමට වීරවංශ ඉතා කැමැතිය. ඇතැම්විට ඒ, මහා දේශපාලනයේ ජාතිවාදී බලපෑමට අමතරව, ඔහු මුහුණ දුන් කිසියම් ක්ෂුද්‍ර සමාජ පීඩනයක ප්‍රති පීඩනය විය හැකි මුත් අප ඔහුට එරෙහිව පසුගාමී අවි නොඑසවිය යුතුය. මන්ද යත්, එයින් ඇතැම්විට `වීරවංශ` නමැති දේශපාලනඥයා වැට්ටවිය හැකි මුත් `වීරවංශ` නමැති පසුගාමී වර්ගවාදී සංකේතය යළි යළිත් ස්ථාපිත වෙයි.

ඊළඟට, වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කෙරෙනු දැක්ක හැකිය. එයද අනවශ්‍ය අල්ලා ගැනීමකැයි සිතමි. ධනේශ්වර අධ්‍යාපන මට්ටමේ සීමාව තීරණය කෙරෙන්නේ ඒ ඒ පවුල්වල - ඒවායේ පසුබිමේ ඇති - ආර්ථික මට්ටම අනුව මිස වෙන යමක් අනුව නොවේ. ඔහු පක්ෂයට සම්බන්ධව සිටි කාලයේ අධ්‍යාපන කටයුතු අඩාල වීම තේරුම්ගත හැකි තර්කයකි. සමාජ ප්‍රශ්නවල සමාජ මූලයන් දකින්නකුට `අට පාස්` වැනි සාධක ගෙනහැර දැක්විය නොහැකිය. මා දන්නා තරමට මාටින් වික්‍රමසිංහද පාසලේ ඉහළට උගෙන නැත. එහෙත් ඔහු, පාලකයන්ගේ දෙපා ලොවන්නෙක් වූයේද නැත. එවැන්නෝ තව බොහෝ වෙති. වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කිරීම, පාසල් අධ්‍යාපනයේ වරම් අහිමි වූවනට කෙරෙන අපහාසයකි. පාසල් නොගියේම මුත් හෘදය සාක්ෂිය අහිමි කර නොගත් මිනිස්සු බොහෝ වෙති.

වීරවංශ බිහිවීමට හේතු විමසන ලද ඇතැම් සංවාදයන්හිදී `පක්ෂයේ මානව සම්පත් හිඟය නිසා සාපේක්ෂ හැකියාවන් පෙන් වූ වීරවංශ වැන්නන් ඉහලට ආ බව` නිතර කියැවෙයි. එය අසත්‍යයක්ම නොවන මුත් සම්පූර්ණ සත්‍යයද නොවේ. පක්ෂය අනුදත් දේශපාලන මතවාදයන් සමග හොඳින්ම පෑහුනු - ඒ මතවාද විසින් තෝරන ලද ක්‍රියාමාර්ග සමග මැනවින් බද්ධ වූ පුද්ගලයා වීරවංශය. පක්ෂයේ මතය ජාතිවාදයේ පිළිකන්නට යනවිට හොඳටම බිරුවේ වීරවංශ නිසා ඔහු `වීරයා` විය. ගුණදාස අමරසේකරලා - ඇල්ලේ ගුණවංශලා සමග යෙදුනු දේශපාලන සංසර්ගයේදී ඔහු දක්ෂතම රමණයේ යෙදෙන්නා විය. මේ ලියුම්කරුද ඒ රමණය දෙස බලා ආස්වාදය කළ අතීතයකට හිමිකම් කියයි.

පක්ෂයට (රූපිකව හෝ) විජේවීර වැනි නායකයකු (බහුජන දේශපාලනය [?] සඳහා) ඕනෑ විය. හිරු පුවත්පතේ සිටි විමලසිරි ගම්ලත් සහෝදරයා විමල් වීරවංශ බවට රූපාන්තරණය විය. (විජේ`වීර` - `වීර`වංශ! ) අදටත් ඔහුට ඇතැම් පැරැණි සාමාජිකයෙක් කියන්නේ `ගම්ලත්` කියාය. එහෙත් එකල පක්ෂය, ඉතාම දැනුවත්ව `වීරවංශ` යන නම භාවිතා කරන්නැයි පක්ෂ කමිටුවලදී අවධාරණය කරනු ලැබීය. මේ ලියුම්කරු ඊට සක්ෂිකරුවෙකි. එදා අඩුම තරමේ එවැනි `විශේෂ වේශ නිරූපනයකට ලක් නොකර` ඔහු දේශපාලනික නායකයකු කරන්නට පක්ෂය කටයුතු කළා නම් ඉතිහාසය වෙනස්වන්නටත් ඉඩ තිබිණි. එහෙත්, එන්නත ශරීරගත වූයේ එලෙසිනි.

අනෙක් අතට. පක්ෂයට `විජේවීර` වැනි කථිකයකු ඕනෑ විය. වීරවංශ ඒ නාඩිය අල්ලාගත්තේය. විජේවීරගේ කතා ශෛලිය මුල් කාලයේ අමු අමුවේ කොපි කර, පස්සේ කාලයක එයින් තමන්ගේම ශෛලියක් හදාගත්තේ, අතුල මුලින් රූකාන්තගේ සින්දු කියා පසුව තම ශෛලියකට මාරු වූ පරිද්දෙනි. පක්ෂය ඉවසා සිටියේය. පන්තියට මතය ගෙනයන්නට `කටක්` උවමනා නිසා ඉවසා සිටියේය. ඒ කතාවලට සාමාජික අත්පොළසන් නාදය එන්න එන්නට වැඩිවනවිටත් පක්ෂය ඉවසා සිටියේය. ``සහෝදරත්වය නොවැ`` කියමින් ඉවසා සිටියේය. ඒ කතාවලට ටිකෙන් ටික - බිඳෙන් බිඳ ජාතිවාදය, සංස්කෘතික පසුගාමීත්වය, ග්‍රාම්‍යත්වය මුහු වන විට කිසිවකුටත් එය හැඟුණේ - දැනුණේ නැත. අපි සියල්ලෝම ඒ කතා ශෛලියට වශී වී සිටියෙමු. අපි සියල්ලෝම ඉවසුවෙමු. එන්නත් වූ රසායනයන් රහසේ ඔඩු දුවමින් තිබෙන්නට ඇති.

වරක් හෙන්රි පේද්‍රිස් පිටියේ පැවැති රැළියකදී, ඔහු චන්ද්‍රිකාගේ පුත්‍රයා මංගල සමරවීරගේ ලිංගිකත්වයටද, චන්ද්‍රිකාගේ දියණිය සනත් ගුණතිලකගේ ලිංගිකත්වයටද ඈඳමින් කතාවක් කළේය. ``දැන් චන්ද්‍රිකා නෝනා හැම එකටම ජේවීපී එක වගකිව යුතුයි කියනව. හත්වලාමේ, හෙට අනිද්දට ඔය අරලියගහ මන්දිරේ දිහාවේ කරක් ගහනකොට සනත් ගොයියා අතින් යසෝදරාට මොනව හරි වුණොත් - මංගල උන්නැහෙ අතින් විමුක්තිට මොනව හරි වුණොත් ඒකටත් කියයි ජේවීපී එක වගකියන්න ඕන කියල`` යනුවෙන් අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා හඬනගා කියද්දී අපි හූ කියමින් ඔල්වරසන් දුන්නෙමු. අප හූ කියා ගතයුතුව තිබුණේ අපටම - අපේම අදහස් වලට - අපේම පසුගාමීත්වයන්වලට වුවත් - අපේම නොදියුණු දෘෂ්ටීන්වලටවුවත් අපි චන්ද්‍රිකාට සනත්ට මංගලට හූ කීවෙමු.

වීරවංශ ගරිල්ලා ඇඳුමේ කොල පාටට තොප්පියක් දමන්නට පටන් ගත්තේය. එකල ජනප්‍රිය වූ `ටයිටැනික් කොල්ලාගේ කට් එක`ට කොණ්ඩය කපා සිටි ඔහු `හරියට නිකං චේ වගේ` විය. දෙපැත්තට පහළට වැටෙන ඒ කොණ්ඩයට අර තොප්පිය දැමූ විට `ටොප්`ය. සාමාජිකයෝ ඔහුට අපමණ ආදරය කරන්නට පටන්ගත්හ. ජීවමාන `චේ` පක්ෂයේ සිටියා බඳු විය. ඔය `තොප්පිය` ගැන `ලස්සන` අතුරු කතාවක් ලියුම්කරු සතුව ඇත. එය මෙතැනට අදාළ හෙයින් සටහන් කරමි. වර්ෂය 1998 හෝ 1999 විය යුතුය. පක්ෂය මැයි රැලියට සූදානම් වෙයි. කොළඹින් පිට එක්තරා දිස්ත්‍රික් කමිටුවක් කැඳවෙයි. 94 ආගමනයෙන් පසු ඒ වනවිට පවත්වා ඇත්තේ මැයි රැළි කිහිපයකි. ඒවායේ තිබූ `අඩුපාඩු` හදාගෙන `මැයි දිනයට` සූදානම් වීම සඳහා `උපදෙස්` ලැබිණි. පෙළපාලියට විවිධ වර්ගයේ - විවිධ වර්ණයේ `තොප්පි` නොපැළඳ පක්ෂයෙන් සපයන `රතු තොප්පි` පමණක් පළඳින ලෙස `උපදෙස්` ලැබිණි.

අපි මැයි රැලියට ගියෙමු. සියල්ලෝම රතු තොප්පියෙන් සැරසී සිටියහ. එහෙත් අපේ `වීරයා` ගේ හිසේ තිබුණේ අර `කොල පාට` තොප්පියයි. එය පැළඳු කළ ඔහු ඉතාම කඩවසම්ය. අපිළිවෙල කොණ්ඩයත් එහෙ මෙහෙ දුවන විචක්ෂණ දෑසත් හිමි - ඩබල් පොකට් ෂර්ට් එකත් ඊටම ගැලපෙන කළු කලිසමත් හැඳි තරුණ නායකයා අප මෝහනය කළේය. ඔහු එස් ද එස් ජයසිංහ පිටිය පුරා ඇවිදිමින් මෙගෆෝනයකින් අදාළ උපදෙස් දෙමින් සිටියේය. එහෙත් එවකට ඇට්ටර නවක සාමාජිකයකු වූ ( නමුත් පසුව හොඳින් `සංවිධානගත` වූ) ගැටවරයකුගේ හිතට `කොස්සක්` ආවේය. ``අපිට රතු තොප්පි දාන්න කියල ඇයි ගම්ලත් සහෝදරයා වෙන විදිහක එකක් දැම්මේ. ඔක්කොම පක්ෂෙනම් එක විදිහක් තියෙන්න එපායැ`` යනුවෙන් ඔහුගේ සිතට නැගුණු ප්‍රශ්නය, එයින් පසුදිනෙක `මූලස්ථානයෙන් ආ සහෝදරයකුගෙන්` ඇසුවේය. (එදා `මූලස්ථානයෙන් ආ සහෝදරයා` පසු කලෙක `ඛණ්ඩනයෙන්` පසු `ඊළඟ පක්ෂයේ` නායකයකු වීම හරිම ඉරණම්සහගතය.) ඔහු දුන් පිළිතුර වූයේ, ``එය විදේශගත සහෝදරයකුගෙන් ලැබුණු ත්‍යාගයකි. එය පළඳින ලද්දේ පක්ෂය දැනුවත්වය`` යන්නය. ගැටවර සාමාජිකයා නිහඬ විය.

මේ කාරණාව `තොප්පියකට` ලඝු කරගත යුතු නැත. වමේ පක්ෂ නායකයකු සමානයන් අතර ප්‍රමුඛයකු වියයුතු මිස අසමානයන් අතර විශේෂිතයකු නොවිය යුතුය. එහෙත් වීරවංශට එන්නත් වූයේ එය නොව ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදේශපාලනයයි. ඒ අදේශපාලන එන්නත තුළ තිබූ පසුගාමී රසායනයන්, සන්ධාන දේශපාලනයත් සමග - ධනේශ්වර නායකයන්ගේ ඇසුරත් සමග - ධනේශ්වර ජාතිකවාදී `බුද්ධිමතුන්ගේ` ඇසුරත් සමග - රජගෙවල්වල පස් පෑගීමත් සමග - විශාල මන්දිරවල ටයිල් මත ඇවිද යාමත් සමග සක්‍රීය වන්නට පටන්ගත්තේය. සෑම අනිවාර්යක්ම අහම්බයක් නොවන මුත් සෑම අහම්බයක්ම අනිවාර්යක් වන බව `දර්ශනය` උගන්වද්දී පක්ෂය අපට කියා දුන්නේය. පොල් ගෙඩියක් ළමයකුගේ ඔළුවට වැටීම අහම්බයක් වුවත්, පොල් ගස පිහිටා ඇති ස්ථානය, ළමයා එතැනින්ම ගමන් කිරීම, ඔහු ගමන් කළ වේගය, පොල් ගෙඩිය පතිත වීමේ වේගය යන කරුණු වල තර්කානුකූල අනිවාර්යය පොල්ගෙඩිය ඔළුවට වැටීම බව නිදසුනකින් කියාදෙනු ලැබීය.

ඒ නිදසුන `වීරවංශ නමැති ළමයා`ටද අදාළය. ළමයාගේ දක්ෂකම්වලට වශී වූ ගෙදර ඇත්තන් අහක බලාගෙන සිටිද්දී ඇරියස් ගොඩක් සමග සිටි ළමයා අපයෝජනයට ලක් වූයේය. අද විමල් වීරවංශ යනු බොහෝවිට ඔහුටමත් පිළිකුල දනවන දේශපාලන ක්ෂුද්‍ර ප්‍රාණියෙකි. ඔහු වැනි ග්‍රාම්‍ය කථිකයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි සෝබනකාරයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි තොප්පි වීරයකු පක්ෂ දෙකේම නැත. එහෙත් විමල් වීරවංශලා කොහෙන් හෝ මතුවිය හැකිය. එය වළක්වාලන්නටනම් අර `අදේශපාලන එන්නත` භාවිතාවෙන් ඉවත්කළ යුතුය. එය නායකයන්ට විතරක් කළ හැක්කක් නොවේ. සමස්ත සාමාජිකයත්වයම අවදියෙන් සිට කළ යුතුය. `බහුජන දේශපාලනය` තුළටත් වඩා පරෙස්සම් විය යුත්තේ `අභ්‍යන්තර සංවිධාන` දේශපාලනය තුළදීය. තවමත් ඇතැමුන් `මතවාදීමය වශයෙන් වැරදි තොප්පි` අභිමානයෙන් පැළඳ ඇත. ඒවා නොඉවසා අභ්‍යන්තර වශයෙන් සටන් වැදීම විප්ලවවාදී නොවන්නේද?

-කුමාර වීරසිංහ-
උපුටා ගත්තේ ෆේස් බුකියෙනි