Wednesday, January 7, 2015

ඔබේ තීරණය කුමක්ද?

කිරි උතුරන පවුලක්
යුද්ධය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැරුනු විට රාජපක්ෂලාගේ ලොකුම කයිවාරුව සංවර්ධනයයි. ඔවුන් මේ සඳහා අත දිගු කර පෙන්වන්නේ නැව් නැති වරායන්, ගුවන් යානා නැති ගුවන් තොට, නාට්‍ය නැති රඟහල්, මිනිසුන් හෝ ‍රැස්වීම් නැති සම්ම්න්ත්‍රණ ශාලා , පැයට කි.මී සීයටකටවත් යා නොහැකි අධිවේගී මාර්ග, හැදූ දා සිට අලුත් වැඩියා කරන මහාමාර්ග හා කිසිම කමකට නැති නෙලුම් කුළුණු ආදියයි.

සංවර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ රටක ජනතාවට කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ක්‍රියාවලියකි. එහෙත් රාජපක්ෂලාගේ ඉහත දැක් වූ සංවර්ධනයෙන් මෙරට අති මහත් බහුතරයක් වූ දුගී ජනතාවට අත් වී තිබෙන  සෙත කවරේද?

මෙම නිශ්පල ව්‍යාපෘති සඳහා ගිනි පොලියට ලබා ගන්නා ණය හා පොලී ගෙවීම සඳහා ඔවුන්ගේ කිරිපිටි ටිකෙන්, පැට්‍රල් හා භූමි තෙල් ලීටරයෙන් , සීනි 250න්, පරිප්පු සීයෙන් ගෙවීමට  සිදු වීම හැර අන් කුමක්ද? 

රාජපක්ෂලාගේ ලොකුම ආඩම්බරය නගර අලංකරණයයි. මේ වෙනුවෙන් ඔවුන් පරම්පරා ගණනාවක් ජනයා ජීවත් වූ නිවාස වලින් පලවා හරිමින් සිටිති. තමන් සිටි නිවාසද අහිමි වූ ජනයා කුකුල් කූඩු බඳු තට්‍ටු නිවෙස් තුලට ගාල් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමටද බල කරනු ලබමින් සිටිති. රාජපක්ෂලාගේ සංවර්ධනය එයයි.

රාජපක්ෂලා කොළඹ නගරය අලංකාර  කරමින් සිටින අතර  ඈත ගම් වල සිසු දරු දැරියන් වැල් පටවල එල්ලී ගංගා තරණය කරමින් වල් අලි ප්‍රහාර මැද පාසල් යති. ව්‍යායාම මං තීරු වලට රුපියල් කෝටි ගණන් වියදම් කරද්දී රජරට ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් ලේ පීරිසිදු කිරීමේ යන්ත්‍ර හිඟකම නිසා හා ඖෂධ නොමැතිකමෙන් මිය යති. 

රාජපක්ෂලාගේ අධිවේග මාර්ග හැදීමට හා නඩත්තුවට  තම  හාල් සේරුවෙන්, කිරි පිටි ටිකෙන්, අල ගෙඩියෙන්, පරීප්පු ටිකෙන් බදු ගෙවන  දුප්පතුන්ට තම යතුරු පැදිය හෝ ත්‍රී රෝද රථය ඇතුලු කිරීමට අවසර නැති වීම රාජපක්ෂ සංවර්ධනයේ සැබෑව හෙලිදරව් කරයි. 

මෙවැනි නාස්තිකාර, ජනතාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරන , පාලක කල්ලිය අති විශාල ලෙස කොමිස් ගසමින් මඩි තරකර ගන්නා ඊනියා සංවර්ධනයයට තව දුරටත් ඉඩ දෙනවා ද යන්න අප ජනවාරි අට වෙනිදාට තීරණය කළ යුතුව තිබේ.

ඔබේ තීරණය කුමක්ද?
එක රොටියක් බෙදා ගෙන කන පවුලක්


Tuesday, January 6, 2015

ජාත්‍යන්තර කුමන්ත්‍රණ ! බම්බුව තමා( මහින්දට චන්දය නොදිය යුත්තේ ඇයි-3)



මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු යැයි ඉතාමත් දැඩි සේ සිතා සිටින ශ්‍රී ලාංකිකයින් අතර මමද සිටිමි. ඒ මෛත්‍රීගේ ඇති විශේෂ හොඳක් නිසා නොව මේ ලොව කිසිම පාලකයෙක් මහින්දට වඩා නරක විය නොහැකි බැවිනි. 

ඉතින් මෛත්‍රී නරක වුවත් මේ රටේ මිනිසුන්ට හොඳ හුස්මක් අල්ලා ඉතිරිය පටන් ගත හැකි බව මම මී ට පෙර කීවෙමි. එසේම තවමත් මහින්දට චන්දය දීමට සිතා සිටින අයවලුන්ට ඔහු තම මැතිවරණ ව්‍යාපාරය කර ගෙන යන අන්ත සදාචාර විරෝධී ක්‍රමය දෙස බලන්නැයිද ඉල්ලා සිටියෙමි.

මඩ , අල්ලස ,මැර බලය හා රාජ්‍ය දේපල අව භාවිතය හැරුණු විට මහින්දගේ චන්ද සටනේ ප්‍රධානම තුරුම්පුව වන්නේ යුද්ධ ජයග්‍රහණය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධනයයි. රාජපක්ෂගේ  යුද්ධය ගැන අප මීට පෙර ලිපියෙන් කීවෙමු.

රාජපක්ෂ/වීරවංශ ඇතුලු කල්ලිය කියන පරිදි ඇමෙරිකානුවන් හා යුරෝපීයන්ට මහින්දගේ රජය පෙරලීමට කුමන්ත්‍රණ කිරීම හැර වෙනත් කිසිම වැඩක් නැත. ඒ රටවල නායකයන්ගේ සිට අත දරුවන් දක්වා සියලු දෙනා උදේ ඇස ඇරි මොහොතේ පටන් නින්දට යන තෙක් කල්පනා කරන්නේ මහින්දගේ ආණ්ඩූව පෙරලා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නේ කෙසේ ද යන්නයි.

රාජපක්ෂ තෙමේමත් වීරවංශ ඇතුලු ඔහුගේ ගිරා පෝතකයිනුත් පුන පුනා කියන්නේ මේ කුමන්ත්‍රණ පැරදවීමට නම් ඔවුන්ට බලය දිය යුතු බවයි.

අපි නිකමට මොහොතකට සිතමු මේ කියන ආකාරයේ කුමන්ත්‍රණයක් ඇත්තටම පවතිනවා යැයි කියා. එනම් මෙම බටහිර  රටවල  වෙසෙන්නවුන්  ‍ රැ දවාලක් නැතිව ලංකාව අස්ථාවර කිරීමට කැස කවන වා යැයි කියන කතාව ඇත්ත බව.

එසේ නම් කළ යුත්තේ මොනවාද? රා බී ගත් ගමේ චණ්ඩියෙකු ලෙස කුණුහරුප කියමින් කෑ ගැසීමද? 

නැතිනම් එසේ ඔවුන් මෙරටට මැදිහත් වන හේතු සොයා ඒවා විසඳා සැබෑ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් කර එම උත්සාහයන් පැරදවීමද? ඔවුන්ට අප රටට අත පෙවීමට පසුබිම සකස් කරන මානව හිමිකම් අහිමි කිරීම  , සීමා කෙරෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු වලට සැබෑ විසඳුම් දීම නොවේද? 

අනික් අතට ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන විට ඊට එරෙහිව කටයුතු කල යුත්තේ. කල හැක්කේ ඊට මනා සේ පුහුණු කළ විනය ගරුක විදේශ සේවයකින්   මිස මත් පැන් බී එකිනෙකා මරාගන්නා කසඩ රස්තියාදු කාරයින්ගෙන් හා නූගත් ඥාතින්ගෙන් පිරවූ විදේශ සේවයකින්ද? රාජපක්ෂගේ විදේශ සේවය එබඳුය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීම කෙසේ වෙතත් ඒවා ඇති කිරීමට නම් ඔවුන්ට හැකිය.  

එසේ නම් අප තව දුරටත් මෙවැනි රස්තියාදුකාර නඩ නඩත්තු කිරීමට අප රටේ ධනය නාස්ති කිරීමට රාජපක්ෂලාට ඉඩ දෙනවාද? 

මම  නම් ඉඩ නොදෙමි. 

ඔබ....?

Monday, January 5, 2015

මහින්දට චන්දය දෙන්න මට පිස්සුද ඕයි? (මා මහින්දට චන්දය නොදෙන්නේ ඇයි?-2)


මහින්ද රාජපක්ෂ තම ජනාධිපතිවරණ  ව්‍යාපාරය මෙහෙයවන අතිශය දූෂිත  හා නින්දිත ආකාරයම ඔහුට චන්දය නොදී සිටීමට ප්‍රමාණවත් යැයි මම මීට පෙර ලිපියේදී කීවෙමි. 

එසේ නම් ඔහු මේ මැතිවරණ ව්‍යාපාරය ඉතා  ධාර්මික හා යහපත් ලෙස කළේ නම් අපි ඔහුට චන්දය දිය යුතුද?

ඔහුගේ අනුගාමිකයන් කියන්නේ අප ඔහුට චන්දය දිය යුත්තේ සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා යුද්ධය දිනා , රට සංවර්ධන කරන නායකයෙක් නිසාලු. 

ඔවුන්ම කියන පරිදි යුද්ධය දැන් අවසන්ය. එසේ නම් තවත් යුද්ධය ගැන කතා කුමකටද? යුද්ධ කළ නායකයෙක්  නැවත පත් කර ගන්නේ කුමකටද? රටේ දකුණේ  ජනතාව සමග ( උතුරේ ජනතාව සමග කලා මෙන් ) යුද්ධ කිරීමටද? 

ඔව්, එයනම් රාජපක්ෂ ලා කදිමට කර ගෙන ආවේය. ක‍ටුනායකදී අරගල කළ කම්කරුවන්ට වෙඩි තබා මරා දැම්මේ මේ මහා ජනතා පුත්‍රයාය. රතුපස්වලදී ජලය ඉල්ලු ජනතාවට වෙඩි තමා මරා දැම්මේත්   ඒ මහා සංවේදී නායකයාමය. ඉන්ධන සහනාධාරයක් ඉල්ලා හඬ නැගූ ධීවරයින්ට වෙඩි තැබුවේත් ඔහුම නොවේද?  සාමකාමි දේශපාලනයක නිරත වී සිටි ලලිත් හා කුගන් යන තරුණ වාමාංශිකයන් දෙදෙනා අතුරුදහන් කලේද ඒ ජනමූල නායකයාමය. එපමණ්ක් නොව ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ,...මේ ලැයිස්තුව තව දිගය. ඔව් ඔහුට නම්  යුද්ධය තවම නතර වී නොමැත. අපි ඔහුට චන්දය දිය යුත්තේ මේ යුද්ධය තව දුරටත් කරගෙන යාමටද? 

නැත මහත්වරුනි මම නම් මහින්දට චන්දය නොදෙමි. ඔබෙනුත් නොදෙන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

එසේත් නැතිනම් අප ඔහුට චන්දය දිය යුත්තේ ඔහුගේ ගෝල බාලයින් කියන පරිදි යුද්ධය දිනා දීම නිසා කළ ගුණ දැක්වීමටද?

මෙයනම් අතිශය පසුගාමි වැඩවසම් යුගයට අයත් දේශපාලන තර්කයකි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් තුල අප මහජන නියෝජිතයන් පත් කරගන්නේ ජනතාවට සේවය කිරීමට මිස දේශපාලකයින්ට ඊනියා කළගුණ දැක්වීමට නොවේ. 

කළගුණ දැක්වීමටම අවශ්‍ය නම් ඔහුට උපහාර උත්සවයක් පැවත්වීම හෝ සමරු තිළිණයක් දීම හෝ වෙනත් එවැනි දෙයක් කළාට අපට කම් නැත. එහෙත් කළ ගුණ සැලකීමට මුලු මහත් රටක්, මෙවන් ඒකාධිපතියෙකුට භාර දීම. එයනම් ශිෂ්ඨසම්පන්න ලෝකයකට සිතාගත නොහැකි තරම් පසුගාමි වැඩකි.

අනිත් අතට කළගුණ සැලකිය හැකි එකම ක්‍රමය මෙය නම් දැනටත් මේ රටේ ජනතාව ඔහුට ඇතිවන්නට කළ ගුණ සලකා තිබේ.  බහුතරයක් ජනතාව කුසගින්නේ සිටිද්දි, රටේ දරුවන්ගෙන් බහුතරය මන්දපෝෂණයෙන් පෙලෙද්දී රාජපක්ෂ පවුල මහජන මුදල් මහා පරිමාණයෙන් තම සුඛ විහරණයට යොදා ගනිමින් සිටිති. ජනධිපතිවරයාගේ දිනක වියදම රුපියල් කෝටි දෙකකට අධිකය. 
හුගේ පුතුන්ද තම අධි විනාශකාරි දිවි පෙවෙත උදෙසා මහජන මුදල් පමණක් නොව තම පියාගේ බලපරාක්‍රමයද රිසි සේ භාවිතා කරති. නගර වසා මෝටර් රථ රේස් පවත්වන්නේ ඊට එරෙහිව එන විරෝධය තුට්‍ටුවකට නොගෙනය. ඔව්හු කෝටි ගණන් වටින අශ්වයින් , මෝටර් රථ හා හෙලිකොප්ටර් වල හිමිකරුවන් බව කියවේ. 

ඉන්ධන සහනාධාරයක් ඉල්ලා හඬන ධීවරයින්ට වෙඩි තබන ආඩම්බරකාර තාත්තාගේ පුතුන් අග නගරය වසා  නයිට් රේස් පවත්වති. ඔහුගේ බාල  පුතා අභ්‍යවකාශගාමියෙක්  වෙන්නෙමියි  වහසි බස් දොඩද්දී ඔහු තම අයිතිවාසිකම් ඉල්ලන සිසුන්ගේ හතර හන්දි කැඩෙන ලෙස පොලිසිය ලවා පහර දෙවයි.

අප මහින්ද රාජපක්ෂ නැවත පත් කළ යුත්තේ මේවා සියල්ල මෙලෙස තව දුරටත් කරගෙන යාමටද? මේ අශීලාචාර පවුල් පාලනයට අසීමිත කාලයකට මේ රට භාර දිය යුත්තේ අපේ දරුවන්ට මන්දපෝෂණය හා වෙඩි උණ්ඩ හිමි කර දීමටද?

නැවතත් මම කියමි. මගේ චන්දය මහින්ද රාජපක්ෂ පාලනය නිම කිරීමටය. ඔබටත් එසේ කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

Sunday, January 4, 2015

මා මහින්දට චන්දය නොදෙන්නේ ඇයි?



වහෙන් ඔරෝ කථා වැඩක් නැත. මම මහින්දට චන්දය නොදෙමි. ඔබෙනුත් නොදෙන්නැයි ඉල්ලා සිටිමි. මහින්දට චන්දය නොදී වෙන කාට දුන්නත් මට කම් නැත. එහෙත් මහින්ද  රාජපක්ෂ වෙනුවෙන් ඔබේ චන්දය භාවිතා නොකරන මෙන් මම ඉල්ලා සිටිමි.

මම මහින්දට චන්දය නොදෙන්නේ ත් ඔබෙන්  මහින්දට චන්දය නොදෙන මෙන් ඉල්ලා සිටින්නේත් ඇයි.

 ඔහුගේ රජය හොර බොරු නැති, වංචා දූෂණ නොකළ, රට සංවර්ධනය කරන , එතනෝල්, මත් කුඩු, පුත්‍ර සමාගම් සහෝදර සමාගම් නැති රජයක් යැයි නිකමට මොහොතකට හිතමු. 

ඒ සියල්ල එසේ තිබුණත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පවත්වා ගෙන යන නිර්ලජ්ජී, ජඩ, නින්දිත සදාචාර විරෝධී ආකාරයම ඔහුට විරුද්ධව චන්දය භාවිතා කිරීමට ප්‍රමාණවත්ය.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සහමුලින්ම පදනම් වී පවතින්නේ අල්ලස් හා මඩ මතය. අල්ලස් දීම සඳහා හා ප්‍රචාරණය සඳහා රාජ්‍ය දේපල නිර්ලජ්ජී ලෙස යොදා ගනිමින් සිටියි.

මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ධනය චන්ද දායකයින් අතර බෙදා දීම ඔහු පටන්ගත්තේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමටත් ප්‍රථමය. 

දිනපතා ජනතාව 5000 ක් දෙනා බැගින් ඔහුගේ බලෙන් අල්ලා ගෙන සිටින නිල නිවසට කැඳවා මහජන මුදලින් ඔවුන්ට  දන්සැල් පැවත්වීය. එම ජනයාට ප්‍රවාහනය සඳහා වියදම් කලේත් මහජන මුදල්ය.

ඊ ලඟට ඔහු සිල් රෙදි, ඔර්ලෝසු , සාරි දස දහස් ගණනින් බෙදීම කළේය. මහජන මුදල් තම පෞද්ගලික බූදලයක් ලෙස ගනිමින් ‍තෝරාගත් පිරිස් වෙත නොයෙක් වරදාන , වැ‍ටුප් වැඩි වීම්, යතුරු පැදි ඇතුලු නොයෙක් අල්ලස් ලබා දුන්නේය.

එසේම ඔහු මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් අති දෑවන්ත කටවුට් අඩියෙන් අඩියට සවි කල අතර තවමත්  ඒවා දැකිය හැකීය.

රාජ්‍ය දේපල අවභාවිතාව සඳහා ඔහුට සීමා නැත. කොතැනක මැතිවරණ ‍රැස්වීමක් පැවත්වූවත් රටේ හතර දිග් භාගයේ සිට ලංගම බස් යොදවමින් නොමිලේම තම හෙංචයියන් ප්‍රවාහනය කරන්නේ පොදු මහජනයා මුහුණ පාන කරදර ගැන අබමල් රේණුවක් වත් තරම්  නොතකාය.තමන්ගේ ‍රැස්වීම් වෙනුවෙන් එසේ ජනයා අදින ඔහු විපක්ෂයේ ‍රැස්වීමක් පවතිනදාට සියලුම ලංගම බස් ඩිපෝ වලට ගාල් කර තබනවාට අමතරව පෞද්ගලික බස් සේවාද මැර තර්ජන යොදා නවත්වයි.

රූපවාහිනිය, අයි ටී එන් රජයේ ගුවන් විදුලි නාලිකා හා ලේක්හවුසිය අමු අමුවේම මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නේ පුවත් පත් කලාවේ හා දේශපාලනයේ සියලු ආචාර ධර්ම කෙලෙසමින් විපක්ෂ නායකයින්ට මඩ ප්‍රහාර එල්ල කිරීමටත් තමන්ගේ නැති වූ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමටත්ය. බොහෝ පෞද්ගලික මාධ්‍ය ද එක්කෝ බියගන්වා එසේ නැතිනම් වරදාන මගින් හෝ තම අතවැසියන් යොදවා මිලට ගැනීම තුලින් අවනත කර ගෙන සිටින රාජපක්ෂ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂක මෛත්‍රිපාලට  මහා මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින්නේ ලොව සියලු සදාචාර නීති වලට එරෙහිව කුඩා ළමයින් පවා යොදා ගෙනය.

මේ සියල්ල කර ඒත් අසමත් ව සිටින ඔහු දැන් ප්‍රතිවාදින්ට ශාරිරිකව පහර දෙන තැනට වැටී තිබේ. විපක්ෂ කාර්යාල වලට හා වේදිකාවලට ගිනි තබමින් ආරම්භ කළ මේ මැර ක්‍රියා දැන් විපක්ෂ ආධාර කරුවන්ට , හා අපේක්ෂකයින්ට පහර දීම දක්වා උත්සන්න කර තිබේ.  

තම මැතිවරණ ව්‍යාපාරය මෙලෙස අන්ත මැර , ප්‍රජාතන්ත්‍ර විරෝධී , ලැජ්ජා විරහිත, තුච්ඡ,හා වනචර ආකාරයට පවත්වා ගෙන යන පුද්ගලයෙකු වෙනුවෙන් තම චන්දය භාවිතා කළ හැක්කේ ඊටත් වඩා වනචරයෙකුට හෝ මන්ද බුද්ධික අයෙකුට පමණි.

එසේ නම් මේ මැතිවරණය යනු ඔබ වනචරයෙක් හෝ මන්දබුද්ධික්ලයෙක් නොවන බව පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය.  රටේ බහුතරයක් එවැන්නන් නොවන බවට ලෝකයට පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය. එනම් මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි අට වෙනිදා ඡන්දයෙන් පරාජය කළ යුතුය.


Saturday, January 3, 2015

පොඩි එකාගේ දේශපාලනය



-පුතේ මේං උඹේ පංතියේ එල්ලන්න කැලන්ඩරයක්, අරං ගොහින් ටීචර්ට දීපං

-අනේ එපා තාත්තේ, අපේ පංතියේ එල්ලන්නේ මහින්ද කැලන්ඩර්

-මොකක්, ඒ කොහොමද? කොහෙන්ද මහින්ද කැලන්ඩර්

-ඇයි අපේ ඉස්කෝලේ හැම පංතියකටම මහින්ද කැලන්ඩර් ආණ්ඩුවෙන් එවනවානේ

-ඒකත් එහෙමද? ඒත් මේ අට වැනිදායින් පස්සේ මහින්ද කැලන්ඩර් අයින් කරයිනේ, ඒ නිසා මේක අරං තියා ගනින් එතකොට පංතියේ එල්ලන්න

-ඒ මොකෝ තාත්තේ මහින්ද කැලන්ඩර් අට වැනිදා අයින් කරන්නේ

-ඇයි එදාට චන්දෙන් මහින්ද  මහත්තයා  පරද්දලා මෛත්‍රී මහත්තයා දිනනවනේ

-එතකොට මෛත්‍රී මහත්තයා එයාගේ කැලන්ඩරයක් එවයිනේ, තාත්තාම ඕක තියාගන්න

-අනේ පලයන් බං යන්න උඹයි මායි දන්න දේශපාලනේ, පල ගොහින් ශිෂ්‍යත්වෙට පාඩම් කරපන්

Friday, January 2, 2015

රට බේරා ගත් සැබෑ යුග පුරුෂයා කවුද?

මේ රට මහා විනාශයකින් බේරා ගත් මහා යුග පුරුෂයා කවුද?

ඔහු සරත් ෆොන්සේකාද?

මහින්ද රාජපක්ෂද?

මෛත්‍රීපාල සිරිසේනද?

චම්පික රණවකද?

අතුරලියේ රතනද?

එසේත් නැත්නම් විමල් වීරවංශ  ද?

දේශහිතෛෂී සංවිධානයේ වසන්ත බණ්ඩාරද?

බොබසේ ඥාණසාරද?

කරුණා අම්මාන්ද? කේ පී ද?

දැනට පෙනෙන්නට තිබෙන තත්වය අනුව නම් මේ කිසිවෙක් නොවේ.

ජනවාරි අට වෙනිදා බොහෝ විට මේ පුද්ගලයා ජාතික වීරයෙක් වශයෙන් අභිෂේක කරනු ඇත.

ඔහු අන් කිසිවෙක් නොවේ. මේ ඡායා රූපයේ සිටින පුද්ගලයාය.


ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෛවඥයා වන සුමනදාස අබේ ගුණවර්ධන ය. තව වසර දෙකක් කිසි කරදරයක් නැතිව රට පාලනය කරන්නට ඉඩ තිබු මහින්ද රාජපක්ෂව ජනාධිපතිවරණයකට ඇද දමූයේ ඔහුය. ඉතිරිය චන්ද දායකයින්ට භාරය. 

මොකද කියන්නේ සුමනදාස ව ජාතික වීරයෙක් කරමුද?

Thursday, January 1, 2015

වීරවංශ ; වීරයාගේ සිට ද්‍රෝහියා දක්වා සිතියම සැකෙවින් !



රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින මුර බල්ලා බවට පත්වෙමින් - රාජපක්ෂ විරෝධී කඳවුර වෙත විවිධාකාරයෙන් බුරා පනින විමල් වීරවංශ පිළිබඳව බොහෝ සටහන් තැබෙන අතරවාරයේ මෙබන්දක් ලිවීම අවශ්‍යයැයි හැඟී ගියේය. සැබවින්ම විමල් වීරවංශ යනු කවුද ? ඔහුගේ දේශපාලන ගමන අපට `උගන්වන` යමක් ඇත්ද? ඒ කුමක්ද? පක්ෂයේ සිටි අති දක්ෂම ප්‍රචාරක ලේකම්වරයා, ඉතිහාසයේ නින්දිතම තුච්ජම්තම ද්‍රෝහියා තෙක් පැමිණීමේ දේශපාලන සිතියම කෙබඳුද? වීරයා සහ ද්‍රෝහියා අතර වෙනස නිකම්ම නිකම් සාහිත්‍යමය `කෙස් ගසක්` පමණක්ද? එහෙමත් නැත්නම්, අප නොදකින හෝ දකින්නට අකමැති වෙනත් කලාපයක පවතින සහමුළින්ම දේශපාලනික හේතුවක්ද?

විමල් වීරවංශගේ විවේචකයන් බහුතරයක් ඔහුගේ `පෙළපත්නාමය` ප්‍රශ්න කරයි. සත්‍ය වශයෙන්ම `වීරසංගිලි පනික්කියලාගේ` යනුවෙන් වාසගමක් ඔහුට ඇත්දැයි මම නොදනිමි. එය එසේ වුවත් එහි ඇති ප්‍රශ්නයක් නැත. (අනෙක් අතට - වීරවංශගේ සත්‍ය පෙළපත්නාමය වීරවංශ ම යැයි සිතමු. එසේ හෙයින් ඔහුගේ දේශපාලන වියරුව `හොඳ` වෙනවාද?) එවැන්නක් මතු කිරීමේ `අරමුණ`, වීරවංශ `අඩු කුලේ` අයකු බව ඒත්තු ගැන්වීම නම්, එය බල්ලාගේ අසූචි වලින් ඌටම ගැසීමක් වැනිය. එකක්, වීරවංශ නඩත්තු කිරීමට ආශා කරන පසුගාමීත්වයේම පදාසයක් වන `කුල කතාන්දරය` නැවත සමාජගත කිරීම එයින් සිදුවෙයි. අනෙක, ඒ වීරවංශගේම භාෂාවයි. ඔහු කී දෙනෙකුගේ ජාතිය - වර්ගය පිරිහෙළමින් කතාකරනවාද?

රවී කරුණානායකට ඔහු කියන්නේ රවින්ද්‍ර සන්ද්‍රේෂ් කියාය. ප්‍රභාකරන්ට ඔහු කියන්නේ පිරබාහරන්ය. දෙමල නම සිංහලට වර නගා එසේ කීමෙන් ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිකවාදී ආස්ථානය සිංහල භාෂා අවියෙන් දෙපළු වන්නේ යැයි ගුණදාස අමරසේකර කීවා විය හැකිය. කෙනෙකුගේ සිංහල නොවන බව - බෞද්ධ නොවන බව හුවා දැක්වීමට වීරවංශ ඉතා කැමැතිය. ඇතැම්විට ඒ, මහා දේශපාලනයේ ජාතිවාදී බලපෑමට අමතරව, ඔහු මුහුණ දුන් කිසියම් ක්ෂුද්‍ර සමාජ පීඩනයක ප්‍රති පීඩනය විය හැකි මුත් අප ඔහුට එරෙහිව පසුගාමී අවි නොඑසවිය යුතුය. මන්ද යත්, එයින් ඇතැම්විට `වීරවංශ` නමැති දේශපාලනඥයා වැට්ටවිය හැකි මුත් `වීරවංශ` නමැති පසුගාමී වර්ගවාදී සංකේතය යළි යළිත් ස්ථාපිත වෙයි.

ඊළඟට, වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කෙරෙනු දැක්ක හැකිය. එයද අනවශ්‍ය අල්ලා ගැනීමකැයි සිතමි. ධනේශ්වර අධ්‍යාපන මට්ටමේ සීමාව තීරණය කෙරෙන්නේ ඒ ඒ පවුල්වල - ඒවායේ පසුබිමේ ඇති - ආර්ථික මට්ටම අනුව මිස වෙන යමක් අනුව නොවේ. ඔහු පක්ෂයට සම්බන්ධව සිටි කාලයේ අධ්‍යාපන කටයුතු අඩාල වීම තේරුම්ගත හැකි තර්කයකි. සමාජ ප්‍රශ්නවල සමාජ මූලයන් දකින්නකුට `අට පාස්` වැනි සාධක ගෙනහැර දැක්විය නොහැකිය. මා දන්නා තරමට මාටින් වික්‍රමසිංහද පාසලේ ඉහළට උගෙන නැත. එහෙත් ඔහු, පාලකයන්ගේ දෙපා ලොවන්නෙක් වූයේද නැත. එවැන්නෝ තව බොහෝ වෙති. වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කිරීම, පාසල් අධ්‍යාපනයේ වරම් අහිමි වූවනට කෙරෙන අපහාසයකි. පාසල් නොගියේම මුත් හෘදය සාක්ෂිය අහිමි කර නොගත් මිනිස්සු බොහෝ වෙති.

වීරවංශ බිහිවීමට හේතු විමසන ලද ඇතැම් සංවාදයන්හිදී `පක්ෂයේ මානව සම්පත් හිඟය නිසා සාපේක්ෂ හැකියාවන් පෙන් වූ වීරවංශ වැන්නන් ඉහලට ආ බව` නිතර කියැවෙයි. එය අසත්‍යයක්ම නොවන මුත් සම්පූර්ණ සත්‍යයද නොවේ. පක්ෂය අනුදත් දේශපාලන මතවාදයන් සමග හොඳින්ම පෑහුනු - ඒ මතවාද විසින් තෝරන ලද ක්‍රියාමාර්ග සමග මැනවින් බද්ධ වූ පුද්ගලයා වීරවංශය. පක්ෂයේ මතය ජාතිවාදයේ පිළිකන්නට යනවිට හොඳටම බිරුවේ වීරවංශ නිසා ඔහු `වීරයා` විය. ගුණදාස අමරසේකරලා - ඇල්ලේ ගුණවංශලා සමග යෙදුනු දේශපාලන සංසර්ගයේදී ඔහු දක්ෂතම රමණයේ යෙදෙන්නා විය. මේ ලියුම්කරුද ඒ රමණය දෙස බලා ආස්වාදය කළ අතීතයකට හිමිකම් කියයි.

පක්ෂයට (රූපිකව හෝ) විජේවීර වැනි නායකයකු (බහුජන දේශපාලනය [?] සඳහා) ඕනෑ විය. හිරු පුවත්පතේ සිටි විමලසිරි ගම්ලත් සහෝදරයා විමල් වීරවංශ බවට රූපාන්තරණය විය. (විජේ`වීර` - `වීර`වංශ! ) අදටත් ඔහුට ඇතැම් පැරැණි සාමාජිකයෙක් කියන්නේ `ගම්ලත්` කියාය. එහෙත් එකල පක්ෂය, ඉතාම දැනුවත්ව `වීරවංශ` යන නම භාවිතා කරන්නැයි පක්ෂ කමිටුවලදී අවධාරණය කරනු ලැබීය. මේ ලියුම්කරු ඊට සක්ෂිකරුවෙකි. එදා අඩුම තරමේ එවැනි `විශේෂ වේශ නිරූපනයකට ලක් නොකර` ඔහු දේශපාලනික නායකයකු කරන්නට පක්ෂය කටයුතු කළා නම් ඉතිහාසය වෙනස්වන්නටත් ඉඩ තිබිණි. එහෙත්, එන්නත ශරීරගත වූයේ එලෙසිනි.

අනෙක් අතට. පක්ෂයට `විජේවීර` වැනි කථිකයකු ඕනෑ විය. වීරවංශ ඒ නාඩිය අල්ලාගත්තේය. විජේවීරගේ කතා ශෛලිය මුල් කාලයේ අමු අමුවේ කොපි කර, පස්සේ කාලයක එයින් තමන්ගේම ශෛලියක් හදාගත්තේ, අතුල මුලින් රූකාන්තගේ සින්දු කියා පසුව තම ශෛලියකට මාරු වූ පරිද්දෙනි. පක්ෂය ඉවසා සිටියේය. පන්තියට මතය ගෙනයන්නට `කටක්` උවමනා නිසා ඉවසා සිටියේය. ඒ කතාවලට සාමාජික අත්පොළසන් නාදය එන්න එන්නට වැඩිවනවිටත් පක්ෂය ඉවසා සිටියේය. ``සහෝදරත්වය නොවැ`` කියමින් ඉවසා සිටියේය. ඒ කතාවලට ටිකෙන් ටික - බිඳෙන් බිඳ ජාතිවාදය, සංස්කෘතික පසුගාමීත්වය, ග්‍රාම්‍යත්වය මුහු වන විට කිසිවකුටත් එය හැඟුණේ - දැනුණේ නැත. අපි සියල්ලෝම ඒ කතා ශෛලියට වශී වී සිටියෙමු. අපි සියල්ලෝම ඉවසුවෙමු. එන්නත් වූ රසායනයන් රහසේ ඔඩු දුවමින් තිබෙන්නට ඇති.

වරක් හෙන්රි පේද්‍රිස් පිටියේ පැවැති රැළියකදී, ඔහු චන්ද්‍රිකාගේ පුත්‍රයා මංගල සමරවීරගේ ලිංගිකත්වයටද, චන්ද්‍රිකාගේ දියණිය සනත් ගුණතිලකගේ ලිංගිකත්වයටද ඈඳමින් කතාවක් කළේය. ``දැන් චන්ද්‍රිකා නෝනා හැම එකටම ජේවීපී එක වගකිව යුතුයි කියනව. හත්වලාමේ, හෙට අනිද්දට ඔය අරලියගහ මන්දිරේ දිහාවේ කරක් ගහනකොට සනත් ගොයියා අතින් යසෝදරාට මොනව හරි වුණොත් - මංගල උන්නැහෙ අතින් විමුක්තිට මොනව හරි වුණොත් ඒකටත් කියයි ජේවීපී එක වගකියන්න ඕන කියල`` යනුවෙන් අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා හඬනගා කියද්දී අපි හූ කියමින් ඔල්වරසන් දුන්නෙමු. අප හූ කියා ගතයුතුව තිබුණේ අපටම - අපේම අදහස් වලට - අපේම පසුගාමීත්වයන්වලට වුවත් - අපේම නොදියුණු දෘෂ්ටීන්වලටවුවත් අපි චන්ද්‍රිකාට සනත්ට මංගලට හූ කීවෙමු.

වීරවංශ ගරිල්ලා ඇඳුමේ කොල පාටට තොප්පියක් දමන්නට පටන් ගත්තේය. එකල ජනප්‍රිය වූ `ටයිටැනික් කොල්ලාගේ කට් එක`ට කොණ්ඩය කපා සිටි ඔහු `හරියට නිකං චේ වගේ` විය. දෙපැත්තට පහළට වැටෙන ඒ කොණ්ඩයට අර තොප්පිය දැමූ විට `ටොප්`ය. සාමාජිකයෝ ඔහුට අපමණ ආදරය කරන්නට පටන්ගත්හ. ජීවමාන `චේ` පක්ෂයේ සිටියා බඳු විය. ඔය `තොප්පිය` ගැන `ලස්සන` අතුරු කතාවක් ලියුම්කරු සතුව ඇත. එය මෙතැනට අදාළ හෙයින් සටහන් කරමි. වර්ෂය 1998 හෝ 1999 විය යුතුය. පක්ෂය මැයි රැලියට සූදානම් වෙයි. කොළඹින් පිට එක්තරා දිස්ත්‍රික් කමිටුවක් කැඳවෙයි. 94 ආගමනයෙන් පසු ඒ වනවිට පවත්වා ඇත්තේ මැයි රැළි කිහිපයකි. ඒවායේ තිබූ `අඩුපාඩු` හදාගෙන `මැයි දිනයට` සූදානම් වීම සඳහා `උපදෙස්` ලැබිණි. පෙළපාලියට විවිධ වර්ගයේ - විවිධ වර්ණයේ `තොප්පි` නොපැළඳ පක්ෂයෙන් සපයන `රතු තොප්පි` පමණක් පළඳින ලෙස `උපදෙස්` ලැබිණි.

අපි මැයි රැලියට ගියෙමු. සියල්ලෝම රතු තොප්පියෙන් සැරසී සිටියහ. එහෙත් අපේ `වීරයා` ගේ හිසේ තිබුණේ අර `කොල පාට` තොප්පියයි. එය පැළඳු කළ ඔහු ඉතාම කඩවසම්ය. අපිළිවෙල කොණ්ඩයත් එහෙ මෙහෙ දුවන විචක්ෂණ දෑසත් හිමි - ඩබල් පොකට් ෂර්ට් එකත් ඊටම ගැලපෙන කළු කලිසමත් හැඳි තරුණ නායකයා අප මෝහනය කළේය. ඔහු එස් ද එස් ජයසිංහ පිටිය පුරා ඇවිදිමින් මෙගෆෝනයකින් අදාළ උපදෙස් දෙමින් සිටියේය. එහෙත් එවකට ඇට්ටර නවක සාමාජිකයකු වූ ( නමුත් පසුව හොඳින් `සංවිධානගත` වූ) ගැටවරයකුගේ හිතට `කොස්සක්` ආවේය. ``අපිට රතු තොප්පි දාන්න කියල ඇයි ගම්ලත් සහෝදරයා වෙන විදිහක එකක් දැම්මේ. ඔක්කොම පක්ෂෙනම් එක විදිහක් තියෙන්න එපායැ`` යනුවෙන් ඔහුගේ සිතට නැගුණු ප්‍රශ්නය, එයින් පසුදිනෙක `මූලස්ථානයෙන් ආ සහෝදරයකුගෙන්` ඇසුවේය. (එදා `මූලස්ථානයෙන් ආ සහෝදරයා` පසු කලෙක `ඛණ්ඩනයෙන්` පසු `ඊළඟ පක්ෂයේ` නායකයකු වීම හරිම ඉරණම්සහගතය.) ඔහු දුන් පිළිතුර වූයේ, ``එය විදේශගත සහෝදරයකුගෙන් ලැබුණු ත්‍යාගයකි. එය පළඳින ලද්දේ පක්ෂය දැනුවත්වය`` යන්නය. ගැටවර සාමාජිකයා නිහඬ විය.

මේ කාරණාව `තොප්පියකට` ලඝු කරගත යුතු නැත. වමේ පක්ෂ නායකයකු සමානයන් අතර ප්‍රමුඛයකු වියයුතු මිස අසමානයන් අතර විශේෂිතයකු නොවිය යුතුය. එහෙත් වීරවංශට එන්නත් වූයේ එය නොව ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදේශපාලනයයි. ඒ අදේශපාලන එන්නත තුළ තිබූ පසුගාමී රසායනයන්, සන්ධාන දේශපාලනයත් සමග - ධනේශ්වර නායකයන්ගේ ඇසුරත් සමග - ධනේශ්වර ජාතිකවාදී `බුද්ධිමතුන්ගේ` ඇසුරත් සමග - රජගෙවල්වල පස් පෑගීමත් සමග - විශාල මන්දිරවල ටයිල් මත ඇවිද යාමත් සමග සක්‍රීය වන්නට පටන්ගත්තේය. සෑම අනිවාර්යක්ම අහම්බයක් නොවන මුත් සෑම අහම්බයක්ම අනිවාර්යක් වන බව `දර්ශනය` උගන්වද්දී පක්ෂය අපට කියා දුන්නේය. පොල් ගෙඩියක් ළමයකුගේ ඔළුවට වැටීම අහම්බයක් වුවත්, පොල් ගස පිහිටා ඇති ස්ථානය, ළමයා එතැනින්ම ගමන් කිරීම, ඔහු ගමන් කළ වේගය, පොල් ගෙඩිය පතිත වීමේ වේගය යන කරුණු වල තර්කානුකූල අනිවාර්යය පොල්ගෙඩිය ඔළුවට වැටීම බව නිදසුනකින් කියාදෙනු ලැබීය.

ඒ නිදසුන `වීරවංශ නමැති ළමයා`ටද අදාළය. ළමයාගේ දක්ෂකම්වලට වශී වූ ගෙදර ඇත්තන් අහක බලාගෙන සිටිද්දී ඇරියස් ගොඩක් සමග සිටි ළමයා අපයෝජනයට ලක් වූයේය. අද විමල් වීරවංශ යනු බොහෝවිට ඔහුටමත් පිළිකුල දනවන දේශපාලන ක්ෂුද්‍ර ප්‍රාණියෙකි. ඔහු වැනි ග්‍රාම්‍ය කථිකයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි සෝබනකාරයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි තොප්පි වීරයකු පක්ෂ දෙකේම නැත. එහෙත් විමල් වීරවංශලා කොහෙන් හෝ මතුවිය හැකිය. එය වළක්වාලන්නටනම් අර `අදේශපාලන එන්නත` භාවිතාවෙන් ඉවත්කළ යුතුය. එය නායකයන්ට විතරක් කළ හැක්කක් නොවේ. සමස්ත සාමාජිකයත්වයම අවදියෙන් සිට කළ යුතුය. `බහුජන දේශපාලනය` තුළටත් වඩා පරෙස්සම් විය යුත්තේ `අභ්‍යන්තර සංවිධාන` දේශපාලනය තුළදීය. තවමත් ඇතැමුන් `මතවාදීමය වශයෙන් වැරදි තොප්පි` අභිමානයෙන් පැළඳ ඇත. ඒවා නොඉවසා අභ්‍යන්තර වශයෙන් සටන් වැදීම විප්ලවවාදී නොවන්නේද?

-කුමාර වීරසිංහ-
උපුටා ගත්තේ ෆේස් බුකියෙනි

Wednesday, December 31, 2014

පාදෙනිය වෛද්‍ය සංගමය විකුණයි.



ඔවුන් ගත් සමහර වෘත්තීය ක්‍රියා මාර්ග ගැන ප්‍රශ්න තිබුනත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙතෙක් කල් රටේ ජනයා දැන ගෙන සිටියේ රටේ තිබෙන ඉතාමත් ප්‍රබල වෘත්තීය සමිතිය වශයෙනි.

එක්දහස් නමසියන් අසූ ගණන් වල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයේදී ඔවුන් එවකට පැවති රජය සමග කෙලින්ම ගැ‍ටුනේ තම අරගල වෘත්තීය කටයුතු වලට පමණක් සීමා නොවන බවත් පෙන්වමිනි,

එහෙත් පසු ගිය කාලයේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නය මතු වූ විට වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය ඇතුලු නායකයන් දැක් වූයේ ඉතාමත් ඇල්මැරුනු විරෝධයකි. කොතලාවල ආරක්ෂක ඇකඩමියේ වෛද්‍ය උපාධිය හොර පාරෙන් විකුණන බවට වෙද සිසුන් චෝදනා කරද්දී පාදෙනිය ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය  ඒ ගැන වගේ වගක් නැතිව සිටියේය.

ඔවුන්ගේ මේ අමුතු හැසිරීම ගැන බළල මල්ලෙන් එලියට පැන්නේ තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සමග මහින්ද රාජපක්ෂට කඩේ යෑමට පාදෙණිය එලිපිටම නිර්ලජ්ජිතව ඉදිරිපත් වීමෙනි.

එම හැසිරීමට තෑගි දැන් පාදෙනියලාට ලැබී තිබේ. ඒ මැතිවරණ අල්ලසක් වශයෙනි. 

එනම් සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍ය වරයෙකුට රුපියල් 20,000 කුත් විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 35,000 කුත් වශයෙන් වූ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

එදා පාදෙනියලාත් සමග  කඩේ යෑමට එක් වූ අනිකුත් සෞඛ්‍ය සේවාවල සමිති නායකයින්ට  දැන් සිදුව ඇත්තේ උඩ බලාගෙන හීල්ලීමටය.

කෙසේ වෙතත් ර.වෛ. නි ලධාරි සංගමයට යම්තමින් ඉතිරිව තිබූ අන්තිම  ගෞරවයත් රුපියල් 35,000 කට විකිණු නායකයා වශයෙන් පාදෙනිය ඉතිහාස ගත වනු ඇත.



කුඹුක්ගැටේ වීරයෝ



කුරුණෑගල කුඹුක්ගැටේදී ලුත් පරපුරේ කලාකරුවන්ට නිල් බලකාය පහර නොදුන් බවත් නිල් බලකාය ට මඩ ගැසීම සඳහා වෙනත් කවුරුන් හෝ එය කරන්නට ඇති බවත් මේ වන විට හොඳටම සැර බාල වී ඇති ඇමති ඩලස් හුලහප්පෙරුම මහතා කියයි.

මේ අනුව තමන්ම ගස් බැඳ ගත් රජයේ සේවකයා, තමන්ටම පහර දී ගත් සරසවි සිසුන්, පොලිසියෙන් නොව දුම්රිය සේවකයින්ගෙන් ගුටි කෑ මගියා ,ඉබේ ගිනි ගන්නා විපක්ෂ කාර්යාල, පොලිසි ඇතුලේ එල්ලී මැරෙන සැක කරුවන්, තම අත් බැඳ තිබියදී පොලිස් නිලධාරින්ට වෙඩි තැබීමට ගොස් වෙඩි කා මැරෙන සැක කරුවන්,තමන්ගේ පිස්‍තෝලයෙන් තම ඔලුවට තඩි බාගන්නා හමුදා නිලදාරින් ආදි අරුම පුදුම ගොන්නට අලුත් පරපුරේ කලාකරුවන්ද ඇතුල් වී තිබේ.

සටහන- මේක නම් මාර රටක් ඕයි. එක්කෝ අපිට පිස්සු, නැත්නම් මේ කතා  කියන උන්ට ඔල්මොරොන්දම්

Monday, December 29, 2014

මගේ ඡන්දය මහින්දට නොහොත් මේ දෑස මක්කටැයි ජැකලයින් නොදු‍ටු


මේ සැරේ ජනාධිපතිවරණේදී කාට චන්දේ දෙන්දෝ  කියලා අහස පොලව ගැට ගැහෙන කම් කල්පනා කොරත් උත්තරයක් ඔලුවට ආවෙම නෑ. 

තරඟේ ඒ තරම් නැගලා යනවා.

මහින්ද මාමී යුද්දේ කලා, පාරවල් හැදුවා ,එයාර්පෝර්ට් හැදුවා( ප්ලේන් නාවාට මොකෝ) , වරායවල් හැදුවා( නැව් නම් නෑ තමා) .

එතකොට මෛත්‍රී මාමා යහ පාලනේ ගේනවා, ඒකාධිපතියෝ එලවනවා, දූෂණේ නැති කොරනවා

මං කියන්නේ කොහොමද මං වගේ හුදී ජනයෙක් මේ දෙන්නා ගෙන් කෙනෙක් ‍තෝරා ගන්නේ.

ඕන්න ඔය වෙලාවේ තමා හුට්ටප්පරේ සිද්ද වුනේ.

අපේ මහින්ද මාමට සපෝර්ට් එක දෙන්නේ ලංකාවෙන් විතරක් නෙවේ කියලා ආරංචි වුනේ.

එයාගේ චන්ද කෙරුවාවට සපෝර්ට් එක දෙන්න ඉන්දියාවෙනුත් ඇවිල්ලා

සල්මන් කානුයි ජැකලයින් කෙනඩියි... වැරදුනා ජැකලයින් ෆර්ඩිනන්ඩ්ස්

ආයේ තවත් මොනවද

ජැකලයින් ෆර්ඩිනන්ඩ්ස් මේ ඇස් දෙකට පණ පිටින් දකින්ඩ සලස්සපු පුණ්‍ය කර්මේම මදිද මහින්ද මාමට චන්දේ දෙන්න



වේලක් ඇර වේලක් කෑවත් මදිද මේ වගේ පිං කඳක් මේ ඇස් දෙකින් දැක්කට පස්සේ.

ඔන්න මම නම් මහින්ද මාමට 

සටහන- සල්මල් කාන් / ජැකල්යින් ෆර්ඩිනන්ඩ්ස් ලංකාවට ඇවිත් මහින්ද මාමට සපෝර්ට් එක දෙන්ඩ  ලක්ෂ පන්සීයක් ගත්තාලු. ඉතින්  මොකද? ලංකාවේම ඉන්න අත්තන ඇට නායකලා ත් ඉතින් නිකම්ම  ආවය මහින්ද මාමිට සපෝර්ට් එක දෙන්ඩ

(photo from Lankadeepa)


Sunday, December 28, 2014

ජනපතිවරණය පසුපස බටහිර තානාපතිවරුන්

මෛත්‍රීපාල සිරිසේනගේ පෝස්ටර් අලවන බටහිර තානාපති වරු කිහිපදෙනෙක්

ඊයේ සවස බටහිර තානාපතිවරුන් හත් දෙනෙක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස සකස් කළ පෝස්ටර් මිටියක්ද පාප්ප බාල්දියක් ද ‍රැගෙන ත්‍රී රෝද රථයක නැගී කොළඹ නගරය  පුරා පෝස්ටර් අලවා ඇති බව ප්‍රවීණ ආරක්ෂක මාධ්‍යවේදී කීර්තී වර්ණකුලසූරිය මහතා ගේ පෞද්ගලික ඔත්තු කරුවෙකු වන එකී ත්‍රී රෝද රථ රියදුරා විසින් දන්වා ඇත. 

ජනාධිපතිවරණයට බටහිර ජාතින්ගේ තානාපතින් කරන මෙම බරපතල මැදිහත් වීම පිළිබඳව සාමකාමි විරෝධයක් දැක්වීම සඳහා දේශහිතේෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම්  වසන්ත බණ්ඩාර මහතා උදලු මිටි, උණපොලු හා පරාල එකතු කරමින් සිටින බවද වාර්තාවේ. 

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ජනපතිවරණය පසුපස බටහිර තානාපතිවරුන් 7ක්‌ 

කීර්ති වර්ණකුලසූරිය 

බටහිර තානාපති කාර්යාල හතක දේශපාලන කටයුතු භාර නිලධාරීන් ජනාධිපතිවරණයට බරපතළ ලෙස මැදිහත් වන බව බුද්ධි අංශවලට අනාවරණය වී ඇත.

මෙම නිලධාරීහු බුද්ධි නිලධාරීන් මඟ හැරීම සඳහා පෞද්ගලික කුලී රථ භාවිත කරන බව සනාථ වී තිබේ.

එක්‌ බටහිර රටක තානාපති නිලධාරීන් දෙදෙනකු රැගෙන ගිය කුලී රථ රියෑදුරෙක්‌ මේ බව බුද්ධි බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම විදේශ නිලධාරීන්ගෙන් පස්‌ දෙනකු හඳුනාගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.

(උපුටා ගැනීම දිවයින බෝතල් පත්තරය)

Friday, December 26, 2014

වාද මණ්ඩප්ප ප්‍රශ්නය


යටගිය දවස ජම්බුද්වීපාසන්නයේ පිහිටිආශ්චර්යලන්තය නම් වූ  කොදෙව් රාජ්‍යයක මැදමූලනි බ්‍රහ්මදත්ත නම් වූ රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරනා සමයේ හට ගත්තා වූ වාද මණ්ඩප්ප ප්‍රශ්නය කෙසේද යත්:

එසමයේ එරටේ  මහා සම්මතයෙන් රජ්ජුරුවන්  ‍තෝරන සිරිතක් පැවත්තේ වසර සයකට වරක් රාජවරණයක් පවත්තන්නේය. ඉදින් මැදමූලනී බ්‍රහ්මදත්ත   රජ්ජුරුවෝද එසේ රාජ ධූරයට පත්ව සිව් වසරක් ඉක්ම ගිය තැන සිතන්නේ මම රාජ්‍යත්වයට පත් වූ දින සිට මගේ ජනයාට වූ සුගතියක් නැත්තේය, උන් සාගින්නෙන් පෙලෙන්නෝය, රටේ නීතියක් නැත්තේය, මගේ බෑයින්ද , නෑයින්ද පුතුන්ද ,සහචරයන්ද එක්ව රාජ්‍ය භාණ්ඩාගාරය සිස් කොට ඇත්තේය. අහෝ තව දෙවසක් ගිය තැන පැවත්වීමට ඇත්තාවූ රාජවරණයෙන් මම් නියතින් පරදින්නේය. ඊට මත්තෙ න් දැන්ම රාජවරණයක් පැවත්තුවහොත්  යම්තමින්වත් දිනා ගත හැකිවන්නේය ආදි වශයෙන් සිතා හදිසි රාජවරණයක් කැඳවන්නේ තමන්ට ප්‍රතිමුඛව තරඟ වදින්නට සුදුසු මල්ලවයෙක් නැති බව සිතා සැනහෙන්නේය.

එකල්හි  රජ්ජුරුවන්ගේ ප්‍රතිමුඛයෝද මහත්  සේ කම්පිතව ,මෙවරත් අපට නම් දිනිය නොහැක්කේය, අහෝ රාජ භාණ්ඩාගාරයෙන් අපේ කුස් පුරවා ගන්නේ කෙසේදැයි සිතමින් දුක් වන්නෝයය.

එකල්හි මැදමූලනි රජ්ජුරුවන්ගේ මෙත් පල්  නම් වූ ඇමත්තෙක් සිටියේය. ඌ තෙම රාජසභාවේ මහ ඇමති කම්  තමන්ට ලැබෙතැයි සිතා එලුවා ගේ බිජුව වැටෙන තෙක් පස්සෙන් ගියා සේ ගොස් වෙහෙසව සිතන්නේ කිම්ද මේ මා කරන්නේ, මහ ඇමති කම් මට නම් කිසි කලෙක නොලැබෙන්නේය. මේ රජුට කදිම  පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා රජ්ජුරුවන්ගේ ප්‍රතිමුඛයෝ සම්බ වී උන් සමග මන්ත්‍රණ කර තෙමේම රාජවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධ කලාහුය.

මැදමූලනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මේ කුමක් සිදු වීදැයි විස්සෝප සිටින්නාහු, කටවුට් නම් වූ පලක විශේෂයක් රට පුරා සි‍ටුවා  භාණ්ඩාගාරය තව තවත් සිස් කරන්නේ ජනයා අතර තවත් අප්‍රසාදයටම ලක් වන්නාහුය.

මේ අතර මෙත්පල් ඇමත්තාද රජ්ජුරුවන් සමග එක පතේ කෑ පුරුෂයෙක් වූ නිසා ඌගේ සියලු රහස් දන්නේ , තමන් හා වාදයකට එන ලෙස රජ්ජුරුවන්ට අභියෝග කරන්නේය. රජ්ජුරුවෝද වාදයෙහි තම අසමත් කමත් , මෙත්පල් ඇමත්තා තම සියලු රහස් දත්  නියාවත් දන්නේ වාදයට යාමට බිය වූවාහු කුමක් කරන්නේදැයි ශෝකයෙන් මුසුප්පු වී සිරි යහන් ගබඩාවට වැද මුනින් තලා වී සිටින්නේය.

රජ්ජුරුවන් ශෝකයෙන් සිරි යහන් ගබඩාවට වැද සිටින්නා වූ පුවත් අසා අලහප්පෙරුමයා වූ ඇමත්තා පැමිණෙන්නේ රජුගෙන් ශෝකයට කාරණා අසා මෙසේ කියන්නේ

"එම්බල රජ්ජුරුවන් වහන්ස, ඉදින් තොප මෙත්පාලයා හා වාදයට අසමත් නම් තොපට ඌ හා වාදයක් නැතැයි පවසව" කියූහ.

රජ්ජුරුවො එවිට කියන්නේ බල කෙල තොල්ල එවිට මට මහත් ලජ්ජාවක් නොවෙන්නේදැයි අලහප්පෙරුමායාගෙන් ඇසූහ.

එවිට අලහප්පෙරුමයාද කියන්නේ බල රජුනි, තොප බිය නොවව.මේ අලහප්පෙරුමයානම් මහත්  ඥාණය ඇත්තෙක්මි. මා කරනා දෙය බලනු මැනවි යැයි කියා මහත් සභාවක් කැඳවා මෙසේ කීවාහු  බල කොල්ලනි, මෙත්පලුවා අප රජ්ජුරුවන්ට වාදයකට ආරධනා කළ  බැව් සැබෑවකි, නමුත් එතුමාගේ ඇමති මණ්ඩලය වන අප එකහඬින් එතුමාට  මෙත්පල් ඇමත්තා හා වාදයකට නොයන ලෙසට අණ කළ බැවින් එතුමා ජනසම්මතවාදි ලෙස ඒ වාදයට නොයන්නාහු යැයි පතල කළා හුය.

ඒ ඇසූ කොදෙව් වාසි ජනයාද උදරයන් අල්ලා ගෙන සිනහ සෙන්නේ අපට නම් සිටින්නේ අපූරු රජෙක් හා උහුටම ගැලපෙන ඇමැත්තන් යැයි සතු‍ටු වූවාහුය.

Wednesday, December 24, 2014

මහින්දට ජය නියතයි, මෙන්න නියම ජෝතිෂ්‍ය අනාවැකි.



එලඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා මාර ජයක් ලබන බව අප ස්ථීර වශයෙන්ම පවසමු. මේ බව අප කියන්නේ නිකමට ආ ගියාට නොව අප විසින් බොහෝ දුක් විඳ ඉන්දියාවේ හිමාල පාමුල වෙසෙන සෘෂි වරුන්ගෙන් ඉගෙන ගත් සුප්‍රසිද්ධ ආතකර්ම  ජෝතිෂ්‍ය  විද්‍යාව අනුවය.

ඒ සෘෂින් අපට ලබා දුන් ශාස්ත්‍රය අනුව  ජනවාරි අට දින වෙන විට සඳු පස් වෙනි රාශියටත් සෙනසුරු දශවෙනි  රාශියේ තුන්වැනි අංශකයටත්  ගමන් කරනු ඇත. මෙය තමන්ගේ නමට  හි  අක්ෂරය  ඇති අයට ඉතාමත් සුභ පල දෙන යෝගයකි.

ඊට අමතරව බ්‍රහස්පති අට වැන්නේ ද කුජ හත්වැන්නේද සිටින අතර එම යෝගය  නමට ද අක්ෂරය  ඇති අයට  රාජ සම්පත් හිමි කරන යෝගයකි.

අනික් වැදගත්ම කාරණය නම් අට වැනිදා උදා වෙන පත්‍රසාල නැකතයි. මෙය අල් න යන්න (න්) තම නමට ඇති අයට  සියලු වස්තු ඉසුරු පමණක් නොව රාජ බලයද හිමි කරලන නැකතකි.

මේ සියලු කාරණා සලකා බැලූ විට අපට පෙනී ගියේ  ජනවාරි අට වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති චන්දයෙන් අති විශාල ජයක් ලබන බවයි. 

මෙම සුභ පල අවම කර ප්‍රත්වාදින්ට ජය ලබා දිය හැකි  නොයෙක් ශාන්තිකර්ම ක්‍රම අප  දැන සිටියත් ඒවා හෙලි නොකිරීමට අප තීරණය කර ඇති නිසා ඒවා ගැන  අසා කරදර නොකරන මෙන් විරුද්ධ පාක්ෂිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සටහන- මෙය  රටේ නායකයින් ප්‍රමුඛ මිථ්‍යාමතයන් හි ගැලී සිටින සකල ශ්‍රී ලංකා වාසින්ට  කලා මැදිරියාගෙන් පිදෙන තු‍ටු පඬුරකි.