Tuesday, December 18, 2012

පිටසක්වල ජීවින් සිටින බවට සාක්ෂි


මේ දිනවල අහසින් එක එක ජාතියේ කෑලි බෑලි වැටෙමින් තිබේ. 

උල්කාපාත, උල්කාෂ්ම, ග්‍රහක පමණක් නොව ග්‍රහලෝක පිටින්ම කඩා වැටේ. මේ කඩා වැටිල්ල කොච්චර භයානක දැයි කිව්වොත් , පසුගිය කාලයේ අගමැටිකමට  ෆයිට් කර  දැන්  පැත්තකට වී විරහ ගී ගයන පොලොන්නරුවේ සිරිසේන ඇමති තුමාගේ සෞඛ්‍ය  අමාත්තියාංසෙත් නිවේදනයක් නිකුත් කර අහසින් කෑල්ලක් කඩා වැ‍ටුනොත් එයාලගේ වෛද්‍ය පර්යේෂණ ආයතනෙට දන්වන්නැයි කීවේය.

පහු ගියදා රතු වැස්සක් කඩා පාත් වූ විට කවුදෝ මනුස්සයෙක් දිය සෙවල බැඳුනු බෝතලයකට එකතු කර ගෙන ආ ජලය පරීක්ෂා කර රතු  වැස්සට හේතුව ජලයේ තිබූ ඇල්ගී වර්ගයක් බව කීවේ මේ  වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. ( මේ ජලයේ කිසිම ජීව කොටසක් නැති බවත් ඇත්තේ ලෝහ වර්ග පමණක් බවත් ඊට පස්සෙ  හෙලි විය)

ඒ කතා මොනවා වුනත්  මේවායෙන් අපි පරිස්සම් විය යුතුය.මක් නිසාද යත් මේවා අපේ ඔලුවට කඩා වැටෙන නිසාය. ඊයේ පෙරේදා දවසක මේ වගේ උල්කාවක් මගේ ඔලුවටම කඩා වැ‍ටුනේය.පිටසක්වල ජීවින් සිට්න අබ්ව මම දැන ගත්තේ මේ මගේ ඔලුවට වැ‍ටුනු උල්කාපාතය නිසාය.

  මේ උල්කාපාත පලහිලව්, ලෝක විනාශ කතා ආදිය නිසා ඔලුව තීන්තු වී සිටින  නිසා මේ දවස් වල  මම එලි පහලියට ගියත් ඉන්නේ හෙල්මට් එකක් දමා ගෙනය. උල්කාපාත  කෑලි වලින් ඔලුව බේරා ගන්නටය.

උල්කාපත කඩා වැ‍ටුනත් යන්නට ඕනෑ ගමනක් තිබූ නිසා පහුගිය සෙනසුරාදා හවස් ජාමේ මගේ තැපැල් නයින්ටි කබලට නැගලා පැට්‍රොල් ෂෙඩ් එකට ගියේ බයිසිකලේට පැට්‍රල් ලීටර් එකක් ගහ ගන්නටය.

මගේ ඔලුවට උල්කාපතයක් කඩා වැ‍ටුනේ හරියටම මම ෂෙඩ් එකට අවුත් ඉන්දන පොම්පේ ලඟ බයිසිකලේ නැවත්වූ  විටය. 

මගේ ඔලුවට හෙණ ගෙඩියක් පාත් වූවාක් මෙන් දැනුනේය. ඔලුව කර්පට් වී මම කුජීත වී ගියෙමි. දෑස නිලංකාර විය. වමනේ යන්නට එනවාක් මෙන් දැනුනේය. ඔලුව කැරකෙන නිසා දෑස පියා ගත්තෙමි.
විනාඩියකට පමණ පසු ඇස් ඇර බැලූ විට මගේ හිසේ වැදුනු උල්කාව විසි වී ගොස් පැට්‍රල් පොම්පයේ වැදී ඇලී තිබෙනු මම දැක්කෙමි.

මමද හොඳින් ලංව  ඒ දිහා බැලුවේ මීට පෙර උල්කාපාතය්ක් දැක නැති නිසාය.පෘතුවියෙන් පිට ජීවින් සිටින බවට මම දැන ගත්තේ ඒ වෙලාවේය. ඒ උල්කා කෑල්ලේ මොනවාදෝ අකුරු වගයක් , තිබුනේය.
මම තවත් හොඳින් බැලුවෙමි.

පැට්‍රල් පොම්පයේ ඇලී තිබුනු  උල්කාපාත කෑල්ලේ මේ අකුරු තිබුනේය.

"පැට්‍රල් ලීටර් 1ක් රු. 159.00"

සටහන- මේ ආකාරයේ උල්කාපාත ,උල්කාෂ්ම  ,ග්‍රහක ආදිය ඉදිරි කාලයේ කඩා වැටීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥයෝ කියා සිටින නිසා සකල ජනතාවම ආරක්ෂා කාරි පියවර ගෙන තිබීම උචිත වේ. ඒ ඒ ග්‍රහ වස්තු අනුව ඒවායෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී දැනුම් දීමටද අපි බලාපොරොත්තු වෙමු.
නාසා (ලණු) ආයතනයෙන් දැන ගැනීමට ලැබුණු තොරතුරකට අනුව "පොහොර සහනධාරය කැපීම" නමැති විශාල ග්‍රහකයක් මේ දිනවල පොලව දෙසට ඇදෙමින් පවතින අතර  තම කුඹුරුවල මල පහ කිරීම මගින් එයින් සිදු වන හානිය අවම කර ගත හැකි බව විද්‍යාඥ ආචාර්ය නාත නලින් ද සිල්වා මහතා සොයා ගෙන තිබේ.

5 comments:

  1. ඔව්වා දෙන්න කලිං හිතන්න තිබුනා අනාගතේ කපන්න වෙයිද කියලා.

    ReplyDelete
  2. පෘතුවි වාසින් ලෙස වෙස් වලාගෙන ඉදිරියේදී ඇතිවීමට නියමිත පිටසක්වල ආක්‍රමණයකට පහසුකම් සැලසීම හෙළිදරවු නමුත් තහවරු කල නොහැකි පිටසක්වල කුමන්ත්‍රණයකි. (x - file කථා මාලාව බලන්න).
    ලංකාවේ සිටිනා වෙස්වලාගත් පිටසක්වල ජීවින්,
    1. මහින්ද රාජපක්ෂ නමැති ජීවියා ( අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නොවේ )
    2. එස්. බි. දිසානායක නමැති ජීවියා
    3. බන්දුල ගුණවර්ධන නමැති ජීවියා
    4. වාසුදේව නානායක්කාර නමැති ජීවියා
    5. විමල් විරවංශ නමැති ජීවියා
    6. පි. බි. ජයසුන්දර නමැති ජීවියා
    7. අජිත් නිවාඩ් කබ්රාල් නමැති ජීවියා
    8. දම්මික පෙරේරා නමැති ජීවියා
    9,. රනිල් වික්‍රමසිංහ නමැති ජීවියා
    10. සජිත් ප්‍රේමදාස නමැති ජීවියා
    11. කරු ජයසුරිය නමැති ජීවියා
    12. සෝමවංස අමරසිංහ නමැති ජීවියා
    කොහොමද වැඩෙ සෙල්ලම් නැ නේ!!!!!!

    ReplyDelete
  3. මොකට කෙලියත්.. ලොක්කා දැක්කම හැම එකාම දපනේ වැටෙනවනේ... ඒකනේ කරුමේ....

    ReplyDelete
    Replies
    1. //ලොක්කා දැක්කම හැම එකාම දපනේ වැටෙනවනේ//
      මේ අන් කිසිවක් නිසා නොව පිටසක්වල ජීවීන්ගේ මිනිස් මනස පාලනය කිරීමේ හැකියාව නිසයි ( වෙන විදියකට මේවාටට අර්ථනිරුපන දෙන්නබැනේ! x - files දිගටම බලන්න!!)

      Delete