Saturday, December 22, 2012

ඩෙංගු හා වංගු




ආයුර්වේද වෛද්‍යවරියක්  විසින්  ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන ඖෂධයක් සොයා ගෙන ඇතයි මේ දිනවල ඇතැම් මාධ්‍ය විසින් මහා ඝෝෂාවක් කරනු අප දු‍ටුවෙමු.

එසේම ඇයගේ මෙම සොයාගැනීම පාගා දැමීමට බටහිර ඖෂධ සමාගම් සමග එකතුව බටහිර වෛද්‍යවරුන් කටයුතු කරන්නේ යැයි චෝදනාවක්ද අපගේ ඊනියා දේශප්‍රේමි මහත්වරුන් විසින් කර තිබුනි.

මේ පුවතත් සමග ප්‍රශ්න රාශියක් අප සිතේ මතු විය. මේ ප්‍රශ්න මතු කරන්නේ නොදන්නා කමට අසා දැන ගැනීමට මිස  කිසිවෙකුගේ සිත් රිදවීමටනම් නොවේ. (ඇත්තමයි)

දැන් මේ වෙද තුමිය ඩෙංගු රෝගය සුව කරන්නේ රෝගයේ කුමන අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන්ද?

රෝගයේ ආරම්භක අවස්ථාවේදීද?ඩෙංගු රක්තපාත අවස්ථාවේදීද?

එසේත් නැත්නම් කම්පන තත්වයට පත් වූ පසුද?

ඇය තමන්ගේ ඖෂධයෙන්ම  නිට්ටාවට ඩෙංගු රෝගය සුව වන බව කියන්නේ කෙසේද?

ඩෙංගු රෝගින්ගෙන් 99% ක්ම සුව වන බවත් මිය යන්නේ 1% අඩු ප්‍රතිශතයක් බවත් ඇය දන්නවාද?

එසේ නම් ඇය සුව කරනවා යැයි කියන්නේ මේ මිය යන  1% ක ප්‍රමාණයද?

එසේ මිය යන අය තම ඖෂධයෙන් සුවපත් වන බව ඇය සොයා ගත්තේ කෙසේද?

ඩෙංගු රක්තපාත හෝ කම්පන තත්වයට පත් රෝගීන්ට වෙන කිසිම ඖෂධයක් නොදී ඇගේ ඖෂධ වලින් ප්‍රතිකාර කිරීමෙන්ද?

එවැනි පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධයක් මිනිස් රෝගීන්ට දෙමින් ඔවුන්ගේ ජීවිත අවදානමේ හෙලන්නට ඇයට අවසර දුන්නේ කවුද?

එසේ කිරීම කොතරම් සදාචාර සම්පන්නද?

නිවැරදි බෙහෙත සොයා ගැනීම සඳහා තමන්  බොහෝ වතාවක් පරීක්ෂන කල බවත් බොහෝ ඖෂධ පරීක්ෂා කල බවත් ඇය පවසා තිබේ. මෙම ඖෂධය සොයා ගැනීමට බොහෝ සේ මහන්සි වී තිබේලු.

එසේ නම් මෙම නිවැරදි ඖෂධය හැර ඇය පරීක්ෂා කල අනික් ඒවා වැරදි බව ඇය දැන ගත්තේ කෙසේද?

ඒවා දුන් ඩෙංගු රෝගීන් මිය ගිය නිසාද?

එසේ මිය ගිය ඩෙංගු රෝගීන් ගණන කීයද?

ඒ ගැන ඇය සෞඛ්‍ය බලධාරින්ට වාර්තා කර තිබේද?

මෙම ඖෂධය නිසා ඇතිවන අතුරු ආබාධ ගැන ඇය සොයා බැලුවේද?

සටහන- මෙම ඖෂධයට අනුමැතිය දුන් ආයුර්වේද බලධාරින් මේවා ගැන සොයා බැලුවේදැයි අප නොදනිමු.මෙම ප්‍රශ්න වලට පිලිතුරු අය සතුව නොමැති බව අප දනිමු. මෙය  මෙරට පවත්නා නූගත් කමත්, මිථ්‍යා විශ්වාසයනුත්, මේ සමයේ විරාජමාන ව සිටින ඊනියා ජාතිකවාදයත් ගැන හොඳ අවබෝධයකින් ජනතාව ගසා කෑමට කරන උත්සාහයක් වීමට හෝ එසේ නැත්නම් යම්කිසි මානසික රෝගයකින් පෙලෙන අයෙකුගේ විකාරයක්  වීමටත්  ඉඩ තිබේ.


8 comments:

  1. මේ ගැන කතා කරන්න විද්‍යාඥයන් කියා ජාතියක් ලංකාවේ නැහැ. ඉන්නේ දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න පොතේ ගුරාල පිරිසක්.

    ReplyDelete
  2. හොඳ ප්‍රශ්න ටිකක්.. ඇත්තටම සොයා බැලිය යුතු කාරණා තමයි...

    ඒ වගේම මේ වගේ කාරණයකදී බටහිර වෛද්‍ය අංශයත් ඒ ගැන සැලකිලිමත් වෙලා ටිකක් හරි මේ සම්බන්ධව කටයුතු කරනවනං හොඳයි.. එක පාරටම ප්‍රතික්ෂේප කරන අඩියටම නොවැටි.. මොකද කොහොම කවුරු හොයා ගත්තත්..ඒකේ යම් සත්‍යතාවයක් තියේනං ඒ ප්‍රතිලාභය සමස්ථ මිනිස් වර්ගයාටම යා යුතු නිසා.. එහෙම නැතිව කිසිදු සොයා බැලීමක් හෝ ඒ සම්බන්ධව උනන්දුවක් හෝ නැතිව එක එල්ලේ ප්‍රතික්ෂේප කිරීම පමණක් ඒ හැටි හොද දෙයකු නෙවෙයි... මොකද එතැනදී බලං ඉන්න අයට පේන්නේ බටහිර වෛද්‍ය වෘත්තිකයින්ගේ තියෙන කුහකකම වගේ දෙයක් නිසා...

    මේ වෙනකොට මිනිස්සුන්ට යම් කිසි චිත්‍රයක් දීලා තියෙන්නේ එයාලා තමුන්ගේ කුහකකං ගැන...ඒ දේ වැඩි වර්ධනය කරගන්න කරුණු නොදී මිනිස්සුට යහපතක් කල හැකිනම් ආයුර්වේද බැරිනං ගස් වෙදකම ගැන උනත් ටිකක් හොයා බලන්න උනන්දු විය යුතුයි... ඒ සම්බන්ධව පරීක්ෂන කරන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැති එක ගැනනං කණගාටුයි... අපේ අයට පොල් කැඩිල්ල එයිට ලොකුයිනේ...

    ReplyDelete
  3. බොහොම අගේ ඇති ළිපියක්... මේ ප්‍රශ්ණ කිරීම් කල යුත්තේ ඒ සඳහා අපේ රටේ ඇති ආයතන එවන් ආයතන හා විශ්ව විද්‍යාල කප්පරක් තිබුනත් කරන මලදානයක් නෑ.. සුපිරි පඩි අරගෙන අපි උගත්තු කියන් එක විතරයි කරන්නේ. එහෙම තියෙද්දි මේ වගේ ගමක කෙල්ලෙක් මොකක් හරි හොයාගත්තාම කරන්න ඕන ඒවා විදේශයන්ට ඉතිරිපත් කොට නිවැරදිතාවය තහවුරු කිරීමයි. රේල් ගේට්ටු නැතිව මිනිස්සු මැරෙණවා. මම දැක්කා නිර්මාණ කරුවන් දෙදෙනෙක් ඉතා අඩු මිළ ගේට්ටු දෙකක් නිපදවා තියෙනවා. ඩ්‍රීම් ස්ටාර්ලට සුභ පතන පහේ සිස්සත්තේ පාස් දරුවෝ අරලිය ගහ මන්දිරේට ගෙනල්ලා ඇප්‍රිෂේට් කරන ලොක්කත් මේවා ගැන නෝ කතා... එහෙව් රටකට කවදා පායයිද....................?

    ReplyDelete
  4. නාථ දෙවියන්ගෙන් අහලත් පරීක්ෂණ කොරන රටේ ....

    ReplyDelete
  5. ලංකාවේ ජාතික චින්තන වියාපෘතිය තුල විද්‍යාව, විද්‍යාත්මක ක්‍රමය හා පරීක්ෂණ ඇදදමා ඇති සෝචනීය තත්වය කියපන තවත් නාඩගමකි. (පෝල් ෆෙයරාබන්ඩ් ,Against Method හා ලංකාවේ ජාතික චින්තන තවදුර කියවන්න මධ්‍යස්ථානය, ඉතිහාසයේ හදිසි අනතුරු http://centrelk.blogspot.com/2012/12/blog-post_12.html#more). මෙහිදී සිදුවන්නේ ජාතික චින්තන කුලකය විසින් ස්ථාපනය කලාවූ විලම්භීත දෘෂ්ටිවාදයන් වැලදගත් මාද්‍ය වේදීන් පිරිසක් එම දෘෂ්ටිවාදයන් තුලම සිටිනා තම පටකයින්ට කුමක් හෝ කුණුගොඩක් බුදීමට ඉඩදී තම ලාබ රෙට්ටුව වැඩිකර ගැනුමයි (ධනවාදය තුල මාද්‍යයේ පිස්සු බලු හැසිරීම) මෙය මෙහි විකුර්තිය ප්‍රකාශවිමයි.
    නමුත් මෙවැනි "පරීක්ෂණ" කරන්නන් මෙවැනි "අවිධිමත්" අත්හදා බැලීම් කරන්නේ ජාතික චින්තන කුලකයේ දෘෂ්ටිවාදී ලයිසම හරහාය. ලංකාවේ අයුරුවේද පරීක්ෂණ සදහා දන්නා තරමින් වෙනම පරීක්ෂණ අයතනකක් වෙයි (Bandaranayake Memorial Ayurvedic Research Institute) ඔවුනට අනුව විදිමත් අයුරුවේද පරීක්ෂණ සදහා ඔවුන් කැපවිසිටි ( Mission - focussed & well planned research and development in every aspect of Ayurveda to enhance & improve the contribution of Ayurvedic medicine to the healthcare of mankind). නමුත් වෙන්නේ අනිකකි.මමෙම තත්වයට ලංකාවේ සම්බාව්‍ය උගතුන් ඍජුව වගකිය යුතුවෙයි. ඔවුන්ගේ වගකීම් විරහිත නිද්‍රාව මෙම තත්වයන්ට හේතු වෙයි.

    පා.ලි - කල්පිතයක් ලෙස මෙම වැයමට විද්‍යාත්මක වටිනාකමක් ඇත. නමුත් කල්පිතයන් විදිමත්ව සනාථ කල යුතුව ඇත.

    ReplyDelete
  6. ආයුර්වේද ක්‍රමයි බටහිර වයිද්‍ය ( IME fault ) ක්‍රමයි
    පටලගන්න හොද නැහැ.ඒ මනුස්සය ඉතින් මොකක්
    හරි කොළ ටිකක් කොටලා කාට හරි පොවන්න ඇති.
    ඒකෙන් සනීප උනා කියල පබ්ලිසිටියක් දුන්නා
    පත්තර වලින්.මන් හිතන්නේ එහෙම දෙයක්
    ඔතන උනේ.

    ReplyDelete
  7. ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථකයි කියලා නිගමනයකට එන්න කලින් විද්‍යාත්මක ක්‍රමය යටතේ තමන්ගේ පරීක්ෂනය කරලා ඊට පස්සේ animal study/clinical trials වලට ගිහින් තමයි අවසානයේ වාර්තාව නිකුත් කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙදි නම්! මෙතනදි ඔබ කියූ ආකාරයට ඇගේ clinical trials ගැන කිසි සදහනක් නෑ.

    ReplyDelete
  8. ඔබේ ලිපියේ කරුනු හොඳ වූවත් කිසි ගැලපීමක් නැත. ලිපි පල කරද්දී නියමිත දින පිලිවෙලකට කරන්න. එසේ නැති විට පාඨකයන්ගේ පැමිනීම අඩු වේ. ඔබට වී ඇත්තේ එයයි.

    ReplyDelete