Sunday, May 25, 2014

කතරගම දෙයියෝ මාර පොරක්නේ ඕයි




කතරගම යනු දෙවියන්ගේ රටය. එහෙයින් දෙවියන්ගේ අඩවියේ අකටයුතුකම් කරන කිසිවකුට යහතින් විසීමට නොහැකි බව තතු දත්තෝ පවසන්නාහ. කතරගම පූජා භූමියේ සේම දෙවියන්ගේ අඩවියේ බෝම්බ පුපුරවා ලේ විලක්‌ කළ ත්‍රස්‌තවාදීන්ට මෙන්ම කැරළිකරුවන්ට අත් වූ ඉරණම අපි පසුගිය සතියේ සටහන් කර තැබුවෙමු. මේ සතියේ අප පෙළගස්‌වන්නට යන්නේ කපුකම රජකම කරගෙන අවසානයේ පණපිටින් අපාගත වූ කතරගම දේවාලයේ කපු මහත්වරුන් ගැනය. දේව සාපය ලැබුණු ආශ්චර්යමත් කතා අපට කීවේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරාන්දර සොමිපාල ටී. රත්නායක මහතාය. මේ පෙළගැසෙන්නේ ඔහු කියන කතාය.

 දෙයියෝ කිලිවලට බයයි. කිල්ල කියන්නේ විෂබීජ. ඒ නිසා දෙවියන්ට කරන පුද පූජා පිරිසිදුව භක්‌තිවන්තව කරන්න ඕනා. ....... කතරගම දෙවි හාමුදුරුවන්ට භක්‌තිවන්තව පුද පූජා කරනකම් යාදෙයි. එහෙම නැති වුණොත් අපිටත් වරදියි. ඒ වගේම තමයි පිරිසිදුව නොතබන කිසිම පූජාවක්‌ දෙයියෝ බාරගන්නෙත් නැහැ.

අද වගේ නෙමෙයි ඉස්‌සර කතරගමට මේ විදිහට බැතිමතුන් ආවේ නැහැ. ඒ නිසා කපු මහත්වරු හේන් වැඩ කරන ගමන් ඇවිත් තමයි දෙවියන්ට පූජාව තියලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම කරපු කපු මහත්වරුන්ටත් දේව දඬුවම් ලැබිලා තියෙනවා. සල්ලිවලට ඇති තණ්‌හාවට කතරගම දේවාලයට ලැබෙන තුටු පඬුරු පොදි ගහපු කපුමහත්වරුන්ගේ අන්තිම කාලයේ අතේ පිච්චිය නැතිව පාරක්‌ පාරක්‌ ගානේ හිඟා කනවා අපි දැකල තියෙනවා. කතරගම දේවාලයේ වැඩ කරපු කපු මහත්වරු හුඟ දෙනකුට ඒ අයගේ ජීවිතේ අවසාන භාගය බොහොම දුක්‌ත ඉරණමකට මුහුණ දෙන්න වුණා. අපි ඒ දේවල් ඇස්‌ පනාපිට දැක්‌කා. නම් ගම් හෙළි කරන්න කැමති නැහැ. මම ඒ වගේ සිද්ධි ටිකක්‌ මතක්‌ කරන්නම්.

බොහොම අමාරුවෙන් ජීවත් වුණු මනුෂ්‍යයෙක්‌ව මම දේවාලේ කපුකමට ගත්තා. මිනිහා මුලදි බොහොම හොඳට දේවකාරිය කරගෙන හිටියා. ටික ටික අතට සල්ලි ලැබුණා. ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන ගත්තා. දියුණුවත් එක්‌කම මිනිහට මුල අමතක වුණා. ඒ හැම දේම දෙන්නේ දෙවි හාමුදුරුවෝ විත්තිය අමතක වුණා. සම්පූර්ණයෙන්ම වෙනස්‌ම මිනිහෙක්‌ වුණා. හොඳ හැටි මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. පිළී ජාති කෑවා. අපිරිසිදුව දේවාලයට ආවා ගියා. අන්තිමට කපු මහත්තයා දේවාලයට උදේට වෙන කෙනෙක්‌ව එවලා එයා ආවේ රෑට. එහෙම ඇවිත් දේවාලය වහලා යනකොට එදා දවසේ ලැබෙන තුටු පඬුරු ටික මල්ලකට දාගෙන අරගෙන ගියා. ඒ පඬුරු මල්ල ගෙනියන්නෙත් එයත් එක්‌ක එන බල්ලා. කපු මහත්තයා කාර් එකෙන් යනවා. බල්ලා ඒ කාර් එකට ඉස්‌සරහින් සල්ලි මල්ලත් කටින් උස්‌සාගෙන දුවනවා. ටික කාලයක්‌ ඒ සෙල්ලම කරගෙන ගියා. අද නවත්වයි, හෙට නවත්වයි කියලා අපිත් බලාගෙන හිටියා. කතරගම දෙවි හාමුදුරුවොත් බලාගෙන ඉන්න ඇති. ඒත් නැවැත්තුවේ නැහැ. කෑවා බිව්වා හොඳට විනෝද වුණා. අන්තිමේ මිනිහට හැදුනා සිරෝසිස්‌ රෝගය. කොළඹ තියෙන හැම පුද්ගලික ඉස්‌පිරිතාලේකම නැවතිලා ප්‍රතිකාර ගත්තා. හම්බ කරපු සල්ලි ඉවර වෙනකම්ම රෝහල්වල නැවතිලා ප්‍රතිකාර ගත්තා. ඒත් සුවයක්‌ දැක්‌කේ නැහැ. අන්තිමේ කොළඹ එක පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක්‌ කියලා තිබුණා හොඳ කරන්න පුළුවන්. හැබැයි ආයෙමත් බොන්න එපා කියලා. කිව්ව වගේ හොඳ වෙලා ආවා. දවස්‌ දෙක තුනයි හිටියේ ආයෙමත් බොන්න පටන් ගත්තා. මිනිහා මැරුණා. ඒ වෙනකොට මිහිහට බෙහෙත් කරන්න ඉඩකඩනුත් විකුණලා තිබුණේ. අන්තිමේ පවුලේ උදවියත් බින්දුවටම වැටුණා.

එකදහස්‌ නවසිය ගණන්වල කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරාන්දරය දැරූ කපු මහත්තයත් හොඳට මස්‌ මාංශ කාපු කෙනෙක්‌. ඌරු මස්‌ කාලා දේවාලයට ඇවිත් පූජාව තියලා. වතුර පොදක්‌ නාන්නේ නැතිව ඇවිත් දේවාලයේ පූජාව තියලා, කාලයක්‌ දේවාලේ කපුකම කළා. එහෙම ඉන්නකොට අකාලයේ අසනීප වෙලා අන්තිමේ ඇවිද ගන්න බැරිව ගියා. මැරෙනකම්ම කොළපතක්‌ පස්‌ස පැත්තෙ බැඳගෙන තමයි ඇවිද්දේ. ඒ මනුස්‌සයා මැරුණු වේලාවේ ගිනි ගහන පෑවිල්ලේ කතරගමට මහා වර්ෂාවක්‌ වැස්‌ස. වැස්‌ස පෑව්වේ මරණය කටයුතු කළාට පස්‌සෙයි. වැස්‌සෙ ඝනකමට සොහොන ගිනි ගත්තෙත් නැහැ. අන්තිමේ ටයර් දාලා පෙට්‍රල් ගහල තමයි මිනිය පිච්චුවේ.

මේ තවත් දේව සාපයක්‌ ගැන කියෑවෙන කතාවකි. දේවාලයේ දෙවියන් වැඩම වන ආසනය හඳුන්වනු ලබන්නේ 'වත පුටුව' නමිනි. එක්‌ බැතිමතකු එම මත පුටුවේ පවුම් දහයක මාලයක්‌ පැළඳවීමට භාරයක්‌ විය. එම භක්‌තිවන්තයා දෙවියන් ඉදිරියේ පැතූ පැතුම් එලෙසින්ම ඉටු විය. එසැණින් ක්‍රියාත්මක වූ භක්‌තිවන්තයා භාර වූ පරිදිම කතරගම දේවාලයේ පෙරහැර පැවැත්වෙන දිනයක රන් මාලය ගෙනැවිත් "වත පුටුවට" පැළැන්දුවේය. අනතුරුව ඔහු ඉහවහා ගිය සතුටින් කාවඩි නටමින් පෙරහැරේද ගමන් කළේය.

ඒ භක්‌තිවන්තයා රන් මාලය "වත පුටුවට" පළඳින අවස්‌ථාවේ එහි සිටි කපු මහතාට මාලය ගැන ලෝභ සිතක්‌ පහළ විය. පහුවදා හිමිදිරියේම කපු මහතා ක්‍රියාත්මක විය. දේවාලයට පැමිණි කපු මහතා රන් මාලය තම කමිස සාක්‌කුවේ දමා ගත්තේ එවැනිම රිදී මාලයක්‌ සකස්‌ කර රන් ආලේප කර ගෙනත් "වත පුටුවේ" පැළඳීමට අදිටන් කරගෙනය. එය රහසක්‌ වශයෙන් තබාගැනීමටද ඔහු සිතා ගත්තේය. එම වටිනා රන් මාලය තම ආදරණීය බිරිඳට තෑගි කර කපු මහතා රිදී මාලයක්‌ ගෙන ඒමට වෙළෙඳපළට ගියේය.

කතරගම ගිනි ගහන පෑවිල්ලය. එහෙත් හොර කපුවා නිවසින් එළියට බසින විටම හෙන පුපුරමින් මහා වැස්‌සක්‌ ඇදහැලිණි. එහෙත් සවස්‌ වීමට පෙර "වත පුටුවට" මාලයක්‌ පැළඳිය යුතු බැවින් ඔහු වැස්‌ස මැදින් වෙළෙඳපොළට යැමට පය ඉක්‌මන් කළේය. වැඩිදුරක්‌ ගමන් කිරීමට නොහැකි විය. පය ලිස්‌සා මහ මඟ ඇද වැටී දරුණු ලෙස හිස තුවාල විය. ගම්වැසියෝ එකතු වී කපුවා රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු යන ලෝකයට ගොස්‌ තිබිණි. මහ වැස්‌ස මෙන්ම සුළඟ ද ප්‍රචණ්‌ඩ විය. සුළඟ ගස්‌ කොළන් කරකවා පොළවට කඩා දැම්මේය. කපු මහතාගේ නිවසට ද ගසක්‌ කඩා වැටී නිවසේද අඩක්‌ කඩා වැටිණි. ඒ මොහොතේ නිවසේ අනෙකුත් සාමාජිකයන් ඥති නිවසකට ගොස්‌ සිටි බැවින් නිවැසියන්ට අනතුරක්‌ නොවිනි. එහෙත් කපු මහතාගේ මිනිය තම නිවසට ගෙන ඒමට නොහැකි විය. එමෙන්ම මිනිය භූමදානය කිරීමට නොහැකි ලෙසට විරාමයක්‌ නොමැතිවම වැස්‌ස වැටිණි. එහෙත් ප්‍රදේශවාසීන්ගේ මහත් පරිශ්‍රමයෙන් කෙසේ හෝ මිනිය භූමදානය කර තිබිණි. ටික කලකට පසු මාලය පැළඳ ගත් කපු බිරිඳ ද කොඳු නාරටියේ පිළිකාවක්‌ වැළඳී මියපරලොව ගියාය...

තරංග රත්නවීර 

( කතරගම දෙයියන්ගේ වැඩ කිඩ ගැන ඉහත සටහන උපුටා ගත්තේ වෙල්ගම හාමුට අයිති දිවයින පත්තරෙන්. බලා ගෙන ගියාම ගාමිනි සුමනසේකර නොහොත් සුගාර ඊටත් වඩා පොරක්නෙ  ඕයි)

11 comments:

  1. අපේ රටේ මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නොව දෛවඥයන්ය.ඉර හද තාරකා වලට ඕනෑම දෙයක් කල හැකි බැවින් මැතිවරණ කොමසාරිස්වරයාට සැපයිය යුත්තේ හොඳ වර්ගයේ දුරේක්ෂයකි.
    අනේ අපි අපේ රටේ ඉපදුනානෙ.

    ReplyDelete
  2. පත්තරකාරයෝ මෝඩයෝ නොවෙයි, ජහමනයාව මෝඩයින්ට අන්දවන්න දක්‍ෂයෝ!

    කපුවා ඔය සේරම කතන්දර කියන කම් ඔය ලිපිය ලිපිය ලියපු බොටල්-ජර්නලිස්ට් එක ප්‍රශ්ණයක් අහලා නැද්ද?

    ReplyDelete
  3. බලාගෙනගියාම දෙවියොත් යකෙක් වගෙනෙ.

    ReplyDelete
  4. කතරගම දෙයියට එන්න කියාපිය ....මෙව්වට උත්තර දෙන්න කියාපිය....

    ReplyDelete
  5. // දෙයියෝ කිලිවලට බයයි.

    LOL

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම දෙයියොත් බය ඒවා තියෙනවානේ....:D

      Delete
  6. //බලා ගෙන ගියාම ගාමිනි සුමනසේකර නොහොත් සුගාර ඊටත් වඩා පොරක්නෙ ඕයි// ඒ කවුද?

    //කපු මහත්තයා කාර් එකෙන් යනවා. බල්ලා ඒ කාර් එකට ඉස්‌සරහින් සල්ලි මල්ලත් කටින් උස්‌සාගෙන දුවනවා//අතිශෝක්තියක්..

    පත්තර විකුණගන්න ගහන මේ වගේ ලිපි නම් ඕනෑ තරම්..

    ReplyDelete
  7. ඔය කපුවො මොන බයිල කිව්වත් රත්තරනුත් ඇතුලුව දේවාලයට දිනකට ලැබෙන ආදායම කතරගම දෙය්යොවත් දන්නෙ නැතුව ඇති. දෙයියන්ටත් එක වැඩක් කියලෑ. රාජ රාජ මහාමාත්‍යයන්ට දේව ආරක්ෂාව දෙන්න ඕනැ. තව ප්‍රයිවට් බස්, ත්‍රීවීල් වලට දේව ආරක්ෂාව දෙන්න ඕනැ. මිනී පෙට්ටි සාප්පු කාරයො ඇතුලු සියලු මුදලාලි හැත්ත බුරුත්තකටම ආරක්ෂාව දෙන්න ඕනැ. ඒ මදිවට ශිෂ්‍යත්ව විභාගය ඇතුලුව සියලුම විභාග පාස් කරවන්න ඕනැ. ඒ විතරක්යැ උන්නාන්සෙගෙ ගෑණු පරාන දෙකත් බලාගන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. ඉතින් කොහේ ද අප්පා අපි ගැන බලන්න වේලාවක්?

      Delete
  8. ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්-

    1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි…

    2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, එරට මීට කළින් විනාශ කර ශීතල යුද්දය ජයගත හැකිව තිබීම…

    3. සදාම් හුසේන්ට “රූප කටු ගැසීමක්” කරවා අඩපණ කර, ආක්‍රමණය නොකරම මරා දැමීම…

    4. ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරය තිබෙන තැනට “භූමි පාලුවක්” කර එම ව්‍යාපෘතිය අඩාල කර දැමීම…

    5. ඔසාමා බින් ලාඩන් සොයා කෝටි ගණන් වටිනා කැමරා සහිත මිලිටරි චන්ද්‍රිකා, ගුවන් ඡායාරූප, ඩ්‍රෝන් ආදිය යෙදවීම විශාල මුදල් නාස්තියකි… දක්ෂ ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා “කනප්පුවක් ඇවිද්දවා” කනප්පුව පිටිපස්සෙන් ඇමරිකන් හමුදාව ගියා නම් ඔසාමා සිටින තැනට පහසුවෙන් යාමට හැකිව තිබිණි…

    6. උතුරු කොරියානු නායකයාට කඩවර යක්ෂයා බන්දා තුන් වරුවෙන් ධවල මන්දිරය ඉදිරියට අවසිහියෙන් නට නටා එන්න සැලැස්වීම…

    7. ජප කරන ලද මිනී අලු සහ පුච්චා වරුවෙන් ගන්නා ලද ජප කල මිනී ඇට චීනයේ බෙයිජිං අගනුවරට ඉස, චීන නායකයන් අසමගි කොට නයි පොළොන්ගු සේ උනුන් කා කොටා ගන්නට සලස්සා අනාගත අභියෝගය වූ චීනය විනාශ කර දැමීම..

    8. හුලවාලි වශියක් කර ව්ලැඩ්මිර් පුටින්ගේ හිත දිනාගෙන එඩ්වර්ඩ් ස්නෝව්ඩන් නැවත ඇමරිකාවට පිටුවහල් කරවා ගැනීම …

    9. “වැල් පැන්නුමක්” කර සිරියානු නායක අසාද් සහ රුසියාව අතර මිතුදම කඩා දමා සිරියාව තනිකර ගැනීම…

    ඩොලර් කෝටි ගණනක් සමග පරීක්ෂණ රාශියක් සඳහා ගිය කාළයද, විශේෂ බලකායන්ගේ සහ සී.අයි.ඒ බුද්ධි අංශ ඒජන්තයන් රැසකගේද ජීවිත ඉතිරි කර ගැනීමට තිබිනි…
    ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්-


    from පාට පාට කුරුල්ලා's status.

    ReplyDelete
  9. මොකද ලියන්නේ නැත්තේ .

    ReplyDelete