මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී ජයසුන්දර බටහිර අධිරාජ්‍යවාදින් සමග එක්ව ,ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කිරීමට උත්සාහ කරන ආර්ථික ඝාතකයෙක් යැයිද ඔහු පලවා හැරිය යුතු යැයිද අමාත්‍ය විමල් වීරවංශ මේ දිනවල දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී.
වීරවංශට පී.බී ජයසුන්දර සමග ප්‍රශනයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.ජයසුන්දරගේ අමාත්‍යාංශය භාර ඇමතිවරයා හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වන මහින්ද රාජපක්ෂ සමගිනි. එසේ නොමැතිව තැන් තැන් වල වේදිකා ගානේ කෑ මොර දීමෙන් පලක් නැත.එසේ නම් මේ දිනවල තොරොම්බල් කිරීමට සුදුසු දේශප්‍රේමි මාතෘකාවක් නැති නිසා නටන නාඩගමක්ද?
විශේෂයෙන්ම ,තම ප්‍රබල අමාත්‍යාංශයෙන් පලවා හරිනු ලැබීමෙන් පසු චම්පික රණවක ඇමතිවරයා හලාල් විරෝධී සටන සියතට ගැනීමත් සමග ඔහුට දෙවැනි නොවීමට සිතූ වීරවංශ ඇමතිවරයා ජයසුන්දරට පහර දීමට පටන් ගත්තේද?
අපට ඒ ගැන සැකය.
රාජපක්ෂලාගේ අවසරයකින් තොරව බත් කෑමටවත් කට නො අරින සව්වෙකුගේ තත්වයට පත් ව සිටින වීරවංශ, රජයේ ප්‍රබලතම නිලධාරියෙකුට එරෙහිව මෙසේ පහර දෙනු ඇතැයි සිතිය නොහැක.අනික් අතට ඔහු තනිවම සිතා යමක් පැවසුවා නම් එය "ගී ද මෝපසාං ලියු මහල්ලා සහ මුහුද" හෝ " බලමාලු කා මොලේ වැඩුනු ජපන්නු" වැනි විකාර කථාවක්ය.
එම නිසා අපට සිතෙන්නේ ඇමතිවරයා පී.බී ජයසුන්දරට එරෙහිව එල්ල කරන ප්‍රහාරය රාජපක්ෂලාගේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය යටතේ සිදු වන්නක් බවයි.
එසේ නම් ඒ මන්ද?
අධික බදු අය කරමින් ජනතාව පෙලන, ඔවුනට කිසි සහනයක් නොදෙන , තම සුඛවිහරණය හා බොරු පම්පෝරි වැඩ සඳහා ජාතික ධනය නාස්ති කරන රෙජිමයට එරෙහිව මතු වෙන විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා මේ නාඩගම විමල් ලවා නටවනවා විය හැක.
එහෙත් මේ දිනවල එම කාර්ය සඳහා හලාල් දේශප්‍රේම නාඩගම තිබෙන අතර , ජීනිවා දේශප්‍රේමී නාඩගමක් ලඟ ලඟ එමින් තිබේ, එම නිසා පී.බී. ජයසුන්දරට එරෙහි නාඩගමේ අරමුණ ජනතා අවධානය දිනා ගැනීම විය නොහැක. එසේ නම් එය තව මාස හයකට පසු භාවිතා කල හැකිය.
එසේ නම් අපට සිතන්නට ඇත්තේ ආණ්ඩුවට ඇත්තටම පී.බී ජයසුන්දරව එලවීමට අවශ්‍ය බවයි.
නාස්තිය ,දූෂණය, බොරු සෝභන වියදම් හා අධික ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබේ. මෙසේ සිදු වන්නේ තම නොහැකියාව නිසා යැයි පිලිගන්නට පාලක රෙජිමය සූදානම් නැත. එය තමන්ගේ පුහු මානයට නොගැලපේ. ඒ නිසා ඒ වෙනුවෙන් සුදුසු බිල්ලක් අවශ්‍යය.
ඒ සඳහා සුදුසුම තේරීම ජයසුන්දරය. ඔහු පසුගියදා යම් යම් කරුණු කීපයක් උඩ පාලකයින් සමග හිත නොරොක් කරගෙන සිටින බවත්, අකීකරු පුද්ගලයෙක් බවත් සමහර වෙබ් අඩවි වාර්තා කර තිබිනි
ඒ අනුව සරත් ෆොන්සේකා හා ශිරාණි බණ්ඩාරනායකට අත් වූ ඉරණමම පී.බී.ජයසුන්දරට අත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ජයසුන්දර ඉවත් කිරීමේ ක්‍රියාවලියට දේශප්‍රේමි නාඩගමක් බවට පත් කර ජනතාවට දේශප්‍රේමි චූන් එකක් දීමේ වගකීම එවැනි දේ සඳහා පලපුරුදු වීරවංශට හැර වෙන කාට පවරන්නද?