Friday, November 2, 2012

ස්ටාර්ස්ලා ඕනෑ නැත, එකම ස්ටාර් මම පමණය



අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඇයව පත් කල ආණ්ඩුව විසින්ම දෝෂාභියෝගයක් ගෙනවුත් ඇත.

මේ දෝෂාභියෝගය මගින් රාජපක්ෂ රෙජිමය   රටට දෙන පණිවිඩය කුමක්ද?

උඹලා කොතරම් ලොක්කන් වූවත් අපිට එරෙහි වූවොත් වන්නේ මෙයයි. උඹලා සියලු දෙනා ජීවත් විය යුත්තේ අප කියන ලෙසටය. බෙරේ ගසන්නේ අපය . ඒ තාලයට නුඹලා නැටිය යුතුය.

එසේ නොවුනහොත් නුඹලා  අතීතයේ අපට කොපමණ බැල මෙහෙවර කර තිබුනත් අප නුඹලාට කෙලවන්නෙමු.

මෙරටට පොරවල් අවශ්‍ය නැත. අවශ්‍ය අපට අවැසි ලෙස  වැනෙන රූකඩ පමණි. මෙහි සිටිය යුතු එකම පොරවල් වන්නේ අපය . අප පමණය.

පණිවුඩය එයයි.

මේ පණිවුඩය මීට පෙර ඉතා පැහැදිලි ලෙස කීප වතාවක් කියා තිබේ.

ඒ අතරින් ඉතාම ප්‍රසිද්ධ ලෙස එය කියා සිටියේ කලක් රාජපක්ෂලාගේම හමුදාවේ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාටය.

තමන් ගැන මහත් අධිතක්සේරුවකින් සිටි හා තවමත් සිටින ජනරාල් ෆොන්සේකා යුද්ධයේ තම භූමිකාව නිසා තමන් සිංහල ජනයා අතර මහත් වීරයෙක් වී ඇතැයිද තාරකාවක් වී ඇතැයිද සිතුවේය. ඒ නිසා ඔහු රාජපක්ෂ රෙජිමයට අභියෝග කලේය.

එහෙත් රාජපක්ෂලාට තමන් හැර වෙනත් තාරකා රටේ සිටීම ප්‍රිය නැත. එසේම තමන්ට අභියෝග කරන උන් කොහොමටත් ප්‍රිය නැත. ඔවුනට අවශ්‍ය නිවට කීකරු නියාලු අතවැසියන් පමණි. තමන්ට අවශ්‍ය පරිදි නැටවෙන වීරවංශලා බඳු රූකඩ පමණි. ඒ නිසා  වීර ෆොන්සේකාගේ වීර චාරිකාව කෙලවර වූයේ වසර දෙකක් සිර ගෙයි තැපීමෙනි.

දැන් අලුත්ම ගොදුර ශිරාණි බණ්ඩාරනායකය.  ඇය කුමන හෝ හේතුවකට ඔවුනට කීකරු නොවී ස්වාධීනව සිටීමට තීරණය කර තිබේ. මේ තරම් පැහැදිලි ලෙස පණිවුඩය දී තිබියදී එය අවබෝධ කර ගන්නට බැරිනම් අහිංසක උතුමාණන් මක් කරන්නද?

දැන් ඇයට පහර දීමට පටන ගෙන තිබේ. සරත් ෆොන්සේකාගේ සිදු වීමේදී  මෙන් නොව මෙහිදී පහර වදින්නේ සමස්ත අධිකරණ පද්ධතියටමය .

මෙම දෝෂාභියෝගයෙන් මෙරට අධිකරණ පද්ධතියට කියා සිටින්නේ අපට අවශ්‍ය පරිදි තීන්දු නොදුනහොත් උඹලාට වන්නේද මෙයයි යන්නයි.

මෙරට ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව යම් හෝ බලාපොරොත්තුවක් ඇති කලේ අධිකරණය ස්වාධීන ව කටයුතු කරන්නේ යැයි තිබූ අදහසයි. මෙරට ඊනියා වාමාංශිකයන්ගේද සහය ඇතිව සම්මත කල 18 වැනිසංශෝධනයෙන් මෙරට ප්‍රජාතන්ත්‍ර වාදය  මිනීපෙට්ටියකට දමා වසා තිබේ . එම මිනී පෙට්ටියට ගසන අවසාන ඇණය මෙම දෝෂාභියෝගයයි.

8 comments:

  1. අධිකරනයේ කොහෙද බන් ස්වාධීනත්වයක් තිබුනේ.. අපරාධ නඩුවලින් 4% යි දඩුවමට ලක්වෙලා තියෙන්නේ. 94% අපරාධකාරයෝ සල්ලි අරගෙන එළියෙ තියන අධිකරණයක් කොහෙද බන් ස්වාධීනත්වයක්. අධිකරණය ගැන නොදන්න උන්ටනම් ඕවා ඇත්ත වෙයි. චිෆ් ජස්ටිස්ලා කට වහගෙන උන්නහම එයාටත් කෙලිනකම් දන්නෙම නෑ. අද උනේ ඒකයි. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන නම් පිට රටක පාර අතුගෑවත් මීට වඩා සැපයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නේ ද අධිකරණයටම හැමදේටම දොස් කියන්න බැහැ අද පොලිසිය දුෂිතයි ......ඉතින් එතකොට අධිකරණය නිකංම අසරණයි නේද?

      Delete
    2. ඒක මම පිලිගන්නේ නෑ. පොලිසිය අධිකරනයට පට්ට බයයි. ඔතන වෙලා තියෙන්නේ නීතීඥයෝ නඩු කාරයොත් අල්ලගෙන සල්ලිවලට තීන්දු දෙන එක. මේවා අපි කතාකරන්න බය වෙන්න ඕන නෑ.

      Delete
    3. අධිකරණයෙන් ජනතාවට සිදුවන සේවයේ ගැටලු සහගත භාවයන් කෙසේ වුවත් , රජයට පහර වදින තීන්දු කිහිපයක් පසුපස දෝෂාභියෝගයක් ගෙන ඒම කිසි සේත් අනුමත කල නොහැක

      Delete
  2. තරු කවදා හෝ සුපර්නෝවා බවට පත් වී පුපුරා යනු ඇත. එතකන් බලා ඉදිමු

    ReplyDelete
    Replies
    1. ඔව් බන්..හැමදාම බලාගෙන තමයි ඉන්ට වෙන්නේ..වෙන කරන්ට දෙයක් නැහැනේ..

      Delete
  3. අධිකරණය ස්වාදීන නැත.රුපියල් 5 සොරකම් කල දැරියකට රුපියල් 100000 දඩයක් ගසන අදිකරණයම දුමින්ද සිල්වාට සැබවින්ම වෙඩි වැදී තිබේද නැතිද යන්න සම්බන්දව සොයා නොබලයි.

    ReplyDelete
  4. අධිකරණය ස්වාධීන යැයි මා කිව්වේ නැත. මා කියා ඇත්තේ "අධිකරණය ස්වාධීන ව කටයුතු කරන්නේ යැයි තිබූ අදහස" බවයි.

    ReplyDelete