Friday, November 11, 2016

බබා ලගේ හීන හා අපේ හීන

කා‍ටුනය අවන්ත ආටිගලගේ ෆේස්බුක් පි‍ටුවෙන් උස්සන ලදි

සජිත් බබා පොඩි කාලේ ඉඳලා හැදුනේ උදාගම් සංකල්පය යටතේය. සජිත් බබාගේ තාත්තා රට ඇල්ලුවේ උදාගම් හරහාය,. ඉතින් සජිත් බබාත් හිතන් ඉන්නේ උදාගම් හරහා රට ඇල්ලීමටය. බබා නිවාස අමාත්‍යාංශය ඉල්ලා ගත්තේත් මේ හීනය නිසාය.බබාගේ මුළු ලෝකයම  එකම උදාගමක්ය. බබා රෑට හීනෙන් දකින්නෙත් උදාගම්ය. කොටින්ම කිව්වොත් බබා කන්නෙත් බොන්නෙත් නාන්නෙත් උදාගම් ගැන හීන දකිමින්ය.

සජිත් බබා උදාගමෙන් උදාගමට පැන පැන ගොහින් රට අල්ලන හැටි  හීන දකිමින් ඉන්න අතරේ අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වුනේය. හීනෙන්වත් අමරදේවගේ සිංදුවක් නො අහපු අය එක පැයෙන් අමරදේව  ෆෑන්ස් ලා වුනෝය. ශෝක ප්‍රකාශ, කවි, සිංදු , අන්තර් ජාල, ෆේස්බුකි, පත්තර පි‍ටු, ටී.වී , රේඩියෝ හරහා දෝරේ ගලා යන්නට වුනේය.

තමනුත් අමරදේව මාස්ටර් ගැන ප්‍රකාශයක් නොකොලොත් හොඳ නැති බව හිතූ බබා හම්බන්තොට පැත්තේ උත්සවයකදී , ඇඟිලිවලින් මදක් ඉස්සී මෙහෙම කිව්වේය.

" මම අමරදේව තුමාට ගෞරව පිණිස සතියක් ඇතුලත උදාගමක් හදලා ඒක අමරදේව උදාගම කියලා නම් කරනවාය"

සටහන 1 - අපේ මෛත්‍රී ජනාධිපති තුමා ද සජිත් බබාට දෙවැනි නොවෙන්නට හිතා අමරදේව මාස්ටර්ගේ අවමගුලේ දී කියා හිටියේ අමරදේවට ගෞරව පිණිස අමරදේව සංගීත ආශ්‍රමය කියා එකක් හදන බවකි. ඉතින් අපේ යහපාලන ආණ්ඩුව කොතරම් කාර්යක්ෂම ද කිව්වොත් ඊ ලඟ සතියේ තිබුණු අය වැය කතාවේ දී මුදල් ඇමති තුමා ඒ ආශ්‍රමය හදන්න රුපියල් මිලියන 25ක් ම වෙන් කලේය.

සටහන 2- පහුගිය කාලයේ ඇමති ගොල්ලන්ට  වාහන ගෙන්වීමට රුපියල් මිලියන 1175ක්ම  වෙන් කලේ ය.

2 comments:

  1. පැයෙන් පැයට අමරදේව ගේ සින්දුවලින් රිං ටෝන් දාලා ඔර්ලෝසු කණුවක් හැඳුවා නම් නරකද?

    ReplyDelete
  2. ආශ්‍රමය හදන්නෙ අපෙන්ම අරගෙන තමයි.(හැදුවොත්)

    ReplyDelete