Tuesday, February 19, 2013

දේශප්‍රේමි අරගලයේ නව මං



මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී ජයසුන්දර  බටහිර අධිරාජ්‍යවාදින් සමග එක්ව ,ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කිරීමට උත්සාහ  කරන ආර්ථික ඝාතකයෙක් යැයිද ඔහු පලවා හැරිය යුතු යැයිද  අමාත්‍ය විමල් වීරවංශ මේ දිනවල දැඩි ප්‍රහාර  එල්ල කරමින් සිටී.

වීරවංශට පී.බී ජයසුන්දර සමග ප්‍රශනයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ කැබිනට් මණ්ඩල ‍රැස්වීමේදීය.ජයසුන්දරගේ අමාත්‍යාංශය භාර ඇමතිවරයා හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වන මහින්ද රාජපක්ෂ සමගිනි. එසේ නොමැතිව තැන් තැන් වල වේදිකා ගානේ කෑ මොර දීමෙන් පලක් නැත.එසේ නම් මේ දිනවල තොරොම්බල් කිරීමට සුදුසු දේශප්‍රේමි මාතෘකාවක් නැති නිසා නටන නාඩගමක්ද?

විශේෂයෙන්ම ,තම ප්‍රබල අමාත්‍යාංශයෙන් පලවා හරිනු ලැබීමෙන් පසු චම්පික රණවක ඇමතිවරයා හලාල් විරෝධී සටන සියතට ගැනීමත් සමග ඔහුට දෙවැනි නොවීමට සිතූ වීරවංශ ඇමතිවරයා ජයසුන්දරට පහර දීමට පටන් ගත්තේද?

අපට ඒ ගැන සැකය.

රාජපක්ෂලාගේ අවසරයකින් තොරව බත් කෑමටවත් කට නො අරින සව්වෙකුගේ තත්වයට පත් ව සිටින වීරවංශ, රජයේ ප්‍රබලතම නිලධාරියෙකුට එරෙහිව මෙසේ පහර දෙනු ඇතැයි සිතිය නොහැක.අනික් අතට ඔහු තනිවම සිතා යමක් පැවසුවා නම් එය "ගී ද මෝපසාං ලියු මහල්ලා සහ මුහුද" හෝ " බලමාලු කා මොලේ වැඩුනු ජපන්නු" වැනි විකාර කථාවක්ය.

එම නිසා අපට සිතෙන්නේ ඇමතිවරයා පී.බී ජයසුන්දරට එරෙහිව එල්ල කරන ප්‍රහාරය රාජපක්ෂලාගේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය යටතේ සිදු වන්නක් බවයි.

එසේ නම් ඒ මන්ද?

 අධික බදු අය කරමින් ජනතාව පෙලන, ඔවුනට කිසි සහනයක් නොදෙන , තම සුඛවිහරණය හා බොරු පම්පෝරි වැඩ සඳහා ජාතික ධනය නාස්ති කරන රෙජිමයට එරෙහිව මතු වෙන විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා මේ නාඩගම විමල් ලවා නටවනවා විය හැක.

එහෙත් මේ දිනවල එම කාර්ය සඳහා හලාල් දේශප්‍රේම නාඩගම තිබෙන අතර , ජීනිවා දේශප්‍රේමී නාඩගමක් ලඟ ලඟ එමින් තිබේ,  එම නිසා පී.බී. ජයසුන්දරට එරෙහි නාඩගමේ අරමුණ ජනතා අවධානය දිනා ගැනීම විය නොහැක. එසේ නම් එය තව මාස හයකට පසු භාවිතා කල හැකිය.


එසේ නම් අපට සිතන්නට ඇත්තේ ආණ්ඩුවට ඇත්තටම පී.බී ජයසුන්දරව එලවීමට අවශ්‍ය බවයි.

නාස්තිය ,දූෂණය, බොරු සෝභන වියදම් හා අධික ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබේ. මෙසේ සිදු වන්නේ තම නොහැකියාව නිසා යැයි පිලිගන්නට පාලක රෙජිමය සූදානම් නැත. එය තමන්ගේ පුහු මානයට නොගැලපේ. ඒ නිසා ඒ වෙනුවෙන් සුදුසු බිල්ලක් අවශ්‍යය.

ඒ සඳහා සුදුසුම තේරීම  ජයසුන්දරය. ඔහු පසුගියදා යම් යම් කරුණු කීපයක් උඩ පාලකයින් සමග හිත නොරොක් කරගෙන සිටින බවත්, අකීකරු පුද්ගලයෙක් බවත් සමහර වෙබ් අඩවි වාර්තා කර තිබිනි

ඒ අනුව සරත් ෆොන්සේකා හා ශිරාණි බණ්ඩාරනායකට අත් වූ ඉරණමම පී.බී.ජයසුන්දරට අත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ජයසුන්දර ඉවත් කිරීමේ ක්‍රියාවලියට දේශප්‍රේමි නාඩගමක් බවට පත් කර ජනතාවට දේශප්‍රේමි චූන් එකක් දීමේ වගකීම එවැනි දේ සඳහා පලපුරුදු වීරවංශට හැර වෙන කාට පවරන්නද?








5 comments:

  1. මෙය ඔබේ මතය පමණක් විය නොහැකියි. මගේද මතයකි. බොහෝ විට තවත් එය මීට එකඟ වේවි. විරවංශ විකටයෙකු ලෙස රඟපෑවට ඔහු විකටයෙකු නොවන බව මා හොඳින් දනී. වීරවංශ විකටයෙකු නම් ඔහුට ජවිපෙ වැනි පක්ෂයක සිටීමේ හැකියාවක් නැත.
    මේ කිසියම් අරමුණකින්, සහ අවශ්‍ය අවස්ථාවේදී බලාත්මක කිරීමේ අදහසින් කරනු ලබන නාඩගමකි.
    ඔබ කියන පරිදි දැනට ආණ්ඩුවට ඇති තරම් පැලැස්තර ඇත. දැනට “හලාල්“ එහි ප්‍රධාන භූමිකාව රඟ දක්වයි....
    ඔබ කියන දේ සැබවින් ම අනාගත අත්තිවාරමකි. පී.බී ජයසුන්දර ද වරෙක මුදල් වංචා කළ අයෙකු බව පාලක රෙජිමය හොඳින් දනී. එබැවින් අවශ්‍ය මොහෝතේ එකී සිද්ධී බලාත්මක කර ඔහුව නෙරපීමේ හැකියාව ඇත.

    ReplyDelete
  2. ගෝටාභය රාජපක්ෂට පමණක් දෙවැනි වන , මේ ආන්ඩුවේ සිටින ප්‍රබලතම නිලධාරියෙකුට මෙසේ ප්‍රසිද්ධියේ බැන අඬ ගැසීම , වීරවංශගේ හුදකලා ක්‍රියාවක් නොවේ. මෑත යුගයේ වීරවංශ චරිතය හා එය කිසිසේත් නොගැලපේ. තම අමාත්‍යාංශයට මුදල් නොදීම වැනි සිල්ලර කරුණු සම්බන්ධයෙන් ඔහු මෙවන් බරපතල තීරණ ගන්නේ නැත. මෙය නිසැකවම "his master;s voice"

    ReplyDelete
  3. දැන්නම් සියල්ල පැහැදිලියි. මේ ආන්ඩුවට කළමණාකරනය කියන දේ බින්දුවක්වත් බෑ, ජයසුන්දරත් එහි එක් පුද්ගලයකු පමණයි. යුද්ධය ජය ගත්තේ ඝෝඨාභය රාජපක්ෂ හමුදාව තුලින් ලබා ගත් දැණුම, කළමණාකරනය, හා විනය නිසායි. අදත් ආන්ඩුවේ දැනෙන යමක් කරන්නේ දේශපාලඥයකු නොවන ඔහු පමණයි. බැසිල් කරන්නෙත් බිස්නස් විතරයි. මහින්ද මහත්තයා කොහොමත් හොඳ නළුවනේ. බඩ මිරිකනවා. බබ්බු වඩා ගන්නවා, මිදි කවනවා ඔය වගේ ආතල් දෙනවා. දැන් බලන්න ඔය අමාත්‍යංශ අධීක්ෂණය කියලා දෙයක් පටන් ගත්තා සත පහක වැඩක් ඇති දෙයක්ද. මුළු ලංකාවම දන්නවා එයා එතනට අහවල් දවසේ අහවල් වෙලාවට එනවා කියලා. අරුන් එකසිය ගානට රෙඩි වෙනවා. එහෙම නෙමෙයි එක පාරට කඩා පැනීමක් කරානම් තේරේවි එකෙක්වත් වැඩ කරන්නේ නෑ කියලා. උන් ඔක්කෝම බිස්නස් කරනවා. ඒවත් වැදගත් ඒවා නෙමෙයි, ගල් කඩනවා, පස් අදිනවා, වැලි ගොඩ දානවා, ගස් කපනවා, ගංජා වවනවා ඔය වගේ බිස්නස්.. අඩුගානේ මුන් එකෙකුටවත් බෑනේ අඩු ගානේ බැංකුවකින් ලෝන් එකක් අරගෙන අඩුම ගානේ ගාමන්ට් ෆැක්ටරියක්වත් දාගන්න. ඒ තරම කාළකන්නි මුන්. ලොක්කා කල්පනා කරන්න ඕන නාමල්ට පාලනය කරන්න රටක් තියේද කියලයි. තාමත් ලොක්කට වෙලාව තියෙනවා. ඒත් මම හිතන්නේ අගාදයට යාම් මිස ගොඩ ඒමක් නම් නෑ...

    ReplyDelete
  4. හලාල් ප්‍රශ්නය අහවර වෙච්ච ගමන් පයිප් ලයින් එකේ පී බී ජේ රෙඩි.
    (බිලියන් එකේ ලෝන් එක ලෝක බැංකුවෙන් නොලැබුනේ උන්නැහේගේ වරදින් යයි කියා ...)
    අනේ පව්, විදේශ සේවයේ තානාපති කමක්වත් ලැබේවා.
    හිරයට නම් නොවැටේවා.
    එතන හිටපු ගමන් නම් කතා කරනවා නේ.
    ඊට පස්සෙ ....
    අනේ හතුරෙකුටවත් හිරේ වැටියන් කියල හිතන්න දැන් බෑනේ

    ReplyDelete
  5. තානාපතිකම් කෙසේ වෙතත් හිරේ විලංගුවේ නොවැටී ඉන්න බලන්නයි දැන් එයාට තියෙන්නේ .

    ReplyDelete