Sunday, February 3, 2013

බබා සහ නිශ්ප්‍රබා


හිටපු නීතිපතිට එරෙහි පෙත්සම විසිවෙයි
නඩු ගාස්තු ගෙවන්න පෙත්සම්කරුට කියයි
2013 පෙබරවාරි 01  2:40 අ.භා

කොළඹ , ඩොක්යාර්ඩ් ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද මුහුදු යාත්‍රා අලෙවි කිරීමේ දී ශ්‍රී ලංකා රේගුවට අයවිය යුතු රුපියල් මිලියන 619ක මුදලක් වංචා කිරීමට වංක ආකාරයෙන් කටයුතු කළැයි යනුවෙන් හිටපු නීතිපතිවරයා වන මොහාන් පීරිස් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප ක‍ළේය. වගඋත්තරකරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසටද පෙත්සම්කරු වන නියෝජ්‍ය රේගු අධිකාරි පී.ආර්. රත්නසිරි මහතා‍ට නියෝග කළේය.

මෙම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කොඩිතුවක්කු මහතා පවසා සිටියේ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවකු වන සත්‍ය හෙට්ටිගේ මහතාට මෙම පෙත්සම විභාග කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවයි. 

ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ 2010 වසරේ පැවරූ මෙම නඩුව දිගින් දිගටම කල් දැමීම නිසා එහි විනිසුරුවකු වූ සත්‍ය හෙට්ටිගේ මහතාට විරුද්ධව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට පැමිණිලි කොට නඩුව ඉක්මන් කර වූ බවයි.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සිටි පී.ඒ.රත්නායක විනිසුරුවරයා පෞද්ගලික හේතුන් මත නඩු විභාගයට පෙනී සිටිය නොහැකි බව සඳහන් කරමින් ඉවත් විය. අනතුරුව සත්‍ය හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර යන විනිසුරුවරුන් හමුවේ නඩුව විභාග කෙරිණ.

 සත්‍ය හෙට්ටිගේ මහතාට එරෙහිව කොඩිතුවක්කු මහතා පළ කළ විරෝධය නොසලකා ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩු විභාගය පැවැත්විණ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පෙත්සම ගොනු කර ඇත්තේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට නොවන බවයි. අධිකරණයේ අභිමතය අභියෝගයට ලක් කිරීමට ඉදිරිපත් කළ පෙත්සමක් බවත් ඔහු පෙන්වා දුන්නේය. එම විරෝධතාව සැලකිල්ලට ගත් ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.
( http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=6839:2013-02-01-09-13-36&catid=34:news&Itemid=62)

1 comment:

  1. තවත් බොහොම දේවල් ඉදිරියේදී දකින්න ලැබේවි.

    ReplyDelete