Wednesday, February 6, 2013

කැටකිරිල්ල



රට කරවන එක්සත් ජනතා නිදහස් සංධානය නොහොත් ආණ්ඩු පක්ෂයට අයත් අකු‍රැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් නැමැත්තා අතින් දූෂණය වූ බව කියූ 14 හැවිරිදි දැරිය සිය දිවි නසා ගෙන තිබේ.

ප්‍රාදේශීය දේශපාලන බලවතා අතින්   දූෂණය වීම  මදිවාට ඔවුන්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ උන් හිටි තැන් පවා අත හැර පලා යන්නට සිදූ වූ මේ දැරිය වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් නොසිටියේය.

ඇයට දහසින් බඳි පියලි පුදන්නට ආර්යාවන් ආවේ නැත. උන් හිටි තැන් අත හැර පලා යන්නට සිදු වූ ඇයට නිවාස හදා දෙන්නට නිවාස ඇමට්ටන් ආවේද නැත.

අඩුම තරමෙන් ඇය වෙනුවෙන් හඬ නගන්නට ඉන්දියාවේ දූෂණය වූ වෛද්‍ය සිසුවිය වෙනුවෙන් පෙලපාලි ගිය ශාන්තිනි කෝන්ගහගේ ප්‍රමුඛ ලක්වනිතාවන්ටවත් මතක් වූයේ නැත.ඉන්දියාවේ දූෂිතයන්ට එරෙහිව පෙලපාලි ගිය ඔවුන්ට මේ දැරිය දූෂණ්ය කල වුන් ඇප පිට එලියට එත්දී ඊට එරෙහිව ප්‍රකශයක්වත් නිකුත් කරන්නට අවැසි නොවීය.

දූෂිතයන් තම පක්ෂයෙන් එලවනවා යැයි ඩලස් ලා පම්පෝරි ගහද්දී සරුවා සුනිල්ලා කිසිම බාධාවකින් තොරව තම තනතුරු නැවත ලැබ සුවසේ දිවි ගෙවති.

ස්ත්‍රීන් සිය ගණනක් දූෂණය කලා යැයි කියන මේ දූෂිතයාට පක්ෂව ඔහුගේ අන්තේවාසිකයන් උද්ඝෝෂණය කරත්දී සමාජයට බලපෑම් කරගත හැකි කිසිම කණ්ඩායමක් සමග සබඳතාවක්  නොතිබූ  ඒ ලාබල දැරියට අවසන ‍තෝරාගැනීමට සිදු වුයේ  සියදිවි නසා ගැනීමයි.

කැටකිරිල්ලන් පවා නිදහසේ දිවි ගෙවනවා යැයි පම්පෝරි ඇසෙන්නේ එහෙව් රටකය.




3 comments:

  1. මේ ඉරනම මේ දරුවාගේ පමණක් නොව, එවැනි අසාධාරණ කම් වලට ලක් වූ සියල්ලන්ගේම කතාන්තරයයි. නිතිය ක්‍රියාත්මක නොවීම එකක්. නමුත් එසේ කිරීමට බලපෑම් කරන දේශපාලකයන්ට පීඩනයක් නැති වීම තව එකක්. සාරුවා වෙනුවෙන් බෝධි පූජා කෙරුවේ මිට මාස කීපයකට පෙර. මා ඒ ගමේ කෙනෙක් සමග කතා කළා. ඔහු/ඇය කියුවේ එය ඇත්තක්, අදත් චන්දය ඉල්ලුවොත් මූට උඩින් ලැබෙනවා කියා. මෙය සාරුවාට පමණක් සිමා වුන දෙයක් නොවේ. විකල්පයක් නැති බව සැබෑවක් තමා. නමුත් මෙවැනි කාලකන්නි ළමා දුෂකයන්ට (උසාවියෙන් වරද කරු වෙලා නොතිබීම වැදගත් නැහැ), එක චන්දයක් හෝ ලැබීම ඒ සමාජයේ කාලකන්නි ස්වභාවය ඉස්මතු කරන්නක්. සියල්ලන්ම එහෙම නැහැ තමා. නමුත් හැම පැත්තෙන්ම සිදුවන නොමිනිස් කම් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඉතා කුඩා පිරිසක් පමණයි. වැඩි පිරිසක් අනුන් කරන ම්ලේච්ච වැඩ ගැන බලය ගන්න කම් කතා කරලා, ඒ මගම යනවා. රටෙන් පිටතින් පීඩනයක් (එහෙම එන්නෙත් නැහැ තමා) ආවොත් මේ සියල්ලන්ම (සමාජවාදීන්, ධනවාදීන්, විමුක්තිකාමින්, පෙරටු ගාමින්, විප්ලවකාරින්, උරුමක්කාරයන්, ජාතික චින්තනවාදින්, භූමිපුත්‍ර වාදින්) එක පොකුරට ගොනු වෙනවා, ඒ ම්ලේච්ච කම් වෙනුවෙන්. ඉතින් එවැනි ම්ලේච්ච කම් වලට ගොදුරු වෙලා (මියගිය අයට තව හොඳයි) ජිවත් වන්නන්ට තෝරා ගැනීම ඉතුරුව ඇති එක විකල්පයක් තමා මේ දරුවා අරන් තියෙන්නේ.

    ReplyDelete